කතුවැකි

තනිවම බුදුවෙන කොළඹ නෝනා-මහතුන්

 

කොරෝනා වසංගතයෙන් මිදෙන්නට අපේ රටේ ජනතාවට ඇති උනන්දුව හා කැපවීමේ තරම පසුගිය බ්‍රහස්පතින්දා (29දා) මොනවට දැකගත හැකි විය. එදා දවස පුරාම කොළඹින් පිටතට යන මාර්ග වාහනවලින් පිරී පැවතුණු අතර අපගේ ‘සතිඅග අරුණ’ පුවත්පත වාර්තාකර තිබූ ආකාරයට අධිවේගී මාර්ගවලින් පමණක් මෙලෙස පිටව ගිය වාහන සංඛ්‍යාව අසූදහසකට අධිකය. මේ ආකාරයට මහනුවර හා අනුරාධපුර වැනි මාර්ග ඔස්සේ පිටව ගිය වාහන සංඛ්‍යාව ගණනය කරන්නට ක්‍රමයක් නැතත් එදින රාත්‍රී කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව ආදී ප්‍රදේශවල අධික වාහන තදබදයක් තිබූ බව වාර්තා වී තිබේ.

කොළඹ සිටින නෝනලා, මහත්තුරු මෙලෙස ලහි ලහියේ කොළඹින් පිටව ගියේ අන් කිසිවක් නිසා නොව බ්‍රහස්පතින්දා (29දා) මධ්‍යම රාත්‍රියේ සිට දින තුනකට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට නියමිතව තිබූ නිසාය. සෞඛ්‍ය අංශ මේ දිනවල දවසේ පැය විසිහතරේම කියන්නේ හැකිතරම් සංචරණය සීමා කරන ලෙසය. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස පොලිසිය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර තිබිණ. බස්නාහිර ජනතාවට තම තමන්ගේ ගෙවල් දොරවල්වල ඉන්නට බැරි ගාය හැදුණේ එසේ තිබියදීය.

බ්‍රැන්ඩික්ස් පොකුරත් සමග රට තුළ නිර්මාණය වූ දෙවැනි කොරෝනා රැල්ල මේ වනවිට රටේ පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකටම පැතිර ඇත්තේය. එසේ වුවත් බස්නාහිර පළාත හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල පැතිරීම වේගවත් නැත. හමුව ඇත්තේ අඩු රෝගීන් සංඛ්‍යාවකි. මේ නිසා තවදුරටත් පැතිරීම පාලනය කර ගැනීම පහසුය. ආසාදිතයන් වාර්තා වී ඇති බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට නොයන ලෙස ඉල්ලීමක් කෙරුණේ ඒ අනුවය. එහෙත් බස්නාහිර සිටින උගත් බුද්ධිමත් මහත්වරු ඒ ඉල්ලීමට කන් දුන් බවක් අප දුටුවේ නැත.

දිගු සති අන්තයකදී හෝ එක දිගට දින කිහිපයක් ඇඳිරි නීතිය පනවන අවස්ථාවක ඇත්තටම කොළඹින් පිටව යා යුතු පිරිසක් කොළඹ හා තදාසන්න නගරවල සිටිති. ඒ පිට පළාත්වලින් රැකියාවකට කොළඹ පැමිණ බෝඩිං ජීවිත ගත කරන පිරිසයි. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර මේ අයට කොළඹින් පිටව යන්නට ක්‍රමයක් තිබුණේ නැත. දුර ගමන් බස් හා දුම්රිය සේවා අත්හිටුවා තිබූ බැවිනි.

බ්‍රහස්පතින්දා කොළඹින් පිටව ගියේ සිංහල අලුත් අවුරුද්දටත්, තමන්ගේ ගෙවල් දොරවල් වසා දමා නුවරඑළියේ නිවාඩුව ගත කරන්නට යන, සති අන්තය ​හෝටල් කාමරවල ගත කරන අත මිට ඇති පිට පළාත්වලින් පැමිණ කොළඹ මුල් බැස ගත් දැන උගත් අය හා කොළඹ උරුමක්කාරයන්ය. ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට පෙර හෝ ඇඳිරි නීතිය ඉවත් කළ වහාම අරක්කු භාගයක්, කාලක් ගන්නට බාර් එකක් ඉදිරිපිට පෝලිමේ ලඟින සාමාන්‍ය, දුප්පත් ජනතාවගේ පින්තූර ගෙන ෆේස්බුක් දමා ඒ ජනතාවට නිග්‍රහ කරන්නේ මෙවැනි අයයි. එහෙත් බාර් එකක් ඉදිරිපිට සමාජ දුරස්ථභාවය නොතකා පොරකන සාමාන්‍ය ජනතාව හා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹින් පිටව ගිය උගත්, බුද්ධිමත් නෝනලා, මහත්වරුන් අතර වෙනසක් අපනම් දකින්නේ නැත.

