විශේෂාංග

ඩිෆෙන්ඩරයක් ඩුප්ලිකේෂන් පාරේ දී මිනිස්කමද යට කරගෙන ගිය වගයි

ඔහු දැන් අප අතර නැත. ඒ මීට සත් දිනකට එහාදී අවසන් ගමන් ගිය නිසාය. බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයා අවසන් ගමන් ගියේ නිකම් නොවේ. මේ රටේ ලොකු ඔළුගෙඩි තියෙන මිනිසුන්ට මනුෂ්‍යත්වයේ මහා පාඩමක් ද කියාදෙමිනි.

ආනන්ද සාගර සරත්චන්ද්‍ර උපදින්නේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩය. ඒ 1967 ජූනි මාසයේය. පාසල් යන්නේ හිඟුරක්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටය. උසස් පෙළ විභාගයට ලියා ප්‍රතිඵල ලද ආනන්ද සාගර සරච්චන්ද්‍ර ඒ කාලයේම යුද හමුදාවේ කැඩෙට් නිලධාරී පාඨමාලාවට අයැදුම් කර එහි පුහුණුව ලබා දෙවැනි ලුතිනන්වරයකු ලෙසට අධිකාරිය ලබා සේවයට ද එක්වුණේය. ඒත් ඒ රැකියාවේ ඔහු සිටියේ කෙටි කාලයකි. ඉන්පසු ඔහු පොලිස් සේවයට සම්බන්ධ වූ බව මතක් කළේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයාගේ අම්මාය.

” පුතා හමුදාවේ රැකියාව අත් හැරලා 89 අවුරුද්දේ පොලිසියේ රස්සාවට ගියා. ඒ උප පොලිස් පරීක්ෂක තනතුරකට. මේ භීෂණය මේ රටේ රජවෙච්ච කාලේ. අපේ පවුලටත් ලොකු අවාසනාවන්ත සිද්ධියක් වුණා. පුතාලගේ තාත්තව නාඳුනන තුවක්කුකාරයෝ වෙඩි තියලා මරලා දැම්මෙ මේ කාලෙ. එතකොට තාත්තට හරියටම වයස අවුරුදු 52 යි. මේ මෑත කාලෙ එක දවසක් මාව බලන්න ඇවිත් පුතා කිව්වා මට තියෙන්නෙත් තාත්තගෙ ආයුෂ තමයි.. මං ඉන්නෙත් තාත්තගෙ වයසෙ කියලා. මං ඒ වෙලේ ඒ කතාව ගණන් ගත්තෙ නෑ.”

මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ඔහු ලංකාවේ බොහෝ පොලිසි ගණනක රාජකාරි කළේය.

” මුල් කාලෙන් පස්සෙ ගොඩක් පොලිසිවල මහත්තයා අපරාධ අංශයේ නැත්තම් සුළු පැමිණිලි අංශයේ හෝ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විදිහටයි රාජකාරි කළේ. මමයි එයයි එක ගමේ. එකම ඉස්කෝලෙට ගියේ. අපි දෙන්නා විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. ඒ 1991 වසරෙදි. එයා ලංකාවේ ගොඩක් පොලිසිවල සේවය කළත් අපි හිටියෙ ගමේ ගෙදර. අපේ ලොකු පුතා 2013 දී කොළඹ එනවා. ඒ නිසාම අනෙක් දරුවන් දෙන්නත් එක්ක මමත් කොළඹට ආවා. ඒ ඇවිත් මුලින් හිටියෙ නැදිමාලේ කුලී ගෙදරක. ඊට පස්සෙ 2016 තමයි දැන් ඉන්න මේ බොරලැස්ගමුවෙ කුලී ගෙදරට එන්නේ..”

අනෝමා ප්‍රියදර්ශනී හතුරුසිංහටත් – සරච්චන්ද්‍රටත් දරුවන් තිදෙනෙකි. වැඩිමල් පුතු විසිහය හැවිරිදි අශාන් සමීර සරච්චන්ද්‍රයි. විසි හැවිරිදි ටෙරාන් පසිඳු සරච්චන්ද්‍ර දෙවැනි පුතුය. බාලයා තවමත් පාසල් යන සචිනි දෙව්මිනි දියණියයි. සරච්චන්ද්‍ර රාජකාරිය අකුරටම කළා මෙන්ම දරුවන්ට ද අපමණක් ආදරය කළ පියෙක් වුණේය. පාසල් අධ්‍යාපනය අවසන් කර සිටි පුතුන් දෙදෙනා ළඟ ඉගෙන ගනිමින් සිටි දියණිය ගැන ඔහුගේ හිතේ මහ ලොකු හීන තිබුණේය.

