අතන මෙතන

ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටී පස්දෙනෙකුට තුවාල

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරු 2.45 ට පමණ ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනෙකු හා මාර්ගයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇති බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ පොල්ගහවෙල දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් නවතා තිබූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇත.

ලොරි රථයේ ගැටුණු ත්‍රිරෝද රථය අඩි තිහක් පමණ විසි වී ගොස් තිබූ අතර ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 17,18,19,21 පසු වන තරුණියන් ඒ අතර පාසල් සිසුවෙකු ද සිටින බවත් තුවාල ලැබූ කාන්තාව අවුරුදු ( 44) පමණ වන පොල්ගහවෙල ගඩලාපිටි වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

තුවාල ලැබූ පිරිස පොල්ගහවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ කාන්තාව හා ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇත.