විශේෂාංග

ඩෙංගු මට්ටු කරන්න ගෙනා වොල්බැකියා දැන් වැඩ

මේ දිනවල ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම කතා වන්නේ කොරෝනා වයිරසය ගැනය. ඒ අතර එන්නත්කරණය ගැනත් බොහෝ දෙනෙක් සිටින්නේ දැඩි අවධානයකිනි. තමන්ට කවදා කොතැනක මේ එන්නත ලබාදෙන්නේදැයි කියා ඔවුන් සිටින්නේ ඇඟිලි ගනිමින් ය. එනිසාම බොහෝ දෙනෙක්ට කාලයක් තිස්සේ ලංකාවේ තිබූ ඩෙංගු වසංගත තත්ත්වය පිළිබඳව අමතකව ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තැන් තැන්වල කඩදාසි, බෝතල්, කෝප්ප සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය වැනි දෑ කඳු මෙන් ගොඩගැසෙමින් තිබේ.

මෙලෙස නොසැලකිලිමත් ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඩෙංගු වසංගතයේ වර්ධනයක් පසුගිය මාස කිහිපයේම දක්නට ලැබුණු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර පසුගිය දිනක කියා තිබිණි.

මේ කියමනත් සමගම අපගේ මතකයට නැගුනේ 2019 වසරේදී ලංකාවට ගෙනා ඩෙංගු මදුරුවාට එරෙහිව ක්‍රියා කරන වොල්බැකියා බැක්ටීරියාවයි. එය ලංකාවට රැගෙන ආවේ මෙසේ සති පතා, මාස් පතා වැඩිවන ඩෙංගු වසංගතයට පිළියමක් වශයෙනි. එහි පළමු නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය ලෙස සඳහන් වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. නමුත්, පෙබරවාරි නොව මාර්තු මාසයේදී ව්‍යාපෘතිය ආරම්භ කළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට වැඩි දවසක් නොගොස් ඒ ව්‍යාපෘතිය නතර කිරීමට සිදුවිය. ඒ ලංකාවේ කොරෝනා අවදානම ඉහළ යෑමත් සමගය.

එමෙන්ම, මේ කාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහභාගි වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එය නවතා දමා කොරෝනා මර්දන රාජකාරිවල නිරත වීමට සිදුවූහ. ඒත් අගෝස්තු මාසයේදීත් යළිත් මෙම වැඩසටහන යළි ආරම්භ කෙරිණ. නමුත්, ඒ කාලයේදී ඔවුන්ට හරහට සිටියේ වර්ෂාවයි. එවැනි වර්ෂා කාලයක වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමෙන් ඔවුන් අපේක්ෂා කළ ඉලක්කයන් කරා ළඟා වීමට නොහැකි වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිගමනය විය.

මෙසේ මාස ගණන්, දින ගණන් ඇදුණු ඩෙංගු මර්දන ව්‍යාපෘතිය පසුගියදා නැවතත් ආරම්භ කර තිබුණි. එහි පළමු අදියර ලෙස වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම ඩෙංගු ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන නුගේගොඩ ප්‍රදේශයෙන් ඇරඹීය. ඒ අනුව නුගේගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීම මෙම වොල්වැකියා බැක්ටීරියාව පරිසරයට මුදාහැරිය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර කීවේය.

‘‘අපි මුලින්ම මේ නියමු ව්‍යාපෘතිය නුගේගොඩ තැන් කිහිපයක ආරම්භ කරලා තියනවා. මාර්තු මාසේ අග වෙනකොට මට්ටක්කුලිය හා නුගේගොඩ යන ප්‍රදේශවල මේ බැක්ටීරියාව සම්පූර්ණයෙන්ම පරිසරයට මුදා හැර අවසන් කරනවා. අපේ ඊළඟ ඉලක්ක වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයටම මේ බැක්ටීරියාව මුදාහරින්නයි. ඊට පස්සේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මුළු බස්නාහිර පළාතම ආවරණය වන විදිහට මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා” හෙතෙම පවසයි.

අද වන විට ලෝකයේ ලොකුම මදුරු මර්දන ව්‍යාපෘතිය වන්නේත් මෙම වොල්බැකියා බැක්ටීරියා ව්‍යාපෘතිය බවත් වෛද්‍යවරයා කීවේය.