” එදා පෙබරවාරි 23 වැනිදා සෙනසුරාදා එයා ටිකක් කලින් ගෙදර ආවා, ඒ ඇවිත් කිව්වා පහුවදා විශේෂ රාජකාරියකට යන්න තියෙන හින්දා පාන්දර 3.00ට යන්න ඕන. රෑට කන්නවත් කතා කරන්න එපා කියලා හවස 5.00ට කාලා නිදාගත්තා. එයා පාන්දර 2.00 ට නැගිටලා මටත් කතා කළා. ලොකු පුතත් නැගිටලා හිටපු හින්දා මම දෙන්නටම තේ හැදුවා. පුතා තාත්තා එක්ක කතාකර කර හිටපු හින්දා මම ගිහින් ඇලවුණා.”

අනෝමා හිටියේ නින්දත් නොනින්දත් අතරේය. තවත් වේලාවකින් ඔහු දොර වසා පිටව යන හඬ ඇසෙද්දී ඈ හිතට සියුම් පසුතැවිලි සහගත හැඟීමක් ඇති වුණේය.

වෙනදට කාමරේට ඇවිත් මට කතා කරනවා. මං ඉතින් දොර ඇරලා ලයිට් දාලා එයා ගේට්ටුව ළඟට යනකල් බලා ඉන්නවා. එදා පුතා හිටපු හින්දා මට කතා නොකරම යන්න ගිහින් තිබුණා’’

ඉරිදා දිනයක් වූ එදා වෙනදා මෙන් අශාන්ට හා ටෙරාන්ට දහවල් වෙනතුරු සැප නින්දක් ලබන්නට නොහැකිවුණේය. කොටුව නාගරික රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් උදේ හතවෙද්දී නිවසට පැමිණ සිටියහ.

” ඒ අය ඇවිත් ඇහුවෙ තාත්තගෙ බයිපාස් එකේ රිපෝට්ස් තියෙනවද කියලා. ඇයි ඇහුවම කිව්වා තාත්තගෙ බයික් එකට බල්ලෙක් පැනලා අමාරු නෑ කියලත් කිව්වා. ඊට පස්සෙ තමයි අම්මා ඇහැරවලා රිපෝට්ස් හොයලා දුන්නේ.”

” ඒත් අපි ඒ වෙලාවෙම ඉස්පිරිතාලෙ යන්න කැබ් එකකට කතා කරන්න ලෑස්ති වෙනකොට ඒ ගොල්ලො පොලීසියෙන් ජිප් එකක් ගෙන්නලා දුන්නා. ඒ වෙලාවෙ නම් අපේ හිතට මොකද්දො වුණා. අමාරු නැත්තම් ඇයි මේ ජීප් එකක් කියලා..”

ඔවුන්ට ඒ දැනුණු හැඟීමේ ඇත්තම තත්ත්වය අවබෝධ වූයේ රෝහල් පරිශ්‍රයට පා තැබූ මොහොතේමය. ඔවුන් දුටු දසුනෙන් සරච්චන්ද්‍රගේ තත්ත්වය කිව්වාට වඩා බරපතළ බව වැටහුණේය.

” ඒ වෙලේ රෝහල් පිළිගැනීමේ කවුන්ටරය ළඟ මාධ්‍ය ප්‍රකාශකතුමාත්, කොටුව, සිටි ට්‍රැෆික් එකේ අධ්‍යක්ෂතුමාත් පොලිසියේ තවත් කිප දෙනකුත් හෙදියන් පිරිසකුත් හිටියා මතකයි. අපිව හඳුනාගත්තට පස්සෙ කිව්වා “

තාත්තා ඇතුළෙ ඉන්නවා. පුළුවන් නම් ගිහින් බලන්න කියලා. ඒ කියපු විදිහෙන් තේරුණා බලන්න බැරි තත්ත්වෙකින් තාත්තා ඇත්තෙ කියලා. ඒ හින්දා අයියයි, මමයි, නංගියි විතරක් ඇතුළට ගියා. තාත්තා කෙනෙක් එහෙම ඉන්නවා කිසිම දරුවෙකුට බලන්න නොලැබේවා කියලා මං කියනවා… ඒ තරම් දුකයි. විනාඩියක්වත් බලන් ඉන්න අමාරුයි.. ඇස් දෙක විතරක් ඉතුරුවෙන්න මුළු ඔළුවම බැන්ඩේජ් කරලා. ඇස් පියවිලා. බෙල්ල ළඟට එනකල් රෙද්දකින් වහලා. එක එක විදිහේ බටවලින් තාත්තව මැෂින්වලට හයිකරලා. අපි ඒ ගිය ඉක්මනින්ම එළියට ආවේ තාත්තා දිහා බලන්න බැරිකමට..”

අශාන් හා ටෙරාන් ළමා විය ඉක්මවා සිටි තරුණයන් වූවාට වයසට හැඟීම් සඟවන්නට නොහැකි වුණේය. නැගණියත් සමග ඔවුන් රෝහල් කාමරයෙන් එළියට ආවේ අඬාගෙනය. ඒ දසුන අනෝමාගේ සිතට පැවති තත්ත්වය මොකක්දැයි හොඳින්ම අවබෝධ කළේය.

‘‘ඒ වෙලේ තමයි අපි ඇත්තටම වෙලා තියෙන දේ දැනගත්තෙත්. මහත්තයා උදේ ගෙදරින් ගිහින් පොලිසියටත් ගිහිල්ලා රාජකාරියට වාර්තා කරලා, යුනිෆෝම්වලින් රාජකාරි ට්‍රැෆික් බයිසිකලේ යද්දි තමයි මේ අපරාදේ සිද්ධ වෙලා තියෙන්නේ.’’

පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර අනතුරට පත්ව පැය 24 ක් යන්නට මත්තෙන් ඔහුගේ අනතුර සහිත සීසීටීවී කැමරා වීඩියෝව ලංකාව පුරා පමණක් නොව සමාජ ජාලා වෙබ් අඩවි හරහා ලෝකය පුරාද ගියේය. බම්බලපිටිය ඩුප්ලිකේෂන් හන්දියෙන් නියමිත මාර්ග සංඥාවන්ට අනුව පැමිණි බයිසිකලය මාර්ග සංඥා නොතකා පැමිණි ඩිෆෙන්ඩර් රථයට හැප්පෙද්දී හිස් වැස්ම ගැලවී විසිවී අඩි විස්සක් පමණ ඈතට විසිවෙන පොලිස් පරීක්ෂකවරයාව ඒ ඩිෆෙන්ඩරයටම යටකරනු ඒ වීඩියෝවෙ හොඳින් සටහන්ව ඇත. එමෙන්ම අනතුරට පෙර වේගයෙන් පැමිණෙන රිය දැක තත්පර ගාණකට ඔහු බයිසිකලය නවතා බලනුද ඔහු යටවීමෙන් පසු ඩිෆෙන්ඩරය නවතා එයින් බැස ආ අයකු පොලිස් පරීක්ෂකවරයා ළඟට පැමිණ බලා ඔහු එලෙසම දමා ගොස් ඩිෆෙන්ඩරයට නැගී පලායන අයුරුත් ඒ වීඩියෝ පටයේ සටහන්ව ඇත. ඩිෆෙන්ඩරය පසුපසින් ඒ සමාන වේගයකින්ම පැමිණි ප්‍රාඩෝ රථයද අනුගමනය කළේ ඩිෆෙන්ඩරයේ පිළිවෙතමය.

” ඩිෆෙන්ඩරයෙ ආව අය තාත්තව හප්පලා දාලා ගියාට පස්සෙ ඒ අසල තැනක රාජකාරි කරපු පොලිස් නිලධාරියෙක්මයි සිද්ධිය දැකලා ඉක්මනටම කාරෙකක් නවත්තලා තාත්තව ජාතික රෝහලට ගෙනත් තියෙන්නේ. ඒ රෝහලට ඇතුළු කරපු දා ඉඳලා ගෙවුණු හැම දවසකම තාත්තා ඇහිපිල්ලමක් හරි ගහයි කියලා අපි දැඩි සත්කාර ඒකකයට අඩිය තියන හැම මොහොතකම හිතුවත් ඒක නිකම්ම සිතුවිල්ලක් විතරක් වුණා. මමයි මල්ලියි තාත්තා තනි නොකර රෝහලටම වෙලා හිටියා. ඒ අතරෙ අම්මා පුළුවන් තරම් බෝධි පූජා සෙත් ශාන්ති කළා..”

