News

ඩෙබිට් හා ක්‍රෙඩිට් කාර්ඩි හිමියන්ට අනතුරු ඇඟවීමක්

මහා බැංකුවට හොරෙන් වානිජ බැංකු කළ දේ

ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකළහොත් ඒ සඳහා අතිරේකව සියයට 07 දක්වාවූ ‘විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක්’ අය කිරීමට සියලුම වාණිජ බැංකු තීරණය කර ඇත.එම ගාස්තුව මේ දක්වා පැවතියේ අදාළ ගෙවීමෙන් 2.5% ක් පමණ අගයයකි. ඇතැම් වාණිජ බැංකු මෙම 7%ක අතිරේක ගාස්තුවට අමතරව තවත් 5%ක සැකසුම් ගාස්තුවක් අය කරෙන බව නිවේදනය කර තිබේ.

ඇතැම් වාණිජ බැංකු මෙම අමතර අයකිරීම 2021 අගෝස්තු 25 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇති අතර ඇතැම් බැංකු එය 2021 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් මගින් විදෙස් ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට ඇතැම් වාණිජ බැංකු පසුගිය සති කිහිපයේ කටයුතු කර තිබිණි.

රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය ඊට ප්‍රධාන හේතුවයි. මේ වන විට වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 211 දක්වා ඉහළ දමා ඇති අතර, ඒ අනුව අදාළ නව ගැලපුම් ගාස්තුවත් සමග ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකිරීමේදී ඩොලරයකට රුපියල් 225කට වැඩි අගයක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවේ. 5%ක අමතර සැකසුම් ගාස්තුවක් අයකරන බැංකු මගින් සිදුකෙරෙන ගනුදෙනුවකදී එය රුපියල් 236 ඉක්මවනු ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බවයි. එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පෞද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහ බැංකුව කියයි. කෙසේවෙතත් මෙම නව අමතර ගාස්තුව පිළිබඳව මහ බැංකුව කිසිඳු සඳහනක් කර නැත.

නයන තරංග ගමගේ