විශේෂාංග

ත්‍රීවීල් ගමන් එපා‌​ වෙන මීටරේ චාටරේ

ඉබ්බෝ වගේ පර්ස් එකට එන සල්ලි පැනල යන්නේ හාවෝ වගේ වේගෙන් බ්‍රෝ…

මේ, මෙරට ත්‍රිරෝද රථයක පිටුපස ස්ටිකර් අකුරු කපා ප්‍රදර්ශනය කර තිබූ පාඨයකි. මේ ත්‍රිරෝද රියැදුරා කියන කතාව සත්‍යයකි. ගාස්තුව ගැන නොදැන මෙරට ත්‍රිරෝද රථයට නැග්ගොත් නම් ඉතින් පර්ස් එකට අමාරුවෙන් හොයාගත් සල්ලි ත්‍රිරෝද රියැදුරාගේ පර්ස් එකට පැන දුවනු ඇත්තේ හාවන්ගේ වේගයෙනි.

අසූව දශකයේ මුල මෙරට ත්‍රිරෝද රථ ජනප්‍රිය වෙද්දී අවම ගාස්තුව වූයේ රුපියල් පහකි. ඉන්පසු එය රුපියල් දහය සිට විස්ස දක්වා වැඩි විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව මෙරට ඉතිහාසයේ වැඩිම පෙට්‍රල් මිල වැඩි කිරීමත් සමග රුපියල් විස්සේ අවම ගාස්තුව රුපියල් හතළිහ වූයේ සියයට සියයක ප්‍රතිශතයෙනි. ඉන්පසු අවම ගාස්තුව රුපියල් පනහ දක්වා වැඩි විය. දැන් ත්‍රිරෝද රථ අවම ගාස්තුව රුපියල් හැටටද පවත්වාගෙන යති. ලක්ෂ හැට හැත්තෑවේ බසයක් මගියකුගෙන් රුපියල් දොළහක අවම ගාස්තුවක් ගන්නට නවත්වද්දී, මේ ලක්ෂ දහයක ත්‍රිරෝද රථයක් නවත්වන්නේ රුපියල් පනහ හැටක ගාස්තුවකටය. එම ත්‍රිරෝද රථයද හයර් දුවන එකක්ද නැතිනම් හයර් නොදුවන එකක්දැයි නිශ්චිතව හඳුනාගත නොහැක්කේ එදා මොරිස් මයිනර් ටැක්සි දිවූ යුගයේ මෙන් රතු නොම්මර නම් වූ කුලී රථවලටම සුවිශේෂී අංක තහඩු නැති නිසාය. එදා මොරිස් මයිනර් හයර් කාර් එකේ මීටරය තිබුණේ කාටත් පේන්නටය. එය Hire නමැති කොටස පහතට කැඩූ විට එම රථය හයරයක් රැගෙන යන බව ඕනෑම පෝරිසාදයකුට දැකගත හැකි විය. ඊටත් වඩා එදා මොරිස් මයිනර් රියැදුරකු තමාගේ පෞද්ගලික ගමනක් යනවා නම් වාහන ෂෙඩ්වල වාහන පිහදාන වර්ගයේ තැඹිලි පාට ලේන්සුවකින් මීටරය වසාගෙන යෑමේ රීතියක්ද තිබුණි.

දැන් ලංකාවේ ත්‍රිරෝද රථ ගාස්තු අය කිරීමේ ක්‍රමවේද හැටහුටාමාරක් ඇති නිසා වඩාත් අපහසුතාවට පත්වන්නේ ඒවායේ හදිසියට ගමන් ගන්නා මගීන්ය. පික්-මී, ඌබර්, යෝගෝ ආදී ඇප් හරහා ත්‍රිරෝද රථයක් වෙන්කර ගන්නා විට පටන් ගන්නා ගාස්තුව වන්නේ රුපියල් හැටකි. දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන්නේ රුපියල් 32 බැගිනි. ඔවුන් හඳුන්වා දෙන සමහර පැකේජවල ගමනක් ගොස් නැවත එනවා නම් ගමන යාමට එක් ගාස්තුවකුත් නැවත ආරම්භක ස්ථානයට ඒමට මුල් ගාස්තුවට අඩු ගාස්තුවකුත් අය කෙරේ. ගමනාන්තයේ නවතින වේලාවන්ද අනුව ගාස්තු අය කිරීම අද තරගකාරී තත්ත්වය තුළ දැකගත හැකිය.

