කතුවැකි

මහදැනමුත්තා ගැන්න ආකාරයට ගණින කොරෝනා මරණ

ඩොලර්, කිරිපිටි හිඟය හා කොවිඩ් මරණ ආදායම් මාර්ග වීම

මරණයක වේදනාවත්, දුකත් ඇත්තේ මිය යන්නාට නොව ජීවත්ව සිටින අයටය. කොවිඩ් ආසාදිතව මිය යන අයකුගේ පවුලේ ඥාතී හිත මිත්‍රාදීන්ට සාමාන්‍ය මරණයකට සාපේක්ෂව මේ දුක වේදනාව වැඩියෙන් දරන්නට සිදුවේ. තමන්ගේ ඥාතියා, මිත්‍රයා ඖෂධයක් හෝ නොමැති මාරාන්තික වයිරසයකට ගොදුරුව කාත් කවුරුත් නැත්තෙකු ලෙස අවසන් ගමන් යෑම නිසාම නොව ඒ මරණය හේතුවෙන් ඥාතීන්ට විඳින්නට සිදුවන ගැහැට නිසාය.

කොවිඩ් ආසාදිතයකු මිය ගිය විටෙක දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන අනුගමනය කිරීමට සිදුවීම අප පිළිගත යුතු නමුත් ඒ නිසාම බොහෝ දෙනකුට සංතෝෂම් දෙන්නට සිදුවීම මිය ගිය අයගේ ඥාතීන්ට විඳින්නට සිදුවන ලොකුම ගැහැටය.

සාමාන්‍යයෙන් මරණයක් සිදු වූ විටෙක ඔහුගේ ඥාතී හිතමිත්‍රාදීන්ට ශෝකජනක සිදුවීමක් වුවත් මෘත ශරීරාගාරයේ සේවකයන්ගේ සිට කනත්තේ සේවකයන් දක්වා කිහිප දෙනකුට එය සතුට දනවන සිදුවීමකි. මරණයක් යනු මේ අයට අමතර ආදායම් මාර්ගයක් වන නිසාය.

කොවිඩ් ආසාදිතයකු මිය ගිය විටෙක මේ ආකාරයට දිය යුතු සංතෝෂම්වල වටිනාකම වැඩිවී ඇතුවා පමණක් නොව සංතෝෂම් දිය යුතු පුද්ගලයන්ගේ සංඛ්‍යාවද වැඩි වී තිබේ. පොලිස් නිලධාරීන්, රෝහල් කම්කරුවන්, ලිපිකරුවන්, කනත්තේ සේවකයන් ආදී වශයෙන් කොවිඩ් මරණයකින් සංතෝෂම් ලබන පිරිස වැඩි වී ඇති අතර මිනී පෙට්ටියක් ප්‍රවාහනය කර දෙන්නට පවා අමතර කීයක් හෝ අතමිට මෙළවිය යුතු තත්ත්වයක් උදාවී තිබේ.

හැම තැනම හැම කෙනාම මේ ආකාරයට කොවිඩ් මළ සිරුරු ආදායම් මාර්ගයක් කරගෙන ඇතැයි අප කියන්නේ නැත. එහෙත් බොහෝ තැන්වල කටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයටය. අල්ලස අප සමාජයේ රුධිරයට මිශ්‍ර වී ඇති විෂබීජයක් බව සත්‍යයකි. එහෙත් මෙවන් ජාතික ව්‍යවසන අවස්ථාවකදීත් තමන්ගේ මඬිය පුරවා ගැනීම ගැන පමණක් කල්පනා කළ හැක්කේ නරුමයන්ට පමණය.

කොවිඩ් වයිරසය මාරාන්තික වයිරසයක් වුවත් එය අපට ජීවිතය තේරුම් ගන්නට වටිනා අවස්ථාවක් උදා කර දී තිබේ. කොවිඩ් වයිරසය අපට උගන්වන හොඳම පාඩම වන්නේ මරණය හමුවේ අපගේ තාන්න, මාන්න – ධන, ධාන්‍ය කිසිවකට තඹ දොයිතුවක වටිනාකමක් නොමැති බවය. එසේ වුවත් කරුණු කාරණා සිදුවන ආකාරය අනුව පෙනී යන්නේ අපේ සමාජය මේ පාඩම ඉගෙන නොගන්නා බව පමණක් නොව කොවිඩ් වයිරසය අපේ ජීවිත පමණක් නොව ඉතිරිව තිබූ මනුස්සකම්, සදාචාරය, හා ගුණදහම්ද සිය ග්‍රහණයට ගෙන ඇති බවය.

මේ බව සනාථ කෙරෙන පුවතක් අද අප පත්‍රයේ පළ වී තිබේ. ඉන් කියැවෙන්නේ රටේ පවතින කිරිපිටි හිඟය ඇතැම් වෙළෙඳුන් ගජ වාසියක් කරගෙන ඇති ආකාරයයි. රටේ ඇතැම් ප්‍රදේශවල වෙළෙඳුන් කිරි පිටි සඳහා නියමිත මිලට වඩා අය කරන අතර ඇතැමෙකු කිරිපිටි අලෙවි කරන්නේ අදාළ කිරිපිටි සමාගමේ වෙනත් නිෂ්පාදන මිලදී ගන්නේ නම් හෝ වෙනත් භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් බව එම පුවතේ සඳහන් වේ.

