විශේෂාංග

ත්‍රස්තවාදීන් මීළඟට එල්ල කරන්නේ රසායනික ප්‍රහාරයක්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය කොතරම් විනාශකාරී එකක් වුවද ඉන් සිදුවූ එක් හොඳක්ද තිබේ. ඒ අප රටේ ජාතික ආරක්ෂක සැලැස්ම කෙතරම් දුර්වල, හිඩැස් සහිත එකක්ද යන්න අනාවරණ වීමය. ඇත්ත වශයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය තෙක් මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හෙළිවී ඇති අන්දමට පෙනී යන්නේ ජාතික ආරක්ෂක සැලැස්මක් යැයි කිසිවක් නොතිබුණ බවය. එහිදී ආරක්ෂක අංශවලට ඒ පිළිබඳ දොස් පැවරිය නොහැක්කේ ඔවුන් සිය වගකීම ඉටු කර තිබූ බැවිනි. එහෙත් දේශපාලකයන් සිය බල ව්‍යාපෘතීන් සඳහා ආරක්ෂක අංශවල අනතුරු ඇඟවීම්වලට නෑසූ කන්ව සිටියහ.

මේ වනවිට හෙළිවී ඇති අන්දමට රට පුරා පුපුරන ද්‍රව්‍ය බෙදාහැරීමේ ඒකාධිකාරය තිබී ඇත්තේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් අතය. එහි භයානක තත්ත්වය වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එහි ඒකාධිකාරය හිමිවීම පමණක් නොව ඒ ගැන කිසිදු අධීක්ෂණයක් නොමැතිව තිබීමය.

මේ අන්දමට රටට රසායනික ද්‍රව්‍ය ගෙන ඒම හා බෙදා හැරීමද සිදුවන්නේ නිසි අධීක්ෂණයකින් නොවන බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. මෙරට බලධාරීන් මේ ගැන නිසි සොයාබැලීමක් නොකර සිටින්නේ ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන තම ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍යයන්ට මෙන්ම රසායනික අවි භාවිත කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබියදීය.

රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරී‍මේ බලපත්‍ර ලබාදීම හා අධීක්ෂණය පැවතුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍යාංශය යටතේය. දැන් එය ආරක්ෂක අමාත්‍ය යටතට පවරාගෙන ඇතත් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය තවමත් ඇත්තේ වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේය.

මෙරටට රසායනික ද්‍රව්‍ය ආනයනය කරන ව්‍යාපාරිකයන්ගෙන් බහුතරයද මුස්ලිම් ජාතිකයන් නිසා මෙය සැහැල්ලුවෙන් තැකිය නොහැකිය. රසායනික ප්‍රහාර අවදානම සඳහා මුහුණ දීමට යුද හමුදාවට වෙනමම ඒකකයක් ආරම්භ කර ගුවන්, නාවික හමුදාවල මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායටද එම ඒකකයක් ආරම්භ කරන්නේද රට හමුවේ අනාගත තර්ජනවලට මුහුණ දෙන්නටය. එම ඒකක සඳහා විදෙස් පුහුණුව ලද නිලධාරීන්ගෙන් සමන්විත දෙසියයකට අධික කණ්ඩායමක් සිටියද සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය උපාංග ලබාදී නොමැත.
අවම පහසුකම් තිබුණද රසායනික ප්‍රහාරයකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන සුවිශේෂී හැකියාවක් ඇති එම ප්‍රහාරවලට මුහුණ දීමට සූදානම් කණ්ඩායම් ත්‍රිවිධ හමුදාවේම සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවි පිළිබඳව වර්ෂ 1969 සම්මුතියට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇත. මේ අනුව මේ සම්බන්ධව ලෝකයට වගකියන මෙරට බලධාරියා වන්නේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියයි. මෙම අධිකාරියෙන් නිකුත් කරන වාර්තා රටේ ජනාධිපතිගේ අත්සනින් නිකුත් කළා හා සමානව ජාත්‍යන්තරය පිළිගන්නේ එයට ඇති වගකීම නිසාය.