එහෙත් බාර් එකක් ඉදිරිපිට පොරකන ජනතාවට අනුකම්පාවක් දැක්විය හැකි නමුත්, බ්‍රහස්පතින්දා කොළඹින් පිටව ගිය පිරිසට නම් අනුකම්පා කළ නොහැකිය. බාර් එකක් ළඟ සමාජ දුරස්ථභාවය නොතකා අරක්කු භාගයක්, කාලක් ගන්නට පොරකන ජනතාව සැලකෙන්නේ නූගතුන් වශයෙනි. ඔවුන්ට කොරෝනා වයිරසයේ ඇති භයානකකම අවබෝධ කරගන්නට තරම් දියුණු මනසක් නැත. භයානකකම දැන ගත්තත් ඔවුන් එය නොතකා තමන්ගේ විනෝදයට මුල්තැන දෙති. ඔවුන් සලකන්නේ අරක්කු ටිකක් බීම ඔවුන්ට ඇති එකම විනෝදය හා සැපය ලෙසය. ඔවුන්ට සමාජ වගකීමක්ද නැත.

එසේ වුවත් කොළඹ සිටින උගත්, බුද්ධිමත්, අතමිට ඇති ජනතාව එසේ නැත. ඔවුන්ට කොරෝනා වයිරසයේ ඇති බිහිසුණුකම කවුරුත් කියා දෙන්නට අවශ්‍ය නැත. මේ නිසා ලංකාවේ පමණක් නොව ලෝකයේම තත්ත්වය ගැන ඔවුන් නොදැන සිටින්නට ක්‍රමයක් නැත. දින දෙක තුනක් තමන්ගේ නිවෙසට වී සිටියත්, ඔවුන්ට විනෝද වන්නට ඕනෑතරම් මාර්ග ඇති අතර කෑමබීමේ හිඟයක් ඇතැයිද කල්පනා කළ නොහැකිය.

මෙලෙස කොළඹින් පිටව ගිය පිරිස් ආපසු කොළඹට එන විට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මේ සම්බන්ධයෙන් පොලිසියේ ලොක්කන්ද එක මතයක නොසිටීමය. එක් අයකු කියන්නේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්වීමට පෙර ​කොළඹින් පිටව ගොස් ඇත්තේ දෙසීයකටත් අඩු ප්‍රමාණයක් බවය. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මේ ප්‍රමාණය පන්සියද ඉක්මවා ඇත. තවදුරටත් එවැනි අය සොයා පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ. බ්‍රහස්පතින්දා දිනයේ කොළඹින් පිටව ගිය වාහන සංඛ්‍යාවට අනුව මෙම සංඛ්‍යා දෙකින් එකක්වත් පිළිගැනීමට තරම් මේ රටේ ජනතාව ගොබ්බයන් නොවන බව පොලිසිය තේරුම් ගත යුතුය.

අනෙක් අතට මෙහිදී අපට වැදගත් වන්නේ රටේ පවතින තත්ත්වය නොසලකා පිටව ගියේ එක් අයකුද, සියදෙනකුද යන්න නොව මේ අය පොලිසියේ ඉල්ලීම නොතකා පිටව යෑමය. කොළඹ ජනතාව තම ඉල්ලීම නොතකා කොළඹින් පිටව ගිය බව පිළිගන්නට තරම් පොලිසියට ලැජ්ජා නම් කළ යුතුව තිබුණේ ඔවුන්ට එලෙස පිටව යෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමය.

පොලිසියට මීටත් වඩා ලැජ්ජාවීමට සිදුවන්නේ කියූ ආකාරයටම කොළඹින් පිටව ගිය අයට එරෙහිව පියවර ගැනීමට නොහැකි වීම නිසාය. මේ අයට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමේ හැකියාවක් තබා ඔවුන් සිටින ස්ථානවල නිරෝධායනයට ලක් කිරීමේ හැකියාවක් ඇත්දැයි අප නම් දන්නේ නැත. කෙසේ වෙතත් අද අලුයම අවසන් වීමට නියමිතව තිබූ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ලබන සඳුදා (09 වැනිදා) තෙක් දීර්ඝ කිරීම නිසා ඔවුන්ට අමුතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යතාවක් ඇතිවේ යැයි සිතිය නොහැක.

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් තත්ත්වය කෙතරම් බරපතළ වී ඇත්දැයි යන්න තේරුම් ගත හැකිය. එසේම දෙවැනිකොරෝනා රැල්ලට හේතුවී ඇති වයිරස් කාණ්ඩය පළමු වරට වඩා වෙනස් හා ප්‍රබල එකක් බවද හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය මත මහජනතාව ලෙස අපගේ වගකීම විය යුත්තේ ආණ්ඩුව නීති පනවා සියල්ල කරන තෙක් සිටීම නොව, තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීමය. කොරෝනා වයිරසය හමුවේ එසේ කටයුතු කළ යුත්තේ තමන් මෙන්ම සමස්ත සමාජයේම යහපත පිණිස බව අපි මීට පෙර කිහිප වතාවක්ම පෙන්වා දී ඇත්තෙමු.

දියුණු සමාජයක වැසියන් කටයුතු කරන්නේ එලෙසය. පසුගිය බ්‍රහස්පතින්දා පොලිසියේ ඉල්ලීමද නොතකා කොළඹින් පිටව ගිය දැන උගත් ජනතාව ලෝකයට කියන්නේ, අපේ සමාජය තවමත් ඒ තරමට දියුණු වී නොමැති බවද?