විශේෂාංග

ඩිජිටල් උපාංග එක්ක බෙල්ල ගහලා යන සෙල්ලම් එපා

අප ජීවත් වන්නේ ඩිජිටල් යුගයක ය. එහිදී සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් ඔවුන්ගේ ඩිජිටල් උපාංගවලට ඉහළින් ඇබ්බැහි වී සිටීම සාමාන්‍ය තත්ත්වයකි. තාක්‍ෂණය අපට බොහෝ ආකාරවලින් උදව් කරන නමුදු එහි කනගාටුදායක පැත්ත, එනම් අවාසිය වන්නේ එය අපේ ජීවන රටාවට සිදු කරන අයහපත් බලපෑමයි. ඉන් එකක් වන්නේ ඩිජිටල් උපාංග දීර්ඝකාලීන ව පාවිච්චි කිරීම නිසා ඇති වන ආබාධ තත්ත්ව ය.

ඒ අතරිනුත් ගෙල ආශ්‍රිත සින්ඩ්‍රෝමයක් ගැන අද දවසේ වැඩි අවධානයක් යොමු වී තිබේ. එය හැඳින්වෙන්නේ Text Next Syndrome නමිනි. එය මෑත කාලීනව කරළියට ආ පාරිභාෂික වදනකි. එය අමෙරිකානු කශේරු සන්ධිරෝග චිකිත්සකයකු වන ආචාර්ය ඩී.එල්. ෆිෂ්මන් හඳුන්වා දුන් රෝග තත්ත්වයකි. මෙසේ හැඳින්වෙන්නේ දිගු වේලාවක් දුරකථනයට නැමී සිටීමෙන් බෙල්ලේ ඇතිවන රෝග තත්ත්වයකි. ඩිජිටල් උපාංග අඛණ්ඩව භාවිත කරන තරුණ පරම්පරාව මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වන බවක් පෙනෙයි.

බෙල්ල සාමාන්‍යයෙන් ඇති විට, කොඳු ඇට පෙළ සුමට මෘදු ‘එස්’ හැඩයකින් යුතු ය. එහෙයින් එය බොහෝ වේලා ඉදිරියට නැඹුරු වී සිටීම මෙන්ම පසු පසට නැඹුරු වී සිටීම ද අයෝග්‍ය ය. එමෙන්ම කොඳු ඇට පෙළට ද බලපෑමක් ඇති කරන්නකි. එසේ වුවහොත් එය බොහෝ අමතර සෞඛ්‍ය ගැටලුවලට අත වනන්නක් විය හැකි ය.

එබැවින් හැම විටම හොඳ ශරීර ඉරියව්වකින් පසු වීම වැදගත් ය. එනම් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් කොඳු ඇට පෙළේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා නිවැරදි ඉරියව්වෙහි සිටීම වැදගත්ය. බෙල්ල සිරුරට අනුකූලව තබා ගැනීම ගැන අපේ අවධානය යොමු විය යුතු ය.

උපාංගය අල්ලාගෙන සිටින අත වෙනස් කිරීම ගැන ද අවධානය යොමු විය යුතු වෙයි. විශේෂයෙන් බර උපකරණ දිගු කාලයක් එක් අතකින් පමණක් භාවිත කිරීම අහිතකර වෙයි. එහි බර විටින් විට අත්වලට මාරු කළ යුතු ය. ජංගම දුරකථන ආධාරක හෝ හෑන්ඩ්ෆ්‍රී ඊට විකල්ප ලෙස සැලකිය හැකි ය.

එක් තැනකට, එක් ඉරියව්වකට සීමා වී පරිගණක හෝ ජංගම දුරකතන පාවිච්චි කිරීමෙන් වැළකිය යුතු ය. ඒ වෙනුවට දුරස්ථව යොදා ගත හැකි උපාංග වෙත යොමු වන්නට අපට පුළුවන.