ආරක්ෂක අංශ අතින් නිරීක්ෂණයට ලක්විය යුතු රසායන ද්‍රව්‍ය ගෙන එන ක්‍රමවේදය නිරීක්ෂණය කරන්නට කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයකු මෙම ඒකකයට බඳවා ගෙන නොමැත. රට තුළ රසායනික ප්‍රහාරවලට මුහුණ දීම සඳහා සී.බී.ආර්.එන්. ඒකක පිහිටා ඇතත් ඒවායේ සිටින නිලධාරීන්වත් මෙයට අනුයුක්ත නොවන්නේය.
ආනයන – අපනයන පාලක දෙපාර්තමේන්තුවත්, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරී‍මේ ජාතික අධිකාරියත් සමග ආරක්ෂක අමාත්‍යාංශය මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව තිබුණු බව බලධාරීන්ට වැටහී ඇත්තේ දැන්ය. ඒ වන විටත් රට තුළ ඉස්ලාම් අන්තවාදීන් තම අන්තවාදී ප්‍රහාර සඳහා රසායනික ද්‍රව්‍ය මෙන්ම පුපුරන ද්‍රව්‍යද යොදාගෙන හමාරය.

රස පරීක්ෂක වාර්තාවලට අනුව සහරාන් කණ්ඩායම බෝම්බ සෑදීම සඳහා භාවිත කළ දෑ අතර සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, යූරියා, වෝටර් ජෙල්, ඩෙටනේටර්, අයිස් කුට්ටි හා නයින් වෝල්ට් බැටරි තිබුණු බව කියැවිණි. මේ නිසාම මෙවැනි දෑ සැක සහිත අන්දමින් විකුණන්නන් ගැන විපරමින් සිටින්නට දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක්ද යවා තිබුණේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අවශ්‍යතාවක් සේ සලකා මෙරටට රසායනික ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය ගෙන ඒමේ සිට අවසන් තැනට බෙදීයාම දක්වා පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබුණද එය ඉටුවී නොමැත. මුස්ලිම් තරුණයන්ගෙන් සමන්විත අන්තවාදයක් හිස ඔසවන්නට යන බව බුද්ධි අංශ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී පුන පුනා කියද්දීත් මේ ගැන අවධානයක් යොමුවී නොතිබිණි. විශේෂයෙන්ම වැඩිපුරම ලංකාවට රසායනික ද්‍රව්‍ය ගෙන ඒම පසුපසත් මුස්ලිම්වරුන් සිටින බව දැන දැනත් එය ගැන බලධාරීන්ගෙන් අවධානය යොමු නොවීම බලවත් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන්නකි.

ලෝකයේ රසායනික ප්‍රහාර දෙස අවධානය යොමු කරද්දී මෑත ඉතිහාසය තුළ සිරියාවේ ‘‘ශරීන්’’ නමැති ගෑස් ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාමික අන්තවාදීන්ය. එහිදී දහසක් පමණ තුවාල ලදහ.

ජර්මානුවන් පළමුවන ලෝක යුද්ධයේදී බෙල්ජියමට එරෙහිව ක්ලෝරින් වායු ප්‍රහාරයක් එල්ල කර ඇරඹි රසායනික යුද්ධයේ අමිහිරි මතකයන් අතරට ඉරාන ඉරාක යුද්ධයේ කුර්දිවරුන්ගේ ගම්මානවලට ඉරාකයෙන් මස්ටර්ඩ් වායු ප්‍රහාර එල්ල කිරීමද පෙන්වා දිය හැකිය. කුර්දි ගම්මානවල පන්දහසකට වඩා එම වායු ප්‍රහාරයෙන් මියැදුනේය.

1995 මාර්තුවේ ජපානයේ ටෝකියෝහි උමං දුම්රිය මාර්ගයක ශරීන් වායු ප්‍රහාරයකින් දොළොස් දෙනකු මියගොස් හය දහසකට පමණ එම ප්‍රහාරයේ බලපෑම් ඇති කළේත් ත්‍රස්තයන්ය.

