පිනි පලස

තාත්තාගේ බජව්ව සුනිල්ගේ ආරම්භය වුණා – සුනිල් පෙරේරා

හැත්තෑව දශකයේ අග භාගයේ දී සිංහල සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළ තරුණයා සුනිල් පෙරේරා නම් විය. ඉහළ මධ්‍යම පන්තියට අයත් කර්මාන්තකරුවකුගේ පුත්‍රයකු වූ මොහු ඒ වන විට බටහිර සංගීතයේ නිපුණයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, කන්ට්රි, රොක්, රොක් ඇන්ඩ් රෝල් වැනි බොහෝ බටහිර ශෛලීන් මනාව ප්‍රගුණ කර තිබිණ. කෙසේ වෙතත් පසුකාලීනව ජිප්සීස් සංගීත කණ්ඩායම තුළින් අපූරු සිංහල ගීත රාශියක් නිර්මාණය විය.

මේ ඒ ආරම්භය සිදුවූ අයුරු
‘‘ජිප්සීස් සංගීත කණ්ඩායම 1970 දී තමා අපි මුලින්ම ආරම්භ කළේ, මුලින්ම ඉතින් අපේ සාමාජිකයන් වුණේ අයියලා මල්ලිලා හතර දෙනයි. එතකොට පියල් මල්ලි නැහැ. මොකද එයා ගොඩක් පොඩියි, ඒ වගේම මගේ බාප්පාගේ පුතයි, මහප්පාගේ පුතයි දුවයි, හිටියා අපි ඔක්කොම හත්දෙනයි, අපි හත්දෙනා තමා ජිප්සීස් සංගීත කණ්ඩායම පටන් ගත්තේ.

මම ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. හැබැයි ඉස්කොලේ කාලේ ඉතින් සාමාන්‍ය පෙළින් අවසන් වුණා. මොකද උසස් පෙළ කරන්න තරම් මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබුණේ නැහැ. මොකද අපේ තාත්තට ඕන වුණේම මාව දොස්තර කෙනෙක් කරන්න. විද්‍යා විෂයයන් කරන්න ප්‍රථිඵල නැහැ. දෙවැනි පාරටත් මම විභාගෙට හිටියා. ඒත් ආවේ කලින් ප්‍රතිඵලයම තමා, ඉතින් මට පාසලෙන් අස්වෙන්න වුණා. එහෙම අස්වෙලා ඉද්දී තමා තාත්තා ඇහුවේ උඹට මොකක්ද කරන්න ඕනේ කියලා. එදා තමයි මෙහෙම සංගීත වැඩක් කරන්න ඕනේ කියලා හිතුණේ. මොකද ඒ කාලේ සංගීතය විලාසිතාවක් වගේ රැල්ලට ගියේ.ගෙදර අපේ තාත්තා හරි සතුටින් සින්දු කියලා බජව් දානවා. ඉතින් ඒ පරිසරයත් සියල්ලම බලපෑවා මේ ගමන ආරම්භ වෙන්න. ඒ වගේම මේ මගේ ගමන එන්න එකම ශක්තිය වුණේ මගේ තාත්තා. මම ගොඩක් පැරදිලා මේ ගමන ආපු කෙනෙක්. මොකද පාසලේ සංගීත තරගවලදී මම දිනලම නැහැ. ඒකට හේතුව ඉතින් එතැන හිටිය ඔක්කොම මට වඩා දක්ෂ අය වීම.

මම මේ ක්ෂේත්‍රයට එද්දී ගන්න දෙයක් නැහැ. හරිම දඩබ්බරයා. ඒ වගේම හරිම හිතුවක්කාරයා. ෆීල්ඩ් එකට එනකොට මට වයස අවුරුදු දහඅටයි. අපිත් අපිට පුළුපුළුවන් විදියට මොනවා හරි දෙයක් කළා. හැබැයි මට වාසනා ගුණය තිබ්බා ඒ නිසා ඒවා මතු වුණා.
ඇත්තම කියනවා නම් සුනිල් අයියා දක්ෂයෙක් නෙවෙයි. සුනිල් අයියා වාසනා ගුණය ඇත්තෙක්. ඒ වාසනාව මිසක් මට ඇති දක්ෂකමක් නෑ. මම වාසනාව නිසා බැබළෙන මිනිහෙක්.

