අතන මෙතන

තංගල්ලෙ මන්ත්‍රී මහින්ද ගැන කිව්ව කතාව

මහින්ද රහස් පොලීසියට කටඋත්තර දුන් දා ‍උදිත ලොකුබණ්ඩාරට සැරෙන් කතා කිරීමේ සිදුවීමක් ද පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන සිටි අයෙක් “සර් මාධ්‍යවේදින් සෑහෙන වෙලාවක ඉඳලා බලන් ඉන්නවා” යැයි කීහ.

“අපි එයාලව ඇතුළට ගෙන්වමු” උදිත පැවසීය.

“නෑ නෑ අපි ඒ අය ළගට යමු” මහින්ද පැවසීය.

එහෙත් උදිතට එය ඇසුණේ නැත. ඔහුමාධ්‍යවේදීන් ඇතුළට කැඳවන ලෙස ආරක්ෂකයන්ට උපදෙස් දුන්නේය. මාධ්‍යවේදීන් එනු දුටු මහින්ද “කවුද එයාලව ගෙන්නුවේ? මම එයාල ළඟට යන්නනේ හිටියේ” යැයි කෝපයෙන් කීවේය.

“ඔන්න නියම මහින්ද මහත්තයා. 2005 ජනාධිපති වුණාට පස්සේ තමයි මහින්ද මහත්තයා තැන්පත් වුණේ. එහෙම නැත්නම් එතුමා වරදක් දැක්ක තැන මූණමට බැන්න කෙනෙක්” එතැන සිටි තංගල්ල පළාත් පාලන නියෝජිතයෙක් කීවේය.