පරිගණක සාක්ෂරතාවක් නැති ස්මාට් ෆෝන් භාවිතයක් නැති ත්‍රිරෝද රථ රියැදුරන් අදත් බහුතරයක් සිටී. මීටර් ටැක්සි නමින් ස්ටිකරයක්ද ඔවුන් අලවාගෙන සිටිති. බොහෝවිට හන්දියේ කොට්ටන් ගහ යට ස්ටෑන්ඩ් එකේ සිටින මේ ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ විට සිටින්නේ බුලත්විටක් කමින් පත්තරයක් කියවමිනි. ලංකාවේ සිටින හොඳම පත්තර රසිකයන් ත්‍රිරෝද රථ රියැදුරන් යැයි වරෙක සිතෙන්නේ ඔවුන් පත්තරේ නමේ සිට නිකන් ඉන්නා විට අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන මුද්‍රණාලයේ නම දක්වා කියවන බැවිනි. මේ බොහෝ රියැදුරන්ගේ ආරම්භක ගාස්තුව රු. 50ක් වන අතර ඊළඟ කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රු. 45කි. මේ ඇතැම් රියැදුරන්ගේ ආරම්භක ගාස්තුව රු. 60ක් වන අතර, දෙවැනි කිලෝමීටරයේ සිට රු. 48 හෝ 40 අය කරන බවට දැනගත හැක්කේ ගමන ආරම්භයට පෙර විමසුවොත් පමණි.

ලංකාවේ ටැක්සි මීටරය සොයාගත් පුද්ගලයා ලංකාවේ හදගැස්ම හා අපේ අයියලාගේ ණය ගෙවීමේ ප්‍රතිපත්තිය හොඳින් අධ්‍යයනය කළ පුද්ගලයකු විය යුතුය. මෙම ත්‍රිරෝද ටැක්සි මීටරයක් එකවර ගෙවන්නේ නම් රු. 6000-8000ත් අතර මිලකට මිලදීගත හැකි අතර එය ගෙවන්නට ගන්නේ නම් එම මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් අය කෙරේ. මීටර් වෙළෙන්දා මූලික මුදල ගෙවූ විට ඉතිරි වාරික ගෙවන පොරොන්දුවට මීටරය සවිකර දෙන්නේ දෙවරක් නොසිතාය. මෙය ලංකාවටම හරියන මීටරයක් යැයි කියමන ප්‍රායෝගිකව අත්විඳිය හැක්කේ පළමු වාරිකය නොගෙවා මගහැරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? ටැක්සි මීටරය ඉබේම ලොක් වීමය. මෙවැනි අවස්ථාවල ත්‍රිරෝද රියැදුරන් ලැජ්ජාවෙන් බේරීමට ගොතාගත් නිදහසට කාරණා කීපයක් ඇත. මීටරයේ අග රෝදයට හසුවන වීල් එක ගෙවී තිබීම, ත්‍රිරෝද රථයේ බැටරිය චාජ් ‌නොකිරීම, කරන්ට් ෂෝට් එක නිසා මීටරය වැඩ නොකිරීම හා කලින් ගිය හයර් එකේදීත් මීටරය හොඳින් වැඩ කළා යැයි කියන ​කෙබර ඒ අතරින් අති සුවිශේෂය.

කොළඹ කෙසේ වෙතත් ලංකාවේ බොහෝ නගරවල, ගම්වල ත්‍රිරෝද රථවල මීටර් දැක ගන්නට නැත. මීටර් තිබුණත් යම් ගමනාන්තයක් කියූ විට ‘‘ඔය පාර වන් වේ. ඒ නිසා ඔයාව බස්සලා මට කිලෝමීටර තුන හතුරක් මෙතැනට එන්න යන නිසා අහවල් ගාස්තුව ගෙවන්නේ නම් පමණක් රැගෙන යාහැකි’’ බවට ත්‍රීවීල් රියැදුරන්ගේ ගෙම්බර් බැලීමට මගීන්ට සිදුවී ඇත්තේ මෙරට මෙතෙක් බලයට පත් ආණ්ඩු ත්‍රිරෝද රථ සඳහා උපරිම ගාස්තුවක් මෙන්ම මෙම ත්‍රිරෝද රථ පද්ධතිය අධීක්ෂණයට මෙලෝ හත්ඉලව්වක් නොකළ නිසාමය.

මෙරට බොහෝ රියැදුරන් රථයට පුද්ගලයකු නගින්නට යන විට අහන පළමු ප්‍රශ්නය යන තැනය. ත්‍රිරෝද රථ රියැදුරන් ඇතැම් ගමනාන්තයන්ට යාම ප්‍රතික්ෂේප කරන්නේ මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට මෙන්ම බලයේ ඇති ආණ්ඩුවද අවඥාවට ලක් කරමිනි.