උතුරු කොරියානු නායක කිම් ජෝන්ගේ සොහොයුරාව මැලේසියාවේ ක්වාලාම්පුර් ගුවන් තොටුපොළේදී මුහුණට රෙදි කඩකින් අතුල්ලා ඝාතනය කළ කාන්තාවන් දෙදෙනා අත තිබුණේ වී එක්ස් නමැති රසායනිකය. 2018 මාර්තුවේදී රුසියානු ඔත්තු ඒජන්තවරයකුට සිය දියණියද සමග යද්දී මෙවැනිම රසායනික ප්‍රහාරයක් එල්ල විය.

රසායනික අවි භාවිත කරන ත්‍රස්තයන් ස්නායු පද්ධතියට හානි කරවන, ලේවලට විෂ වන, මොළය හදවත වැනි ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන්ට හානිදායක රසායනික යොදාගෙන ප්‍රහාර එල්ල කරන බව ජාත්‍යන්තර වශයෙන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එවන් වටපිටාවක මෙරට තුළදී රසායනික ප්‍රහාරයකට වුව යාමට අවශ්‍ය වටපිටාව අන්තවාදීන්ට ඕනෑවටත් වඩා හොඳට සැකසී තිබූ බව සහරාන්ලාගේ ප්‍රහාර මාලාවෙන්ම තහවුරු වී ඇත. රටේ වාසනාවකට මෙන් ප්‍රහාරකයන් එවැනි දෙයකට මුල පුරා නොතිබුණත් අනාගතයේ එවැනි අවදානමක් නොමැති බව කියන්නට ආරක්ෂක අංශවලට සහතිකයක් දිය නොහැකිව ඇත.

මෙම අවදානමට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය ක්‍රියාත්මක වන ආකාරය ගැන එහි ප්‍රධානීන්ගෙන් විමසුවෙමු.

ලංකාවට කෙමිකල් වර්ග තිස් හතක් දැනට පිටරටින් ගේනවා. ඒ අතරින් එකක් තමයි තර්ජනයක් ඇති බවට විශ්වාස කරන්නේ. එකක් ලංකාවේ කොස්මැටික් නිෂ්පාදන, රබර්, අත් ආවරණ, සිමෙන්ති හදන්නත් යොදාගන්නවා. මේවා ගෙන්වීම හා බෙදාහැරීම සඳහා කම්පැනි තිහ හතළිහක් අපේ ලියාපදිංචි වී තිබෙනවා. අපි වාර්ෂිකව කම්පැනිවල ස්ටොක් එක කොච්චර තියේද? කොච්චර බෙදාහැර තියෙනවාද යන්න නිරීක්ෂණය කරනවා. එම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවලට ගෙනගිය පසුව වෙනම අධීක්ෂණයක් යටතේ වෙනම ගබඩා කර තියෙනවාද යන්නත් මාස තුනෙන් තුනට වාර්තා ගන්නවා. කලින් වසරට සාපේක්ෂව රසායනික තොගවලින් කෙතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්නත් සොයා බලනවා.’’ යැයි එම ඉහළ නිලධාරියා සඳහන් කළේය.

මේ අනුව පැහැදිලි වන්නේ රසායනික ද්‍රව්‍ය බෙදාහරින හා ලබාගන්නා ආයතන ලබාදෙන වාර්තා මත පදනම්ව සියල්ල සිදු කරන බවය. නමුත් කළ යුතුව ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව තකා සියල්ල එකිනෙකට අධීක්ෂණය කරවීමය.

දැන්වත් රට හමුවේ ඇති තර්ජනය සලකා බලා රසායනික ප්‍රහාරවලට මුහුණ දෙන්නට සූදානමක් ඇති පුහුණුව ලත් ඒකකවල නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් මේ ගැන අධීක්ෂණයට යෙදවිය යුතුව ඇත්තේය. අප තවමත් ප්‍රමාද නැත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා