විශේෂාංග

තණ්හාකාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ

අප්පච්චි මලෝ යැයි විරුදාවලී ලද විජිත් විජිතමුණි සොයිසා මහජන මන්ත්‍රීවරයාණෝ ගෙවුණ සතියේ මෙබඳු රුවන් වැකියක් කියූහ.

‘‘යූඑන්පීකාරයෝ තණ්හාකාරයෝ, ශ්‍රී ලංකාකාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ, ජේවීපීකාරයෝ කුහකයෝ’’
ඒ අනුව දැන් යමකු මම කැපුවත් කොළ යැයි කීවොත් ඔහු හොඳ වර්ගයේ තණ්හාධිකාරයෙකි. යමකු මම පක්ෂය හැරදා නොගිය හොඳ ශ්‍රී ලංකාකාරයා යැයි කීවොත් හෙතෙම ඊර්ෂ්‍යාකාරයෙක් වන්නේය. මම ජේවීපීකාරයකුයි කීවොත් ඔහු නොම්මර එකේ කුහකයෙකි.

පක්ෂයකට එසේ කීම මානව විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව යුක්ති යුක්ත නොවූවත් ඇතැම් පක්ෂවල ගති ලක්ෂණ එබඳු යැයි ජනමතයක් අපේ රටේ වෙයි. එළිමහනේ ප්‍රසිද්ධ වේදිකාවේ කතා නොවුණද, ඒවා ජනතාව අතර ප්‍රසිද්ධය. මෙබඳු විශ්වාසයක් ගොඩනැගී ඇත්තේ පක්ෂවල අතීත ක්‍රියාකාරකම් ජන විඥානයට කළ බලපෑම නිසාය.

යූඑන්පීකාරයෝ බලයට කෑදර තණ්හාධිකයෝ යැයි සිතන්නට අනුබල දුන්නේ ජේ.ආර්.ගේ කාලයේ සිදු වූ දේ අනුවය. ඩඩ්ලි සේනානායකයන් මියගිය විට ජේ.ආර්. පක්ෂයේ නායකත්වය භාර ගත්තේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ මිත්‍ර පාක්ෂික හමුදා මෙහෙයවූ අයිසෙන්හවර් සෙනෙවියාට තිබුණ බලය පක්ෂය තුළ තමන්ටද ලැබිය යුතු යැයි කියමිනි. ඒ අනුව ජේ.ආර්. පළමුව පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර 77 රටේම බලය ගත්තේ ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයක් ගොඩනංවා තණ්හාධික පාලන ක්‍රමයක් ගොඩනැංවූයේය. මැතිවරණ සිතියම් අකුලා දැමුවේය. ජනමත විචාරණ ආදියෙන් තම පාලන කාලය තව තවත් දීර්ඝ කර ගත්තේය. ඒ තණ්හාධික ක්‍රමයම වත්මනේ රනිල් වික්‍රමසිංහද අනුගමනය කරන හෙයින් යූඑන්පීකාරයෝ තණ්හාධිකයෝ යැයි ජන විඥානයට කා වැදීම අරුමයක් නොවේ.

1970 දී බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වටිනා තීන්දු රාශියක් ගත්තාය. ඒ අතර එක් තීන්දුවක් වූයේ පෞද්ගලික අයිතිය යටතේ තිබූ වතු ජනසතුවය. ඒ වන විට උඩරට වතු බොහෝමයක් අයත්ව තිබුණේ පහතරට සිංහල මුදලාලිලාටය. සිරිමාවෝ රත්වත්තේ මැතිනියගේ කන්ද උඩරට රදළ ඥාති පරපුරට අයත් ඉඩකඩම් බොහෝමයක් ඒ වන විටත් තිබුණේ පහතරට සිංහල මුදලාලිලා අතේය. දේපළ වස්තුවලින් අන්තයට වැටී සිටි කොබ්බෑකඩුව ඉඩම් ජනසතු පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ විට එය ජනතාවාදී වුවමනාවකටත් වඩා පහතරට සිංහල ව්‍යාපාරික පෙළැන්තිය සමග වූ ඊර්ෂ්‍යාවෙන් සිදු කරන ලද්දක් බවට හැඟීමක් ජන සමාජයේ පැතිර ගියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය. එදා ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සදාදරණීය නායකයා වූයේ බණ්ඩාරනායකය. බණ්ඩාරනායකට වෙඩි තබා ඝාතනය කළ විට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ ලිවූහ.