ඒ මොන දේවල් කළත් සරච්චන්ද්‍රගේ අවදානම් තත්ත්වයේ හොඳ අතක් වූයේ නැත. ඔවුන්ට අවබෝධ වූයේ එන්න එන්නම තත්ත්වය තවත් නරක්වන බවයි.

” මහත්තයාගේ තත්ත්වෙ නරක අතට හැරුණා වගේම අපිට හැම දෙයක්ම වුණේ නරකට. මහත්තයගෙ පඩි සල්ලියි හිතවත් අය කිපදෙනෙක් දුන්න සල්ලියි හදිස්සියකට වුවමනාවෙයි කියලා මං කවරෙක දාලා බෑග් එකේ දාගෙන හිටියේ. ඒ සල්ලි ටික ජාතික රෝහලේදී බෑග් එකෙන් කවුරුහරි අරන් තිබුණා. . එයාට පිරිත් ඇහෙන්න කියලා පොඩි ප්ලේයර් එකකින් පිරිත් දාලා තිබුණා. ඒකත් කවුරුහරි හොරකම් කරගෙන ගිහින් තිබුණා. ඒ වගේමයි මං කේන්දරේ බලන්න ගියා. ඒ වෙලේ කිව්වෙ තනි ඒරාස්ටක කාලයක් යන්නෙ කියලා විතරයි. සෙත් කවියක් ලියලා දෙන්නම් කිව්වා.. වෙන අයට නම් ඒ හාමුදුරුවෝ ඒ පන්සලේම සෙත් කවිය කියනවා. මේක මට කියා ගන්න කිව්වා. සල්ලි ගත්තෙත් නෑ. ඒත් ඒකත් මගෙ හිතට හරි නැතිවුණා. ඒ වුණත් මම ගෙනත් සෙත් කවියක් කියෙව්වා. මම මාර්තු නව වැනිදා එයාව බලන්න ගියා. ඒ වෙනකොට දරුවන්ගෙ කකුල් ඉදිමිලා. ඒ ගොල්ලන්ට හිටගෙන ඉන්න බැරි තරම්. ඒත් පොඩි පුතයි යාළුවෙකුයි එදා හවස තාත්තා ළඟට ගියා. ඒ ඉන්නකොට එයා දන්නෙත් නෑ එළියෙනෙ ඉන්නෙ. මහත්තයගෙ මල්ලිගෙ ෆෝන් එකට ආව කෝල් එකකින් තමයි කියලා තිබුණෙ මහත්තයා නැතිවුණා කියලා. එදා හවසත් එක වතාවක් හාට් එක නැවතුණා කියලා අපිට කිව්වා. ඒ වෙලාවේ මසාජ් කරලා හරි ගිහින් තිබුණා. ආයේ එදා රෑ අටකුත් ගාණකට එහෙම වෙලා. මොන විදිහකටවත් ආයෙ පණගන්වන්න බැරිව ගිහින්.”

අනතුරින් පසු දිනෙන් දින ගතවෙද්දී ඔහු සුව කරගන්නට බැරිවෙනු ඇතැයි කියන අසුබ සිතුවිල්ල විටින් විට ඔවුන්ගේ හිතට ආවත් සිහියක් හෝ නොලබාම ඔහුගේ හදවත නැවතීම ඔවුනට දරා ගන්නට නොහැකි වුණේය. පොලිස් පරීක්ෂකවරයාගේ අවසාන කටයුතු මාර්තු 11 වැනිදාම බොරැල්ල සුසාන භූමියේදී සිදු වූයේ ඔහුගේ සිරුර තව දිනක්වත් තබා ගැනීමට නොහැකි තත්ත්වයක පැවතීම නිසාය.

” පොලිස් දෙපාර්තමේන්තුවෙ අජිත් රෝහණ මහත්තයාගෙ මැදිහත්වීමෙන් තමයි ඒ සියලු කටයුතු වුණේ. ඔය අන්තිම දවස වෙනකොට එයා ඉදිමිලා හිටියේ. ඒ වකුගඩු අක්‍රිය නිසා වතුර මාංශ පේශිවලට බැහැලා. පශ්චාත් මරණ පරීක්ෂණේදී සීටී ස්කෑන්වලට නොපෙනුන තත්ත්වයත් දැනගත්තා. මරණය සිද්ධවෙලා තිබ්බේ ඔළුවට වෙච්ච තුවාලවලින් විතරක් නෙවෙයි.. කකුල් ඇඹරිලා වෙච්ච තුවාලවල ලේ කැටි ගිහින් පෙණහැල්ලෙ හිර වෙලා. ඒ අතරෙ පෙණහැල්ලෙ සෙම, වකුගඩු අක්‍රිය වෙලා. මේ මරණයට හේතුව තාත්තා බයිපාස් ලෙඩෙක් වීම නෙවේ, ඔළුවෙ තුවාලත් ඇඟට උඩින් වාහනේ යාමත් නිසා ඇති වූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් කියන එක පශ්චාත් මරණ වාර්තාවේ ලියවිලා තියෙනවා.”

“අනතුර සිද්ධ කරපු කිසි කෙනෙක් ඒ මොහොතේ හොඳ සිහියකින් ඉඳලා නෑ. ‍ඒ අනතුරට පත්වෙලා ලේ පෙරාගෙන වැටිලා ඉන්නෙ යුනිෆෝම් ඇඳපු පොලිස් නිලධාරියෙක් කියන එක නෙවේ.. ජීවිතයක් නෙ කියලා ඔවුන් හිතුවා නම්.. ඒ මනුස්සයත් කවුරුහරි දරුවකුගෙ තාත්තෙක් කියලා හිතලා ඒ වාහනයක දාගෙන ඉක්මනට රෝහලකට ඇතුළු කළා නම්, සමහරවිට තාත්තගෙ ඉරණම මීට වඩා වෙනස් වෙන්නත් තිබ්බා. ඒ කොහොම නමුත් දැන් අසරණ වෙලා ඉන්නෙ අපියි. අපිටයි තාත්තෙක් නැතිවුණේ.
ටෙරාන් හැඟුම්බර වී කියාගෙන ගිය කතාවම පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ද සනාථ කළාය.

” මහත්තයගෙ පඩියෙන් තමයි අපි හැම දෙයක්ම කළේ. මහත්තයා නැතිවුණාට පස්සෙ අපිට ලක්ෂ විස්ස, තිහ දුන්නා කියලා කතා ගියා. ඒවා ඔක්කොම බොරු කතා. සල්ලි ලක්ෂ විස්සක් අපට ලැබෙනවා, ඒ හැබැයි කිසිකෙනෙක් දුන්න සල්ලි නෙවේ, මහත්තයගේ අග්‍රහාර රක්ෂණයේ “රන්” ආවරණයට අනුව ජීවිතය නැතිවීමේදී නම් කරන්නන්ට හිමි වන්දි මුදලයි ඒ. මටත්, දුවටත්, පොඩි පුතාටත්, තමයි ඒක ලැබෙන්නේ. අපි මේ කුලී ගෙදරින් මේ අවුරුද්දෙ යන්න හිටියේ. මහත්තයා පොලිස් ක්වාටස් එකකට යන්න ඕන කිය කිය හිටියෙ. දුව විභාගෙ පාස් වුණාම හොඳ ඉස්කෝලෙකට දාගන්න හිතේ තිබ්බා. එයා දැන් යන ඉස්කෝලේ උසස් පෙළ පන්ති නෑ. දැන් මේ ප්‍රශ්නවලට මං තනියම උත්තර හොයන්න ඕන. ඒත් මගේ හයිය වුණ එයා නැතිවෙලා ගියායින් දැන් මට හයියක් නෑ. මේ කාරණා කටයුතු ඉවරවෙලා ජනාධිපතිතුමා හම්බවෙන්න කිව්වා. අවස්ථාවක් හදාගෙන හම්බවෙන්න යන්න හිතාගෙන ඉන්නේ.”

සමාජශාලා ගානෙ තරුණියන් කැඳවා ගොස් සාද දමා කුණුවෙන්න බී මහ රෑ වාහන රේස් පැද පාරේ යන මිනිසුන්ව වාහනවලට හප්පා මරා දමා යන මිනිසුන් පොඩි දරුවන් සේ ඒ අම්මලා, තාත්තලා සිතන්නේ නම් පොලිස් පරීක්ෂකගේ දරු තිදෙනා තවමත් ලෝකය නොදන්නා කිරි දරුවන්ය. ඉදින් මේ මොහොතේ ඒ කිරි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර යහපත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම මේ රටේ ජනාධිපතිවරයාගේත් වගකීම සේම යුතුකමක් ද වන්නේය.

බියංකා නානායක්කාර
ඡායාරූප ඉන්දික හඳුවල