කිරිපිටි හිඟය නිසා මේ දිනවල සුපිරි වෙළෙඳසල් පවා එක් අයකුට මිලදී ගත හැකි ප්‍රමාණයට සීමාවක් පනවා තිබේ. ඒ ගැන වරදක් කිව නොහැක්කේ එමගින් ඇති හැකි අය අනුන් ගැන නොසිතා කිරි පිටි ගොඩ ගසා ගැනීම වැළකෙන අතර වැඩි දෙනකුට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව හිමිවන නිසාය. එහෙත් කිරිපිටි මිලදී ගැනීමට වෙනත් භාණ්ඩ මිලදී ගත යුතුම යැයි කොන්දේසි පැනවීම එවැනි සද්භාවයෙන් යුත් ක්‍රියාවක් නොව බොර දියේ මාළු බෑමකි. ඇතැම් විටෙක වෙළෙඳපොළේ හදිසි භාණ්ඩ හිඟයක් නිර්මාණය කරන්නේද මිනිසුන් සූරාකන්නටම වෙළෙඳාමේ නිරත මෙවැනි වෙළෙඳුන්ය.

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා හා ඩොලර් හිඟය නිසා කිරිපිටි සමාගම් ආනයනය අත්හිටුවීම කිරිපිටි හිඟයට මූලික හේතුවයි. මේ නිසා කිරිපිටි සඳහා අය කරන ලද සියලු බදු අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇතත් තවමත් සමාගම් කිරිපිටි ආනයනය කිරීමට පියවර ගෙන නැත.

කිරිපිටි යනු සමාගම් කියන තරම් පෝෂ්‍යදායී ආහාරයක් හෝ බීමක් නොව ජනතාව ලෙඩ කරවන දෙයක් බව අපි දනිමු. එහෙත් සමාගම්වල මේ උගුලෙන් ජනතාව ගලවා ගන්නට කිසිවකු කල්පනා කරන්නේ නැත. එසේ කරන්නේ නම් කිරිපිටි සමාගම් නළවන්නට බදු අහෝසි කරන්නේ කුමකටද? එසේ තිබියදීත් මේ සමාගම් ආණ්ඩුවත් පාරිභෝගිකයාත් අල්ලේ නටවන එක නවත්වන්නටත් කිසිවකු නැත. සමාගම් විසින් ඇති කර තිබෙන කිරිපිටි හිඟය ප්‍රයෝජනයට ගෙන කූට වෙළෙඳුන් පාරිභෝගිකයා ගසා කන එක ගැන හොයන්නටත් කිසිවකු නැත.

වෙළෙඳ ඇමැතිලා, මුදල් ඇමැතිලා දුසිම් ගණනින් සිටියත් ආණ්ඩු ආවත් ගියත් 77න් පසු හැමදාම සිදුවූයේ මේ දේය. කිරිපිටි පමණක් නොව සහල්, සීනි වැනි ​අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පමණක් නොව ඒවා වෙළෙඳපොළේ ඇති නැති බව පවා අදත් තීරණය කරන්නේ වෙළෙඳුන් විසිනි.

පවතින හිඟයත් සමග ඩොලර් මිලද කළු කඩ ක්‍රමයට ඉහළ පහළ යන්නට පටන් ගෙන ඇති බව කියන පුවතක්ද ඊයේ අප පත්‍රය වාර්තා කර තිබුණි. ඇමරිකානු ඩොලර් එකක විකිණුම් මිල රුපියල් 203ක් බව මහ බැංකුව කියද්දී සියලුම පෞද්ගලික වාණිජ බැංකු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 211 දක්වා වැඩි කර තිබෙන බවය.

විනිමය අනුපාතය වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව තීරණය වන කාරණයක් වන බවක් සැබෑවක් නමුත් මීට පෙර කිසි දිනයක මහ බැංකුවේ මිල හා වෙළෙඳපොළේ මිල අතර මේ තරම් පරතරයක් තිබුණේ නැත. මේ දිනවල ඩොලර් හිඟයක් පවතින නිසා ආනයන පවා සීමා කරන්නට වී තිබෙන බව රටම දන්නා සත්‍යයකි. මෙම තත්ත්වය මත ඩොලර් මිල ඉහළ යෑම වැළැක්විය නොහැකි බව අපි දනිමු. එසේ තිබියදී මහ බැංකුව ලොවෙත් නැති විනිමය අනුපාතයන් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඇදහිය නොහැකි මෙම විනිමය අනුපාත පරතරයන්ගේ වෙනස ගැන විමසූ විට මුදල් ​රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් අපූරු පිළිතුරක් දී තිබේ. ඔහු පවසන්නේ මෙම තත්ත්වය වෙනස් කරන්නට පියවර ගැනීම මහ බැංකුවේ වගකීමක් බවය. ඔහු මේ නොකියා කියන්නේ මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ මහ බැංකුවේ වරදකින් බවද? ඩොලර් හිඟය පියවීම සඳහා රුපියල් කොළ මුද්‍රණය කරන්නා සේ ඩොලර්ද මුද්‍රණය කළ යුතු බවද? කබ්රාල් ඇමැතිවරයා උත්තර දෙන්නේ දේශපාලකයකු ලෙස වුවත් ඔහු හිටපු මහ බැංකු අධිපතිවරයකුද බව අපට අමතක නැත.