‘‘බණ්ඩාරනායක මහතා මරා දැමූ පසු ඇමැතිවරු බණ්ඩාරනායක මහතාගේ තැනට දහනායක මහතා පත් කොට ගෙන ඉතිරි අවුරුදු දෙක තුළ මහජනයා රවටමින් ඇමැතිකම් බදාගෙන සිටීමට වෑයම් කළෝය. බණ්ඩාරනායක මහතා මරා දැමීමේ මහා අපරාධය කළ වුන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් දීමට පවා මේ මැතිවරු උනන්දු නොවූහ. සිර භාරයේ සිටින බුද්ධරක්ඛිත ලවා බණ්ඩාරනායක මැතිතුමාගේ මරණය ගැන ශෝක ප්‍රකාශයක් කර වූයේද මේ ඇමැතිවරුන් විසිනි.

බණ්ඩාරනායක මහතා මරා දැමීම මහ පොළොව නුසුලන තරම් අපරාධයකි. බණ්ඩාරනායක මහතාගේ මරණයටත්, රට විපතට වැටීමටත් හේතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ ඊර්ෂ්‍යා ක්‍රෝධත්, චපලකමත් බව කවුරුත් පිළිගනිති. ඇන්. ඇම්. පෙරේරා මහතා නිර්භයව, බණ්ඩාරනායක මහතා මරා දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳ රහස් හෙළි නොකළා නම් දැනට සැකපිට හසු වී සිටින්නන්ගෙන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මැති අසුන් සඳහා තරග කරති.’’

2015 ජනවාරි 15 වැනිදා සිට සිදු වූයේද මෙබඳුම දෙයක් නොවේද? අද ශ්‍රීලනිපයේ වෙමින් යන්නේද එයම නොවේද? දැනටමත් ඔවුහු තම නායකයාගේ ඝාතනයට සූදානම් වූයේ යැයි සැකයට ලක් වූ අය සමග කඳවුරු බඳිති. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා ඇමැතිවරුන්ට බෙන්ස්, බී.එම්.ඩබ්. වාහන වුවමනා නැති බවත්, මන්ත්‍රීන්ට මරුති පමණක් ඇති බවත් 1996 දී කීවේය. එහෙත් ඔවුන්ගේ මන්ත්‍රීන් අතරින් මරුතියක් පාවිච්චි කරන්නෙක් නැති තරම්ය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ ශිෂ්‍ය සංගම් මරාගෙන මැරෙති. එසේ තිබියදී ඔවුන්ගේ නායකයන්ගේ ඇතැම් දූ පුතුන් ඉගෙන ගන්නේ විදේශ විශ්ව විද්‍යාලවලය. විජේවීර ලේ දන් දී පක්ෂ අරමුදලට මුදල් සෙව්වේ සුරාකෑමෙන් තොර රටක් හදන්නටය.

එක රැයෙන් එකම දේශපාලන පෝස්ටරය අධිරාජ්‍යවාදයට, සූරාකෑමට එරෙහිව රට වටා ගැහෙන කලාවක් ජවිපෙ සතු වූයේ ය. එහෙත් අද ඒ යාන්ත්‍රණයම යොදවා ඔවුහු විවිධ කොම්පැනි සඳහාද ටියුෂන් පන්ති ආදී දේ සඳහාද, සනීපාරක්ෂක තුවා පෝස්ටරද රට වටා අැලවීමේ කොන්ත්‍රාත් බාර ගනිති. නැති ගුණ සමාජයට පෙන්වා නීච වැඩවල යෙදීම කුහකකම යැයි ශබ්දකෝෂවල අර්ථ දක්වා තිබේ. ඒ අනුව ඔවුහු කුහකයෝය.

ඉදින් මෙතෙක් මේ රට පාලනය කෙරුණේ ප්‍රතිපත්ති හැදුණේ තණ්හාධිකාරයන්, ඊර්ෂ්‍යාකාරයින්, කුහකයින්ගේ එකතුවෙනි. ගෙනෙන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙසද බැලිය යුත්තේ ඒ ඇස්වලිනි.