විශේෂාංග

තනිකඩයා… 

“දැන්වත් මොකක්වත් පිළිවෙලක් වෙන්නේ නැද්ද ? හැමදාම ඔහොම ඉන්නද කල්පනාව? කවුරු හරි ඉන්නවා නම් කියන්න.”

මෙය සතියකට දෙතුන් වතාවක් අපේ අම්මාගෙන් අසන්නට ලැබෙන දේශනයකි. මා මැදිවියට ආසන්නව සිටීමත් විවාහයක් කරගන්නා බවක් පෙනෙන්නට නොතිබීමත් ඇයගේ කනස්සල්ලට හේතු වී ඇත.

“මොකද්ද මචන් ඕකේ තේරුම? මෙච්චර මේ කෙල්ලෝ ඉන්න රටේ උඹට කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනා ද ? පොඩ්ඩක් එළියට පහලියට බැහැල ට්‍රයි කරලා බලපන්…. උඹේ මොනවයින් අඩුවක් කියලද? ” මේ කාර්යාලයේ මිතුරන්ගෙන් නිතර අසන්නට ලැබෙන බරබරයයි.

” කවද්ද අපට කේක් කෑල්ලක් කන්න වෙන්නේ? දැන් කලවයසත් හරි නේ…?” මළ ගෙදරකට හෝ මගුල් ගෙදරකට ගිය විට නෑයන් ද අසන්නේ මෙවැනි ප්‍රශ්නය.

” අඩෝ උඹ කසාද බැඳලා ළමයි තුන් හතර දෙනෙක් හදපන්…. දන්නවනේ අපේ ජාතිය වඳ වෙලා යනවා කියලා… උඹලා ඔහොම හිටියහම තව අවුරුදු විස්සක් විතර යද්දී අපි සුළු ජාතිය වෙලා ඉවරයි… දැන්වත් හිතපන්..”   සිංහලයා රැක ගැනීමට ඉමහත් වෙහෙසක් ගන්නා මාගේ මිත්‍රයා මට දුටු තැන දෙහි කපයි.

සිරි යහනේ  ලණු ඉහිරී
සුසුම්  හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රෑ
යට ලීයෙන්  නාරිලතා
මල් පුදින්නේ….

බසයකට නැග්ග ද  අසන්නට ලැබෙන්නේ  අවිවාහක තරුණයකුගේ  සංවේදී  ආත්ම ප්‍රකාශනයක් කියවෙන ගීතයක් ය… හරියට බසයේ රියදුරා මාගේ තනිකඩ ජීවිතය ගැන දැනගෙන මට ඇසෙන්නට ගීතය වාදනය කරනවා  වාගේය.

මේ සියලු කාරණා නිසා මා සිටියේ විශාල පීඩනයකිනි. මට ප්‍රේමවන්තියකගේ හෝ  කෙල්ලකගේ ඇසුර නොලැබෙන්නට හේතුවක් සිතා ගත නොහැකිය. මට වඩා අවලස්සන, ස්ථිර අදායමක් හෝ නොමැති කොල්ලන්ට කෙල්ලන් සිටී.

කෙල්ලෙක් ලැබෙන්නට සහ විවාහයක් හරියන්නට යයි සිතා කන්දේ විහාරයේ බාරයක් වෙන්නට මට උපදෙස් දුන්නේ මට ඉතා හිතවත් මාගේ මිතුරෙකි. ඔහුගේ උපදෙස් පිළිගෙන මම කන්දේ විහාරයට ගියෙමි. කපුවා හමුවී මාගේ කාරණය පැහැදිලි කළෙමි. ගාථා කීපයක් කියා ආරූඪ වූ ඔහු දිගු කෙස් වැටියක් සහිත හිස වනමින් වේගයෙන් කතා කරන්නට විය.

“මේ දරුවට කරන්න තියෙන්නේ මෙච්චරයි… හැමදේම දන්නවා වගේ ඉන්න… වේගෙන් කතා කරන්න… ලොකු මිනිස්සුන්ට අභියෝග කරන්න… කරපු නැති දේවල් කරා කියන්න… පොඩි කාලේ ඉදලම ක්‍රියාකාරී දේශපාලනයට එක්වුන බව කියන්න… රටේ ජනපතිද තමුන්ගෙන් උපදෙස් ගන්න බව කියන්න…තේරුණා ද ?

චතුර සේනාරත්නට කෙල්ලෙක් හොයාගෙන බඳින්න පුළුවන් වුනා නම් මේ පුතාට බැරි කමක් නෑ” යි කියා කපුවා ආරූඪයෙන් මිදුනේ ය.