‘‘අපෝ ලොක්කා, මේ රාජගිරියේ ඉඳන් කවුරුත් පිටකොටුවට හයර් යන්නේ නැහැ. මරදානෙන් පටන් ගත්තම සංඝරාජ මාවත, පංචිකාවත්ත වටරවුම ඔක්කොම වන් වේ. බොසා, මීටර් ටැක්සියක් අල්ල ගන්න.’’

මේ ත්‍රිරෝද රථ තැනක නැවැත්වූ විට අය කරන වේටින් (Waitin) ගාස්තුවද මහා ජාවාරමක් වී තිබේ.

අප කඩයකට ගොස් බඩු ගන්නා තුරු වේටින් ගාස්තුවක් අය කිරීම අසාධාරණයක් නැත. සමහර පැය ගණන් වාහන තදබදය ඇති අවස්ථාවලද වේටින් ගාස්තුව ඉබේම ගමන් ගාස්තුවට එකතු වේ. ඇතැම් විට ගමන් ගාස්තුවට වඩා වේටින් ගාස්තුව අඩුවන්නේ රුපියල් කීපයකිනි. මෙය ඇප් හරහා ත්‍රිරෝද රථ වෙන් කරවා ගන්නා මගීන්ට වන මහා අසාධාරණයකි. ගාස්තුව ලෙස හයර් එක බුක් කරන විට රු.1200ක් පෙන්නුවත් වාහන තදබදයේ ගමනාන්තයට ගමන් කරන විට අවසානයේ ගාස්තුව රු. 2200 කි.

මෙතැන දැන් ප්‍රශ්නයක් ගොඩනැගෙන්නේ ඇප් හරහා ඇණවුම් කරන ත්‍රිරෝද රථ ඉල්ලූම අඩු අවස්ථාවලගාස්තුව ඉතා අවම මට්ටමකට ගෙන ඒමය. එහෙත් හන්දියේ ත්‍රීවීල් අයියාට ඒවා ඔට්ටු නැත. හයර් නැති වෙලාවටත් ඔුහගේ ගාස්තුව එකක්මය. ඇප් හරහා ඇණවුම් කරන ත්‍රිරෝද රථ අඩු මිලට හයරය ගොස් අදාළ ටැක්සි සමාගමටද 10%-15%ක කොමිස් මුදලක් දීම සාමාන්‍ය ටැක්සි රියැදුරන් අධ්‍යයනය කළ යුත්තකි. ඊටත් වඩා රජය මේ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයට වහා පියවර ගත යුත්තේ අට ලක්ෂයක් පමණ වන ත්‍රිරෝද රථ මහජනතාවට උපයෝගිතාව ඇතිවන ලෙස ගුණාත්මක, විනයගරුක සේවයක් බවට පත් කිරීම මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට ත්‍රිරෝද රථද බද්ධ කරගැනීමට හැකියාවක් ඇති නිසාය.

අද බොහෝ විට පිරිසක් ත්‍රිරෝද රථවල යන්නට ගාස්තුව අසා අවසානයේ කරන්නේ ඇප් එකක් හරහා ඒසී ඇති සුවපහසු වෑන් රථයක් හෝ කාර් රථයක් ඊට අඩු මුදලකට ගෙන්වා ගැනීමය. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ මෙරට ත්‍රිරෝද රථ ගාස්තු පොදු ජනතාවට මහා හිසරදයක් වී ඇති බව නොවේද? මේ ගාස්තු පලහිලව්වේ අවසන් ප්‍රතිඵලය ත්‍රිරෝද රථවල යාම පොදු ජනතාව ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. එදා ද සොයිසා කාන්තා රෝහලේ දරුවකු උපන් විට දරුවා ගෙදර රැගෙන ගියේ ත්‍රිරෝද රථයකිනි. ඒත් අද බොහෝ දෙනා කිරිකැටියා කෙසේ හෝ බස් රථයකට නැගී එක්කන් යන්නේ මේ මාෆියාව නිසාය. රජයට කිසිදු වියදමක් නැතිව කළ හැකි ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය, උපරිම ගාස්තු හා මීටර් ක්‍රමයක් වහා ක්‍රියාවට නැංවීම බරපතළ ජාතික අවශ්‍යතාවක් වී තිබේ.

වජිර ලියනගේ