පිනි පලස

තාත්තා නිසා සිනමාවට ආව මානෙල් වානගුරු

පිය උරුමයෙන් රංගනයට පිවිසි මානෙල් වානගුරු කියන්නේ අද අපිට ඉන්න ප්‍රවීණ රංගනශිල්පිනියක්, එදා සිනමාවේ ආරම්භය ගැන අද පළමු පියවර එක්ක ඇය අතීත මතකය අවදි කළේ මෙහෙම.
මම සිනමාවට මුලින්ම ආවේ මගේ පියා නිසා. මගේ පියා ඩඩ්ලි. වානගුරු. තාත්තා මුල් කාලයේ හිටපු චිත‍්‍රපට නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මගේ තාත්තා බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ චිත‍්‍රපටවල රඟපෑවා.

ඒ වගේම ‘‘සැඟවුණු මැණික’’ කියන චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ මගේ තාත්තා. ඉතින් මමත් තාත්තා එක්ක චිත‍්‍රපට රූගත කිරීම් බලන්න යනවා. ඒ යනකොට තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා මාව දැකලා කිව්වා මට සිංදුවක් කියන්න කියලා මම ඉතින් එදා ‘‘පෙම් කැකුළ පිපී’’ සිංදුව කව්වා. ඊට පස්සේ මගේ තාත්තාගෙන් ඇහුවා දුවව කැමැති නැද්ද චිත‍්‍රපටවලට සම්බන්ධ කරන්න කියලා. තාත්තත් කැමැති වුණා. මට වයස අවුරුදු 9 ක් විතර ඇති. පසුව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා චිත‍්‍රපටයක් කළා ‘‘වනලිය’’ කියලා. ඒකට මාව තෝරා ගත්තා. ඒකේ ප්‍රධාන චරිතය කළේ ෂර්ලි බ්ලයිත්. ඊට පස්සේ ‘‘දක්ෂකම’’, ‘‘හදිසි විවාහය’’, ‘‘ජීවිත පූජාව’’, ‘‘ගැහැනු ගැට’’ වගේ චිත‍්‍රපටවලට සම්බන්ධ වුණා.

මට ඇත්තටම සිහිනයක් තිබුණේ නැහැ රංගන ශිල්පිනියක් වෙන්න, නමුත් සිනමාවට සම්බන්ධ තාත්තගේ යාළුවෝ ෂෙල්ටන් ​ප්‍රේමරත්න, ‘‘ශී‍්‍ර වික‍්‍රම’’ සංගීත ශිල්පීන්, ආර්. ඒ. චන්ද්‍රසේන, කරුණාරත්න අබේසේකර වගේ අය ඒ දවස්වල අපේ ගෙදර ආවා ගියා. ඒ පරිසරයත්, මගේ රූපයත් නිසා මගේ අම්මාත් කැමැති වුණා මාව චිත‍්‍රපටවලට යොමු කරන්න. මම ඉගෙන ගත්තෙ කන්‍යාරාමයක. ඉගෙනීමටත් දක්ෂ කෙනෙක් නිසා කන්‍යා මවුතුමියලා මම රඟපනවට කැමැත්තක් දැක් වූයේ නැහැ. දෙමවුපියන්ගේ හිතේ තිබුණේත් මාව නීතිඥවරියක් කරන්න. මම චිත‍්‍රපට ගණනාවක රඟපෑවා ඔය අතරේ ඉන්දියාවෙත් යන්න ලැබුණා. ඉන් පසුව කාලයක් අධ්‍යාපන කටයුතු නිසා චිත‍්‍රපටවල රඟපෑමෙන් ඈත් වුණා.

නැවත මම සිනමාවට පියවර තිබ්බේ මට අවුරුදු දාහත වෙද්දී. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයේ එක සීන් එකක් චිත‍්‍රපටයක් අනික් සීන් එක වේදිකාව. මට ඒකෙ තිබුණේ ෂර්ලි බ්ලයිත්ගේ නංගිට රඟපාන්න. එහි මගේ චරිතය වුණේ පෝලියෝ හැදිච්ච ගැහැනු ළමයකුගේ චරිතයක්. මේ නාට්‍ය මුළු ලංකාව පුරාම වාර දාහක් විතර පෙන්නුවා. පසුව මම කලක් මහරාජා ආයතනයේ සේවය කළා. ඒ කාලේදී මාව දැකලා සේන සමරසිංහයන් ගේ ‘‘සදහටම ඔබ මගේ’’ චිත‍්‍රපටයට ආරාධනා කළා. එහි මට තිබ්බේ සී. අයි. ඩී. චරිතයක්. ගාමිණී ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම්වරිය විදිහට සහ ජෝ අබේවික‍්‍රමගේ පෙම්වතිය විදියට රඟපාන්නයි. අලුත් මුහුණක් නිසාත් මගේ රඟපෑම නිසාත් ඊට පස්සේ චිත‍්‍රපට ගණනාවකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඒ නිසා රැකියාවෙන් පවා අයින් වුණා.

‘‘තරංගා’’ චිත‍්‍රපටයේ මට ලැබුණේ බොහොම අහිංසක පෙම්වතියකගේ චරිතයක්. ඉන් පසුව ‘‘නිල්ලසොයා’’ එකේ රඟපෑවා. මේ කතාව ආත්ම තුනක කතාවක්, එහි මට චරිත තුනක් තිබ්බා. බටහිර පන්නයේ චරිතක්, දෙමළ ගැහැනු ළමයෙක් විදිහටත්, ඒ වගේම ගැමි අහිංසක ගැහැනු ළමයකුගේ චරිතයකුත්.

මගේ ස්වරූපය බටහිරට හුරුයි. මම ගොඩක් වෙලාවට අධ්‍යක්ෂවරුන්ගෙන් අහනවා ඇයි මාව බටහිර චරිතවලට, වලව් චරිතවලටම තෝරාගන්නේ කියලා. එතකොට කියන්නේ ඔයාගේ කටහඬත් ඒ වගේම ස්වරූපයත් හඬ කවනකොටත් කටහඬේ තියෙන්නේ බටහිර පන්නේ ස්වරූපයක්. ඒ නිසා තමයි වැඩි හරියක් ඒ චරිතවලට තෝරා ගන්නේ කියලා.

වේදිකාවේ මම මුලින්ම කළ වේදිකා නාට්‍ය තමයි ‘‘සසර දුක’’ . මම ඒකේ රඟපාද්දී මට අවුරුදු 9 ක් විතර. ‘‘බාප්පාගේ වටකුරු පැංචා’’, ‘‘හතරේ වාට්ටුව’’ වැනි ගොඩක් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මම මෑතකදී වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා ‘‘ස්ටෙලා සෙට්වෙලා’’ කියලා. එය දර්ශනවාර පහක් විතර කරලා නැවැත්තුවා, රටේ වාතාවරණය නිසා.

චිත‍්‍රපට 150කට විතර මම රංගනයෙන් දායකත්වය ලබලා දීලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය 75 කට සහභාගි වෙලා තියෙනවා. වේදිකා නාට්‍ය 50 කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මට ආනන්දව මුණගැහෙන්නෙත් සිනමාව නිසා,චිත‍්‍රපටයක රඟපාන්න අපි කුරුණෑගල ගියා. එතකොට ආනන්දත් ඇවිල්ලා හිටියා ‘‘සුබෝධා’’ කියලා චිත්‍රපටයක් කරන්න. ශ‍්‍රියානි අමරසේන මගේ හොඳ මිතුරියක්. ශ‍්‍රියානි තමයි මට හඳුන්නලා දුන්නේ මෙයාව. එතනින් පස්සේ ඔහුත් මේ ක්ෂේත‍්‍රයේ නිසා නිතර මුණගැහෙනවා. මේ අපේ දැන හැඳුනුම්කම වැඩි වෙලා අවසානයේ විවාහයෙන් කෙළවර වුණා.

‘‘වැනීසියේ වෙළෙන්දා’’ නාට්‍යයේ පෝෂියාගේ චරිතය රගපෑවා. ඒක දර්ශන වාර 500 කට වැඩිය අපි කළා. ඒකට ඇගයීමක් කළා. කලා මණ්ඩලයෙන් හොඳම නැගී එන නිළියට හිමි සම්මානය මට හම්බ වුණා. දැන්නම් සුදුසු කෙනාට සුදුසු තැනක් හම්බ වෙන්නේ නෑනේ. ඇත්තෙන්ම සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි රඟපෑවේ. ජනතා සම්මානය නම් අද වනතුරුත් එක විදිහටම ලැබෙනවා. අවුරුදු 40 විතර වෙනවා මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා. ඒ වුණාට ඒ ජනප්‍රියත්වය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ.

අපේ දරුවෝ දෙන්නත් කලාවට සම්බන්ධයි, ඒ ගැනත් සතුටක් තියෙනවා, ඉතින් ජීවිතය දිහා එදා වගේම අදත් ඉතාම සුබවාදීව දකිමින් ජීවත් වන කෙනෙක් මම. ලොකු බලාපොරොත්තු නම් නැහැ එන විදියට ජීවිතයට මුහුණ දෙනවා.

අනුෂා රණසිංහ