අතන මෙතන

තව පොඩ්ඩෙන් 12දෙනෙක්…

බ්‍රහස්පතින්දා ජාතික ආණ්ඩු මාතෘකාවෙන් උණුසුම් වන්නට තිබූ පාර්ලිමේන්තුව උණුසුම් වූයේ කිසිවෙකු නොසිතු පරිදි සිදුවූ අකරතැබ්බයකිනි. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සමග විපක්ෂයේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක විනාඩි විසිපහක් සිරවීමේ සිද්ධියෙනි.

දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් විරවංශ, බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර, ගාමිණී ලොකුගේ, සිසිර ජයකොඩි, රන්ජිත් සොයිසා, සී.බී. රත්නායක, යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද රන්ජිත් අලුවිහාරේ නියෝජ්‍ය ඇමැතිවරයාද බිම්මහලේ සිට දෙවන මහල තෙක් යාමට අංක හය දරන විදුලි සෝපානයට නැග ගත්තේය. පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන අටක් ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙනමම දෙකක් වෙන් කර ඇත. සෝපානය අාබාධයකින් තොරව ඉහළට එසවුණද මොහොතකින් එක වරම නතරවිය.

මන්ත්‍රීවරු තිගැස්සී ගියේ මෙවන් අත්දැකීමකට කලින් මුහුණ දී නොතිබුණු නිසාය. විමල් වීරවංශ තම සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ගෙන සෝපානය ඇතුළත සිදුවීම වීඩියෝ කරන්නට පටන් ගත්තේය. “මොකද්ද දැන් අපි කරන්නේ මේක හෙන ප්‍රශනයක්“ දයාසිරි කීවේය. ඩලස් අලහප්පෙරුම සෝපානයේ ඇති දුරකථනයෙන් පාර්ලිමේන්තු ආරක්ෂක අංශය ඇමතුවේය. මේ අපු ලිෆ්ට් එකේ හිරවෙලා ඉන්නේ, අංක හය එකේ.“ අපි විනාඩියෙන් එනවා සර් ඇමතුමේ අනෙක් පසින් පිළිතුරු ලැබිණි.

බේරා ගැනීමට එන පිරිස එනතෙක් සෝපානය ඇතුළේ පිරිස බලා සිටියද විනාඩි දහයක් ගත වෙද්දීත් ඔවුන් පැමිණියේ නැත. ‘‘මේක ඇතුළේ වැඩිවෙල හුස්ම ගන්න බෑ මචං’’ දයාසිරි කීවේය, “නෑ නෑ ෆෑන් එක’’ චන්දිම දයාසිරිට පෙන්නුවේය. “ෆෑන් එක නෙමෙයි හුස්ම ගන්න බැරිවෙනවා’’ දයාසිරි නැවත කීවේය. බන්දුල කීවේ ‘‘දැන් මේක ඉන්ටර්නැෂනල් නිව්ස් එකක කියාය. ‘‘නෑ නෑ ජාත්‍යන්තර ප්‍රවෘත්තියක්’’ විමල් කීවේය. මේ කොලොප්පම් නෙමෙයි බන්දුල බැරෑරුම් කම කියන්න යද්දී මේක අගමැතිතුමාගේ කුමන්ත්‍රණයක් යැයි දයාසිරි කීවේය. සිබි රත්නායක කාට කාටහරි කතා කරන්න කියද්දී විමල් රන්ජිත් අලුවිහාරේ පෙන්වමින් ‘‘මෙයාටත් අගමැතිතුමා කොහොමත් කැමති නෑනේ’’ කීවේ.

මර බියෙන් වුවත් සිටි පිරිස හිනස්සවමිනි. “දාඩිය දානවා. මේක දැන් එකපාරටම පහළට කඩා වැටෙන්න පුළුවන් දයාසිරි කියද්දී එහෙම වුණොත් බෙරණ ක්‍රමයක් හැටියට රන්ජිත් සොයිසා කීවේ කඩන වැටුණොත් මෙහෙමම වාඩි වෙන්නයි තියෙන්නේ කියාය. “කලබල වෙන්න එපා’’ ඩලස් පිරිස අස්වසන්නට තැත්කළේය , පුදුම බයවිල්ලක්නේ බය වෙන්නේ දයාසිරි කීවේය. දැන් ඉතින් දන්නා ගාථාවක් කියමු විමල් යෝජනා කළේය. ඉතිපිසෝ භගවා කියා දයාසිරි ගතාව පටන් ගත්තේය. “කරණීය මෙත්ත සූත්‍රය කියමු බන්දුල දයාසිරිට කීවේය. දයාසිරි ඉතිපිසෝ ගාථාව නැවත කරණිය මෙත්ත සූත්‍රය කියන්නට පටන් ගත්තේය. එහෙත් ඒ අතර ගිනි ලොකුගේ පිටත සිටි අයෙකුට ඇමතුමක් ගෙන සිද්දවුණු අලකලංචිය කීවේ මහා හයියෙනි. දයාසිරි පිරිත පැත්තකින් තබා කීවේ ‘‘අද පුදුම තොගයක් නැග්ගනේ මේකට කවදාවත් නැතුව යයි කියා.

තම දීර්ඝ කාලීන දේශපාලන දිවියපුර ක්ෂණිකව මතකය අවදි කළ දිනේෂ් කීවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් මෙහෙම වෙලා නැතැයි කියාය. මේවා මේන්ටේන් කරන්න එපාය’’ ගාමිණී නෝක්කාඩුවෙන් කීවේය. එ් අතර නැවත වරක් ඩලස් පාර්ලිමේන්තු ආරක්ෂක අංශ නිලධාරීන්ව සෝපානයේ හදිසි දුරකථන මාර්ගය ඔස්සේ සමබන්ධ කරගෙන සෝපානයේ සිරව සිටින පිරිස බේරාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේද අනෙක් පසින් ලැබුණු පිළිතුර වූයේ විනාඩියෙන් එනවා සර් යන්නය. ගාමිණී ලොකුගේ ඒ අසා කිවේ දැන් කලිනුත් විනාඩියෙන් එනවා කිව්වනේ කියාය. ඒ අස්සේ දයාසිරි කිවේ මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ මට අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙකුත් තියනවා අහන්න කියාය. පිරිස දයාසිරිට කිවේ ‘‘දයාසිරි මල්ලි මේක වරප්‍රසාද ප්‍රශනයක් එ්ක අහන්න’’ කියාය. ඒ කියද්දී රන්ජිත් අලුවිහාරේ ආ…කියමින් පිරිස රන්ජිත් දෙස බැලුවේ ඔහු පාර්ලිමේන්තුවේ පහසුකම් පිළිබඳව සොයා බලන හවුස් කමිටි සභාපතිවරයා නිසාය.

අලුවිහාරේ බයිට් එකට ගන්නට කලින් පැමිණි බේරා ගැනීමේ කණ්ඩායම මන්ත්‍රීවරු පිරිස සෝපානයේ දොර හැර එළියට ගත්තේය. අනතුරුව පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේ මේ සෝපාන කතාව නිසාය. විමල් වීරවංශ කතා නායකවරයාට ඒ පිළිබඳව සිද්ධිය වාර්තා කළේය. කථානායක කරු ඊට පිළිතුරු දෙමින් කණගාටුව ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දුන් විමල් කීවේ “ඔබතුමට නම් හරි සතුටුයි, අන්න හිනාවකුත් ගියා, කනගාටුව ප්‍රකාශ කරලා වැඩක් නෑ, හුස්ම හිරවෙලා මැරෙනවා තව ඩින්ගෙන්’’ යයි කීවේය. කථානායක කීවේ ඔහු ඒ පිළිබඳව සොයා බලන බවයි.

විමල් නැවත කථානායකවරයා අමතමින් “ඔබතුමා ඔය ලිෆ්ට් එකේ යන්න එපා තැන් තැන්වල කතා වෙනවා ඔබතුමා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඉන්නවා කියලා එ්ක නිසා පඩි පෙළින් එන්න. මොකද හිතා මතා හිරකරන්න ඉඩ තියනවා, අපි මේ ආදරේට කියන්නේ’’ කීවේය. “ඊට පිළිතුරු දුන් කථානායක “ඔබතුමාලටත් අපේක්ෂකයො ඉන්නවනේ, මන් ගැන මං බලා ගන්නම්’’ කීවේය. දිනේෂ් ගුණවර්ධනද කථානයකවරාට විදුලි සෝපානය භාවිත නොකරන්නැයි ඉල්ලා සිටි අතර “වෙලාව අාවම යන්න වෙනවා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ’’ යි ඔහු පැවසීය.