ජිප්සීස් සංගීත කණ්ඩායම 1970 දී ආරම්භ කළාට මුල්ම සිංහල සිංදුව වුණේ ළිඳ ළඟ සංගමය කියන ගීතය. 1972 දී මේ ගීතය ලිව්වේ අපි එක්කම හිටිය අපේ තාත්තගේ කම්පැනියේ වැඩ කළ චන්ද්‍රා දේවදිත්ත කියලා කෙනෙක්, ඒ එක්කම ඒකෙ තනුව නිර්මාණය කළේ සී. එල් ෆොන්සේකා. ඒ වගේම ඒ කාලෙම නිර්මාණය වුණු අනිත් සින්දුව තමා අම්මා අම්මා කියන ගීතය.

1970 දශකයේ තිබ්බේ කැසට් නෙවෙයි ගීත තැටි. 1977 නෝනේ මගේ සුදු නෝනේ, ඔබ දුටු ඒ මුල් දිනේ, මා සතුටින් බව වගේ ගීත නිර්මාණය වුණේ ගීත තැටි හරහා. ඔහොම ඉන්න අතරේ 1980 දී තමා ජිප්සීස් සංගීත කණ්ඩායමේ මුල්ම කැසට් එක නිකුත් කළේ ඒ කුරුමිට්ටෝ ගීතයත් එක්ක.

1989 කොළඹ කැම්පස් එකේ ප්‍රසංගවලට යද්දී ජේ.වී.පී කලබල කාලේ නිසා ආවොත් මරනවා කියලා තිබ්බා ඒත් එහෙම වුණේ නැහැ. ඒ වගේම කැම්පස් එක ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා දැක්කා මට විරුද්ධව. එදා ඉඳන් ආපු මේ ගමනේ අමතක නොවන සිද්ධි නම් බොහොමයක් තියෙනවා. ඒවා ඉතින් හැබැයි මෙහෙම පත්තරේකට ලියන්න අමාරුයි.
අපිට කවදාවත් මුදල් ප්‍රශ්න තිබුණේ නෑ. එදත් අදත් අපිට ජීවත්වන්න ඕනෑවටත් වඩා මුදල් තියෙනවා. ඕනෑම ජගතෙක් ඔළුව නවන්නේ සල්ලිවලටනේ. මට ඒ ප්‍රශ්නයත් නෑ. වාසනාව. හැමදේම මට ලැබුණේ මා සතු වාසනා ගුණය නිසා.

සංගීත ෆීල්ඩ් එකේ මම හැමදාම හැප්පුණේ මම කරන දේ සහ මට තියෙන විවේචන වෙනුවෙන්. ඒක සාමාන්‍යයි. මගේ නරකක් නෑ. මගේ දේ වෙනුවෙන් පෙනීසිටීමක් විතරයි මම කරන්නේ. මගේ මමත් හොඳ නෑනේ. කටත් හොඳ නෑනේ. මම ඕවාට රණ්ඩු වුණා. කියන දේ කියලා දැම්මා. ඒ මගේ හැටි අදත් එහෙමයි. මට දැන් හිතෙනවා ඒ නිසා වෙන්න ඇති හැමෝටම මම සුනිල් අයියා වුණේ (හිනා) පොඩි එවුනුත් මට අයියා කියනවා. අංකල් කියන අයත් ඉන්නවා නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් අය සුනිල් අයියා කියලා තමයි කියන්නේ. මම ඉන්න විදියට අයියා කෙනෙක් වගේ පේනවාද දන්නේ නැහැ. කොහොම වුණත් මට වඩා නාකි අයත් මට අයියා කියනවානේ.’’

අනූෂා රණසිංහ