ඔබේ රාජකාරි දවස නිරන්තර විවේකයක් සහිතව සැලසුම් කර ගැනීම ද මෙහි ලා ප්‍රයෝජනවත්ය. මිනිත්තු කිහිපයකට වඩා නොකඩවා ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කිරීමෙන් වළකින්නට හැකිනම් අගනා බව විශේෂඥ මතය යි. අනෙක් අතට පරිගණකයේ හෝ වෙනත් ඩිජිටල් උපකරණයක හෝ වැඩ කරද්දී සෑම මිනිත්තු 20 – 30 වරක් අවම වශයෙන් මිනිත්තු 5 ක විවේකයක් වත් ගත යුතු ය. කෙටි ඇවිදීමේ ව්‍යායාමයක් සිරුරට දෙන්නට හැකි නම් එය ද කදිම ය.

ඔබේ සේවා ස්ථානයේ කාර්යක්ෂමතාව තේරුම් ගැනීම මෙන් ම අවශ්‍ය නම්, වැඩ කරන අතරතුර සුව පහසු ඉරියව්වක් තබා ගැනීමට එහි වට පිටාව වෙනස් කර ගැනීම ගැන ද අවධානයක් යොමු කළ හැකි ය. ගෙල හා පිට ප්‍රදේශයට ආධාරකයක් ලෙස යොදා ගත හැකි අසුනක් භාවිත කර මේසයේ හෝ ලැප්ටොප් තිරයේ උස සකස් කර ගන්නට අපට පුළුවන. එවිට, එය භාවිත කිරීම සඳහා නැමිය යුතු නොවේ.

ඩෙස්ක්ටොප් / ලැප්ටොප් පරිගණකයේ වැඩ කරන අතරේ බෙල්ල සහ පිට පෙදෙසේ මාංශ පේශීවලට ව්‍යායාමයක් ලබා දෙන්නට හැකි නම් එය ද වැදගත් ය. එය මාංශපේශීවල මෙන්ම මානසික ආතතිය ලිහිල් කරන්නට සමත් ය.

නිතිපතා සම්බාහනය ද දීර්ඝකාලීන ගෙල ආශ්‍රිත කැක්කුම්වලට හොඳ පිළියමක් ලෙස සැලකෙයි. පුහුණු වෘත්තිකයෙකුගෙන් සම්බාහනයක් ලබා ගැනීම මාංශ පේශිවල ගැට ගැසීම් මෙන්ම එබඳු මාංශපේශී ආශ්‍රිත ඇති අපහසුතා හඳුනා ගන්නට ද උදව් වෙයි.

ව්‍යායාමවලදී බෙල්ල සහ කොඳු ඇට පෙළේ ව්‍යායාම කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙයි. ජංගම දුරකතන හෝ පරිගණක සමග හෝ ඔබ ඉහත පුරුදුවලට ගොදුරු වී ඇත්නම්, ඔබේ බෙල්ලේ හා කොඳු ඇට පෙළේ මාංශ පේශි ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ම ය. බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා උපකාරී වන ව්‍යායාම සඳහා යොමු වීමද මෙහි ලා වැදගත් ය.

ජංගම දුරකථන ඇස් මට්ටමේ තබා ගැනීමද වැදගත් ය. ජංගම දුරකථනය ඇස් මට්ටමේ තබාගැනීමෙන් බෙල්ල ඉදිරියට නැමීම වළකා ගන්නට අපට පුළුවන. බෙල්ලේ ආතතිය අඩු වන පරිදි අපේ උපාංග පහසු ස්ථානයක තබා භාවිත කරන්නට හැකි නම් එය ද වැදගත් ය. එපමණක් නොව දුරකතන ආදී උපාංග අඩමානයට අල්ලා ගෙන සිටීම ද සිරුරට යම් පීඩනයක් ඇති කරන්නකි.

මෙබඳු අපහසුවකදී අයිස් / තාප ඇසුරුම් ( ice packs or heat packs )භාවිත කිරීම ද එක්තරා ආකාරයක පිළියමකි. බෙල්ලේ හෝ පිටේ ඉහළ කොටසේ වේදනාව වැනි Text neck සින්ඩ්‍රෝමයේ ආරම්භක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, එයින් ඇති වන පීඩාව ලිහිල් කිරීමට සහ සමනය කිරීමට අයිස් / තාප ඇසුරුම් භාවිත කළ හැකිය. මේ මූලික ලක්ෂණ නොසලකා හැරීම තත්ත්වය නරක අතට හරවන්නට හේතු වන බව ද කිව යුතු ය.