නමුත්, මෙවැනි බැක්ටීරියාවක් පරිසරයට මුදාහැරීමෙන් ඩෙංගු වසංගතය පාලනය කළ හැකිදැයි අපි ඔහුගෙන් විමසීමු.

‘‘ඇත්තටම, මේ ව්‍යාපෘතිය ආරම්භ කළ පළමු රට අපි නෙවෙයි. මේක මුලින්ම භාවිත කළේ ඔස්ට්‍රේලියාවයි. අද වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඩෙංගු වසංගතය මුළුමනින්ම තුරන් වෙලයි තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලංකාවෙත් මේ ව්‍යාපෘතිය සාර්ථක වෙයි කියලා. අනික අපේ රටේ කාලගුණයට සහ දේශගුණයට ගැලපෙන විදිහට තමයි මේ බැක්ටීරියාව නිපදවලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා ලංකාවට මේ බැක්ටීරියාව සාර්ථක අත්හදා බැලීමක් වෙයි කියලා.”

2020 දී පරිසරයට මුදාහැරෙන්නට සූදානම් කර තිබූ වොල්බැකියා බැක්ටීරියාව ලංකාවට ගෙන එන්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරාය. ඔහු පවසන ආකාරයට මේ බැක්ටීරියාව කලින් හතු පිපෙන්නා සේ පැමිණි බැක්ටීරියාවන් මෙන් නොව වසර හතරක කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වා සාර්ථකව අත්හදා බැලීම් කළ එකක් බවයි. එමෙන්ම, ඔහු මෙම බැක්ටීරියාව ලංකාවට ගෙන එන්නට ඔස්ට්‍රේලියාවේ මහාචාර්යවරුන් සමග සාකච්ඡාවන් කළ කණ්ඩායමේ සාමාජිකයකුද වන්නේය.

කෙසේවෙතත්, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර පවසන ආකාරයට ලංකාවේ මෙන් ඔස්ට්‍රේලියාවේ ඩෙංගු වසංගතයක් නොමැත. එහි ඩෙංගු ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පමණකි. ඒ ක්වීන්ස්ලන්තයේද ශ්‍රී ලංකාවේ මෙන් උෂ්ණ දේශගුණික තත්ත්වයක් පැවතීමයි. එපමණක් නොව, මෙය පාලනය කිරීම සඳහා ඔවුහු නානාප්‍රකාරයේ බැක්ටීරියාවන් හා වයිරසයන් අත්හදා බැලූහ.

ඒත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොවීය. ඒ නිසාම ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මොනෑෂ් සරසවියේ මහාචාර්යවරු හා ශිෂ්‍ය පිරිසක් එරට ඩෙංගු මදුරුවන් සඳහා උචිත බැක්ටීරියාවක් සොයා ගත්හ. එය වන්නේ මෙම වොල්බැකියා නමැති බැක්ටීරියාවයි. එමෙන්ම, මේ සඳහා වසර හතරක කාලයක් ගත වූ අතර මෙහි සියලුම කටයුතු මෙහෙයවා ඇත්තේ මොනෑෂ් සරසවියේ පීඨාධිපති මහාචාර්ය ස්කොට් එනුය.

අප මෙලෙස බැක්ටීරියාවක් සේ හඳුන්වන වොල්බැකියා වැඩෙන්නේ මදුරුවකුගේ ශරිරයක් තුළය. එයත් ඩෙංගු රෝගය පතුරුවන ඊඩිස් ඉජිප්ටයිප් නම් මදුරු බිත්තරයට මේ බැක්ටීරියාව සියුම් කටුවකින් එන්නත් කිරීම මගිනි. එවිට එම මදුරු බිත්තරයෙන් උපදින මදුරුවාගේ ශරීරයේ වොල්බැකියා බැක්ටීරියාව ඇතුළත්ව පවතී. අනතුරුව ඒ සතුන් ඩෙංගු මදුරුවන් සිටින පරිසරයට මුදා හැරීම සිදුකෙරේ.

