ගොසිප්

තද තද අගමැති

මගී ජනතාව සහ දුම්රිය වර්ජකයන් අතර නෝක්කාඩුවක් ඇති වීම ආණ්ඩුවට සතුටු දායක කාරණයක් විය “දැන් දුම්රියේ අය මට්ටු වුණාම බස් සංගම් වර්ජන කරන්න දගලනවා. දඩ මුදල් අයින් කරන්නලු. මිනිස්සු මරාගෙන, වාහන හප්පගෙන නීතියක් නැතුව පාරේ යන්න අවසර දෙන්න කියලද එයාලා ඉල්ලන්නේ. මොන ආණ්ඩුවද මේවට යට වෙන්නෙ. උසස්පෙල දරුවො ඉලක්ක කරලා කරන මේ පහත් දේශපාලන සෙල්ලම් ගැන ආණ්ඩුව මීට වඩා ජනතාව වෙනුවෙන් තදින් ඉන්න ඕනෑ” වජිර අබේවර්ධන අරලිය ගහ මන්දිරයේ රැස්වීමේදී අගමැතිට කීය.

වට මේසයේ සිටි සියලු දෙන අගමැතිවරයාට තව තවත් තදින් ඉන්නැයි කියා ඇත. දුම්රිය වර්ජකයන්ට පාඩමක් ඉගැන්නුවා සේ බස් වර්ජකයන්ටද පාඩමක් ඉගැන්වීමට නම් තදින් සිටිය යුතු බව ඔවුන් කියා ඇත. සියල්ල විසදා ගැනීමේ උභතෝකොටියක සිරවී සිටින අගමැති හිස සලමින් එය අනුමත කරන බව පෙන්වා තිබේ.

“කීත් නොයාර් පැහැරගෙන ගහපු වෙලාවේ කරූ ජයසුරිය මැතිතුමා මහින්ද ජනාධිපතිට කතා කරල බේර ගත්ත බව එතුමා කටඋත්තර දීලා නිසා මහින්දගෙනුත් කටඋත්තර ගන්න සී.අයි.ඩී. එන්න කිව්වට මහින්ද ඇවිත් නෑ. ඒ නිසා සී.අයි.ඩී. එක එතුමාගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්න හදනවා. ඒකේ වැරැද්දක් නෑ කියලයි මිනිස්සුත් කියන්නේ ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“අර ඊ.ටි.අයි. තැන්පතුකරුවන්ගේ ප්‍රශ්නය ඔඩු දුවනවා. ආණ්ඩුව මැදිහත්වෙනවා මදි බවයි සමහරු කියන්නේ ” එහි සිටි මැති ඇමතිවරු රැසක් අගමැතිගේ අවධානයට යොමු කලහ.

“ආණ්ඩුව මහ බැංකුව හරහා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්නවා. රජයේ මුදල් දාලා මේ ප්‍රශ්නය විසදන්න අමාරුයි. ඒ ආයතනයම මේ මුදල් ගෙවන තැනට තල්ලු කරන්න රජය බොහෝ ක්‍රියා මාර්ග ගන්නවා. ඒ ආයතනය සහ දේපළ ගැනත් රජය අවධානයෙන් ඉන්නේ ඒ තැන්පතුකරුවන්ට උපරිම සාධාරණය කරන්නයි රජය ක්‍රියා කරන්නේ ” එජාප නීති උපදේශකයකු පවතින අලුත්ම තත්වය පැහැදිලි කලේය.