තනිවම වැවක් හැදූ කිරා
24 December 2018
තනිවම වැවක් හැදූ කිරා
24 December 2018
වැවක් හැදීම යෝධ වැඩකි. යෝධ වැඩක් තනි මිනිහකුට කළ නොහැකිය. නොහැක්කක් නොමැත කියන්නා සේ තනි මිනිහෙක් වැවක් හදා තිබේ. ඒ අද ඊයේ නොව ඉංග්‍රීසි ආණ්ඩු සමයේ මැද භාගයේ දීය. බැකෝ, කැටපිලර්, ට්‍රැක්ටර් යන්ත්‍ර කිසිවක් නැතිව එසේ ඉදිකර ඇත්තේ කලවානේ කිරා වැවයි. ඒ කලවානේ වැද්දාගල, කන්දෙවත්තෙ සමරප්පුලිගේ කිරා විසිනි.
කලවානේ 8-9 කිලෝ මීටර් කණු අතරේ උතුරු වැද්දාගල හදා ඇති, කිරාවැවේ ජල මූලාශ්‍රය වන්නේ කන්දවත්ත මූකලානෙන් පහළට ගලා බසින කළුවෙලවත්ත දොළ හෙවත් ඉමේ දොළයි. අතුලෙවෙල නමැති ස්ථානයේ දී ඉමේ දොළ හරස්කර බඳින ලද අමුණක රැස්කර, ගත් ජලය කිරා විසින්ම කැපූ ඇළ මාර්ගයක් දිගේ මේ වැව දක්වා ගෙනැවිත් ඇත.
අඩි 600 ක් පමණ දුරට තනි තැනිතලා බිමක ජල පාර ගෙනැවිත් අැති ආකාරය විශ්මයජනකය. කිසිම ඉංජිනේරුවකුගේ උපදේශයකින් තොරව, කිසිදු තාක්ෂණික උපකරණයක් භාවිත නොකර ඉහත කී දුර ජල බැස්ම ක්‍රමානුකූලව වැව දක්වා ගලා ඒමට සලස්වා ඇති ආකාරය අදටවත් කිසිවකුට සිතාගත නොහැකි තරම්ය.
කිරා හදන වැව බැලීමට එවකට (1886-1889) රත්නපුර මහ ඒජන්තවරයා වූ හර්බට් වේස් පැමිණ අැති අතර ඔහු විසින් තබා ඇති දින සටහන්, මේ වැව පිළිබඳ විස්තර දැන ගැනීමට අද ඇති හොඳම සාක්ෂියකි. වැද්දාගල කන්දවත්තේ අද සිටින්නේ කිරාගේ හතරවැනි පරම්පරාවේ සාමාජිකයන්ය. ඔවුන් මෙන්ම අනෙකුත් ප්‍රදේශවාසීන් ද කියන පරිදි කිරා මේ වැව් කර්මාන්තයේදී යකඩ ඉන්න (අලවංගුව) වෙනුවට භාවිත කර ඇත්තේ කිතුල් ලීයකින් හදාගත් උලක් වන අතර පස් ඇදීමට යොදාගෙන ඇත්තේ කිතුල් කොළපතකි. කිතුල් උලෙන් හාරා ගත් පස් කිතුල් කොළපතේ දමා ඇදගෙන ගොස් වැව් බැම්ම හැදීමට උපකාර කර ගෙන අැත.
කිරා මෙම වැව හැදීමට පටන්ගෙන ඇත්තේ බිම්තැන්න ඕකන්දවෙල නමැති කුඹුරු යාය වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමටය. පැරණි කුඹුරු නාම ලේඛනය අනුව එය වී කුරුණි තුන්සීයක පමණ වපසරියකින් යුත් වෙල් යායකි. එහෙත් ඒ වන විට කිරා මේ මිහිපිට බිම් අඟලකවත් හිමිකාරයකු නොවීය. කිරා වැව හැදීමට අත ගසා ඇත්තේ වෙල් යායට ජලය සපයා දීමෙන් පසු එම වගා භූමියෙන් (ඕකන්ද වෙල් යායෙන්) 1/2 ක් තමාට හිමිවන සේ ලියවාගත් පොරොන්දු ඔප්පුවක් මතය.
එම පොරොන්දු ඔප්පුවේ දීමනාකරුවන් වී ඇත්තේ සීලවංශ හිටිහාමිල්ලාගේ හිටිහාමි හා හේරත් මුදියන්සේලාගේ මුදලිහාමි ඇතුළු ඔහුගේ පවුලේ උදවියයි. මෙම පොරොන්දු ඔප්පුව ලියා ඇත්තේ 1868 පෙබරවාරි 28 දාය. එහෙත් 1889.2.16 දින මහ ඒජන්ත හර්බට් වේස් එහි පැමිණෙන විටත් කිරා තම වැව් කර්මාන්තයේ නියැළී සිටි බව ඔහු සඳහන් කරයි. එසේ නම් ඉහත කී පොරොන්දු ඔප්පුවේ සඳහන් දින සිට ඒ දක්වා බිම්තැන්න ඕකන්ද කුඹුරු යාය වෙනත් සුළු වාරිමාර්ග හා වැහි ජලය උපකාර කරගෙන ඉතා දුෂ්කරව වගා කටයුතුවලට යොදා ගන්නට ඇතැයි සිතිය හැකිය.
නිල සංචාරයක් සඳහා ආ මහ ඒජන්ත වේස් හමු වීමට කිරා දෙල්ගොඩට ගොස් සිටි බව සඳහන් වෙයි. (වැවේ සිට කිලෝ මීටර් 2 ක පමණ දුරකි) වේස් මුණ ගැසුණ කිරා මහ ඒජන්තවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමා ඉතා දුෂ්කරතා මැද කරගෙන යන වැවේ ඉදිකිරීම් සඳහා ප්‍රයෝජනයට ගත හැකි උපකරණ කීපයක් ලබාදෙන ලෙසය.
කිරාගේ වැව් කර්මාන්තය ගැන විස්තර ඇසීමෙන් පසු එහි ගොස් මේ දිරිය මිනිසාගේ කාර්ය පටිපාටිය ගැන සොයා බැලීමට මහ ඒජන්තවරයා තීරණය කර ඇත. වැවේ සියලු තාක්ෂණික තොරතුරු ඔහුගේ දින සටහන්වල විස්තර කර ඇති ආකාරයෙන් පෙනී යන්නේ, ඒජන්තවරයා කෙතරම් උනන්දුවෙන් හා සියුම් ලෙස මෙම වැඩබිම නිරීක්ෂණය කළේ ද යන්නය.
ඉමේ දොළ හරස් කර තැනූ ජල රැඳවුම (අමුණ) එහි සිට වැව කරා වතුර ගෙන යාමට තැනූ ඇළ මාර්ගයේ දිග හා ගැඹුර, වැව් බැම්මේ දිග හා උස, වැවේ සිට කුඹුරු යාය දක්වා වතුර ගෙන යාමට තැනූ වාරි ඇළේ දිග හා ගැඹුර යන සියලු තාක්ෂණික තොරතුරු මහ ඒජන්තවරයා සිය දින සටහන් මගින් තහවුරු කරයි.
අද කිරා වැවේ වතුරෙන් කිසිම වගා කටයුත්තක් නොකරයි. බිම්තැන්න ඕකන්ද වෙල ද වෙනත් ගොඩභෝග සඳහා එහි වර්තමාන හිමිකරුවෝ යොදාගනිමින් සිටිති. මෑතකදී මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සබරගමු පළාත් සභාව යම් යම් දිරිගැන්වීම් කළේ ඓතිහාසික වශයෙන් එහි ඇති වැදගත්කම සංචාරකයන්ගේ ආකර්ෂණයට යොදා ගැනීමේ අරමුණ ඇතිව මිස වගා කටයුතු විෂයෙහි එහි ඇති වැදගත්කම සලකා නොවේ.
පළාත් සභාව කලවාන ප්‍රාදේශීය සභාවේද සහභාගිත්වය ඇතුවම සංචාරකයන් සඳහා ගිමං පොළවල්, සනීපාරක්ෂක පහසුකම්, වැව නරඹන අයට අසුන් ගැනීමට ලී බංකු ආදිය ඉදිකරමින් වැවේ රොන්මඩ ඉවත් කිරීමටද 2007 සිට මේ දක්වා කීපවරක්ම සිදු කරන්නට යෙදුණි. එහෙත් මේ වන විට එසේ සැලසූ පහසුකම් කිසිවක සලකුණක් පවා නැත. ඒවාට මුල් වූ අයගේ නම් සඳහන් පුවරු පමණක් ශේෂ වී පවතී.
ඉහත කී කටයුතු සඳහා යෙදවූ මුදලින් කොටසක් කාගේ හෝ සාක්කුවලට වැටුණා මිස ඒවායින් කිරා වැවට වූ සෙතක් නැතැයි අවට පදිංචිකරුවෝ කියති.
ප්‍රදේශවාසීන් කියන පරිදි එදා තිබුණ කිරිවැව අද දක්නට ලැබෙන ප්‍රමාණයට වඩා විශාල වූවකි. කලවාන - සිංහරාජ පාර පුළුල් කරන වාරයක් පාසා පාරට මායිම්ව තිබුණු කොටස වැව ඇතුළට වන සේ පස්වලින් පිරී ගිය බව ඔවුහු කියති.
කිරා ගත කළ ආයු කාලය හෝ ඔහු මියගිය දිනය ගැන නිශ්චිත සාක්ෂියක් සොයා ගැනීමට නැත. දැන් කන්දවත්ත ගමේ ඇත්තේ කිරාගේ හතරවැනි පරම්පරාවය. එම හතරවැනි පරම්පරාවේ සාමාජිකයකු වන සමරප්පුලිගේ ජේමිස් අපට හමු විය. ජේමිස් කියන කතාවටද සවන් දෙමු.
‘‘කිරා කියන්නේ අපේ මුත්තා. අපි අයිති වන්නේ කිරාගේ හතරවැනි පරම්පරාවට. කිරාගේ පුතා පේද්‍රිස්, පේද්‍රිස්ගේ පුතා පීරිස්, පීරිස්ගේ පුතා මම ජේමිස්. මුත්තා වැව හදන්න වෙච්ච මහන්සිය ගැන සීයාගෙන් අසා ගත් විස්තර තාත්තා අපිත් එක්ක කියලා තියෙනවා. ඒ කියපු විදිහට වැව හදන්න අවශ්‍ය කරන කිසිම උපකරණයක් එයාට තිබිලා නෑ.
කිතුල් ලීයකින් හදාගත් උලකින් හාරපු පස් කිතුල් කොළපතකට දමා ඇදගෙන ගිහින් වැව් බැම්ම හදන්න ගත්ත කියලා තමයි කියන්නේ. පස්සේ සුදු ඒජන්ත උන්නාන්සේ (වේස්) ට දුක කිව්වම විල් බැරැක්කයක් ඇතුළු ආයුධ කීපයක් ලැබෙන්න සැලැස්සුවාලු.
කොහොම හරි මුත්තාගෙන් පස්සෙත් පරම්පරා දෙකක් පමණ ගතවෙනතුරු කිරා වැවේ වතුරෙන් බිම්තැන්න ඕකන්ද කුඹුරු යාය වගා කරලා තියෙනවා. පස්සෙන් පහු වෙනකොට වැවේ නඩත්තුවත් හරියාකාරව කෙරී නෑ. ඒ එක්කම කුඹුරු යායත්, කැලෑ වැවුණා. එදා මුත්තා ලියවා ගත් පොරොන්දු ඔප්පුවට අනුව බිම්තැන්න, ඕකන්ද කුඹුරු යායෙන් භාගයක් අදටත් සමරප්පුලිගේ පරම්පරාවේ අපට තියෙනවා’ ඒ කිරාගේ මී මුනුපුරා (ජේමිස්)ගේ හඬයි.
මෙය පෙර රජ දවස දක්නට ලැබුණ අන්දමේ හා වාපි කර්මාන්තයක් නොවන බව සැබෑය. ඒත් රජයේ හෝ පෞද්ගලික ආයතනයක අනුග්‍රහයක් නොලබා අවශ්‍ය මූලික උපකරණ හෝ, තාක්ෂණික උපදෙස් නැතිව ඉදිකළ පුංචි වැවේ දියෙන් අවුරුදු ගණනාවක් මහා වෙල් යායක් අස්වැද්දුවේය.
පී.ජයකොඩි