එහිදී මේ මදුරුවන් අනෙක් ඩෙංගු මදුරුවන් සමග මුහු වී ඒ සතුන්ටද මේ බැක්ටීරියාව පතුරුවයි. එසේ බැක්ටීරියාව ශරීරගත වූ ඩෙංගු මදුරුවන් ඩෙංගු වයිරසය වැලඳුනු රෝගියෙක්ට දෂ්ට කළද ඒ සතා දෂ්ට කිරීමෙන් තවත් අයකුට ඩෙංගු වැලඳෙන්නේ නැත. එසේ වන්නේ වොල්බැකියා බැක්ටීරියාව ශරීරගතව පවතින ඩෙංගු මදුරුවාට ඩෙංගු වයිරසය ශරීරය තුළම අඩපණ කිරීමේ හැකියාවක් පවතින බැවිනි. එමනිසා වොල්බැකියා බැක්ටීරියාව ඇති මදුරුවන්ට ඩෙංගු වයිරස තවකෙකුට පැතිරවීමේ හැකියාවක් නොමැත.

මෙලෙස මොනෑෂ් සරසවියේ මහාචාර්යවරුන් සොයා ගත් බැක්ටීරියාවේ සාර්ථකත්වය පරීක්ෂා කිරීමට ඔවුන් යොදාගෙන ඇත්තේ ක්වීන්ස්ලන්තයි. එහිදී ඔවුහු මෙම ප්‍රදේශයට වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් මුදා හැරියහ. ඉන්පසුව, වසර හතරක් පුරාවට මෙය නිරීක්ෂණය කරමින් සිටියහ. එහිදී ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ඩෙංගු රෝගය මර්දනය කිරීමට මෙම බැක්ටීරියාවට ශක්තිය ඇති බවයි.

මේ පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල ඔවුන්ට නෙළා ගැනීමට හැකිවීම නිසා වියට්නාමය, සිංගප්පූරුව, ඉන්දියාව සහ කොලොම්බියාව වැනි රටවල් ඔවුන්ගෙන් මේ බැක්ටීරියාව ලබාගෙන ඒ රටවලත් ඩෙංගු මර්දනය කිරීමට යොදා ගනිමින් සිටියි. ඒ අතර කාලයේ 2016 වසරේ ලංකාවේදී ජාත්‍යන්තර ඩෙංගු මර්දනය කිරීමේ සැසිවාරයක් පැවැත්විණි. එහිදී ඔස්ට්‍රේලියාව නිපදවූ බැක්ටීරියාව ලංකාවෙත් අත්හදා බැලීමට තීරණය වුණේය. ඒ සඳහා ඔස්ට්‍රේලියානු රජය මගින් ලංකාවට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කළේය.

ඒ අනුව ලංකාවට හිමි වූ වොල්බැකියා බැක්ටීරියාව අපේ රටේ දේශගුණයට කෙතරම් දුරට ගැළපෙනවාද යන්න දැනගැනීමට කීට විද්‍යාඥවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් 2017 වසරේ ඔස්ට්‍රේලියාවට ගොස් ඒ පිළිබඳව අධ්‍යයනය කළහ. ඒ සඳහා ලංකාවේ තිබෙන ඩෙංගු මදුරු බිත්තර ඔස්ට්‍රේලියාවට ගෙන ගොස් පරීක්ෂණ පැවැත්විය. එලෙස ගෙන ගොස් වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත කර ලංකාවට රැගෙන ආ මදුරුවන්ගේ බිත්තර ලංකාවේ පර්‌යේෂණාගාරවල නිපදවන්නේය.

පසුගියදා නුගේගොඩ අවට ප්‍රදේශයේ පරිසරයට මුදාහැරියේ එසේ නිපද වූ මදුරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර කීවේය. නමුත්, මෙහි ප්‍රතිඵල ලැබීමට නම් තවත් මාස කිහිපයක් දෑස් අයා බලා සිටිය යුතුය. ඒ කාලයේදී තම ගෙවත්ත සහ අවට පරිසරය පිරිසිදුව තබා නොගතහොත් බැක්ටීරියාව ඵලදරන්නට මත්තෙන් ලංකාවම ඩෙංගු මදුරුවාගේ ගොදුරක් වන්නටද හැකියැයි ඔහු කීවේය.

හර්ෂනී දිසානායක