ක්‍රීඩා

ඩලස් එක්ක දිනන්න නම්

පසුගිය 18 වැනිදා තම ධුරයට සමු දුන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තම සමුගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු කිහිපයක් නිසාද මේ වන විට නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත්ව සිටීමද හේතුවෙන් මෙම ලිපිය ලිවිමට සිත්විය.

අසීමිත වියදමක් දරා තිබියදී අනාගතයක් නොපෙනෙන තරමටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා වැටී තිබෙන බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වන ජාත්‍යන්තර ජයග්‍රහණ පදක්කම් එකකට දෙකකට පමණක් සීමා වී ඇති බවත්, දූෂණයෙන් ක්‍රීඩාව ගලවා ගැනීම සඳහා පාර්ලිමේන්තු පනතකින් ක්‍රීඩාව දූෂණයෙන් වළක්වා ගැනීමේ පනතක් සම්මත කිරීමට හැකි වීම ගැන සතුටුවන බවත්, ජාතික තලයේ ක්‍රීඩකයින්ට රැකියා අවස්ථා ලබාදීමේ සංකල්පය පණ ගැන්විය යුතු බවත් තම සමුගැනීමේ කතාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. ක්‍රීඩාව කඩා වැටීමේ බරපතළ කරුණ ප්‍රධාන කරගත් ඉහතින් දැක්වූ අදහස් පිළිබඳව කරුණු දැක්වීම පසුවට තබා එම තත්ත්වය ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට උදාවුයේ ඇයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම කාලෝචිත යැයි සිතේ.

මැතිවරණ කාලයේදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීමත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් පදක්කම් ගෙල පැලඳවීමේ සිහින විකිණීමත්, මැතිවරණ අවසන් වී ටික කලකින් පත්වූවන් මෙන්ම ප්‍රධාන පක්ෂවල ප්‍රතිපත්ති සකස් කරන සියලු දෙනාත් අමතක කර දමන්නේ එවැනි ප්‍රතිපත්තින් එළිදැක්වූ බවක්වත් රටේ ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි පරිද්දෙනි. ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉල්ලා සිටියේත් අනුරාධපුර රුවන්වැලිසෑය අබියස ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී අභිනව ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළේත් ජනාධිපතිවරණය සඳහා එළි දැක්වූ ‘සෞභාග්‍යයේ දැක්ම’හි සඳහන් සියලුම කරුණු ඉටු කිරීමට තමන් වගබලා ගන්නා බවයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවෙහි ‘ජව සම්පන්න තරුණ්‍යයට හෙටක්’ යටතේ ක්‍රීඩාව සවිබල ගැන්වීම පිළිබඳව සඳහන් කර තිබිණි. එහිදී ක්‍රීඩාව තරුණ්‍යයට පමණක් අයිති වූවාක් ලෙසින් සඳහන්ව තිබුණත් ක්‍රීඩාව යනු කුල මල, ජාති භේද, ආගම් භේද පමණක් නොව වයස සීමා මායිම් නැති විශ්වයේ සියලු දෙනා එකතු කළ හැකි විශ්ව භාෂාව බව මුලින්ම පැවසිය යුතුය. ශ්‍රී ලංකාවට අද අත්‍යවශම වී ඇති ජාතික සංහිඳියාව යළි ගොඩ නැගීම සඳහා, ක්‍රීඩාව යනු සරල සහ සංවේදී බව ඉහළ යොදා ගැනීමකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩාවද රාජ්‍ය අනුග්‍රහයෙන් රැකබලා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ දක්වා රැගෙන යාමට ක්‍රමවේදයක් ප්‍රථමයෙන් සකස් කරමින්, කඩා වැටී ඇතැයි කියන ක්‍රීඩාව යළි ගොඩනැංවීම සඳහා අඩිතාලම තැබිය යුතුය.

මෙම අරමුණු සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?

ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යවම තිබෙන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම පළමු කාර්යයයි. අනතුරුව, නිරන්තර අධීක්ෂණයෙන් යුතුව එය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට හැකි වනු ඇත. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැති ලෝකයේ එකම රටද ශ්‍රී ලංකාව බවද මෙහිදී මතක් කර දිය යුතුය. අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වීමේදී වෙනස් නොවන කෙටි, මධ්‍ය හා දිගුකාලීන සැලැස්මවලින් යුත් ස්ථිරසාර වූ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දී ක්‍රියාත්මක කරන තාක් මිලියන සහ බිලියන ගණනින් මුදල් වියදම් කළද අප බලාපොරොත්තු වන ප්‍රතිඵලවලින් සපිරිනු ඉලක්කයන් කරා ක්‍රීඩාව රැගෙන යාමට නොහැකි වනු ඇත. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් පිළිබඳව අපට ලබා ගත හැකි හොඳම උදාහරණය අසල්වැසි ඉන්දියාව සතු වෙයි. 1984 වසරේදී ක්‍රීඩාවේ තත්ත්වය උසස් කිරීමේ අරමුණෙන් (Objective of Raising the Standard of Sports in the country) ඉන්දියාව තම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදී. වසර 5 කට පසු එහි ප්‍රගතිය සමාලෝචනය කර යම් සංශෝධන අවශ්‍ය වෙන්නේ නම් අවශ්‍ය පියවර ගත යුතු බව ඔවුන්ගේ ක්‍රීඩා ප්‍රතිපත්තියේ වැඩිදුරටත් සඳහන් වේ. එසේම අප වැනි කුඩා රටක් වූ සිංගප්පූරුව තම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය 1973 ජූලි මස 21 වන දින එවකට අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ විසින් Sports for all යනුවෙන් එළිදක්වන ලදී. නැවත 2001 දී Sporting Singapore ලෙසත්, නැවත 2012 දී Vision 2030 යනුවෙනුත් වෙනස් කරමින් ඔවුන් තම ක්‍රීඩා ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යමින් ක්‍රීඩාවේ ප්‍රගතිය කරා සිංගප්පූරුව රැගෙන යමින් සිටී.

ඩන්කන් වයිට්, ඩබ්.විමලදාස, සුසන්තිකා ජයසිංහ, නිර්මලා දිසානායක, සුනිල් ගුණවර්ධන, ජී.එම්.ප්‍රේමචන්ද්‍ර, කෝසල සහබන්දු, දමයන්ති දර්ශා සහ සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයන් ගමෙන් පැමිණ ජාත්‍යන්තර ජයග්‍රහණ දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගිය බව සත්‍යයකි. එහෙත් වර්තමානයේ නවීන තාක්ෂණයෙන් සපිරි ලෝකයේ දියුණුම රටවල් අනුගමනය කරන පුහුණු වීමේ ක්‍රමවේදයන් ඇති කිරීමට අවශ්‍ය වන්නා වූ ක්‍රමවේදයන්ගෙන් යුත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන තාක් කල් ශ්‍රී ලංකාව ක්‍රීඩාව අතින් ඉදිරියට ගෙන යාම අපහසු කාර්යයක් වනු ඇත. එසේම ඉඳහිට බිහිවන අමාෂා ද සිල්වා, නිමාලි ලියනාරච්චි, ෂෙලින්ඩා ජැන්සන් සහ අරුණ දර්ශන වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමද ජාතික ක්‍රීඩා සංගම්වලට අභියෝගයක් වනු ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමැතිව සිටි යුගයේ, අංක 1758/23 හා 2012 මැයි මස 16 වැනි දින ගැසට් පත්‍රයේ අභිමතාර්ථ 8 කින් සහ මූලික ප්‍රතිපත්ති 40කින් යුතුව එළිදැක්වූ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයට පමණක් සීමා වී තිබීම සැබැවින්ම කනගාටු විය යුතු කරුණකි. සංශෝධන සහිතව එම ක්‍රීඩා ප්‍රතිපත්තිය හෝ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් එළිදක්වා නිරතුරුවම කරන අධීක්ෂණය සඳහා කාර්ය සාධන බළකායක් ඇති කිරීම තුළින් නව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම, ක්‍රියාවට නැංවීම පහසු කරවනු ඇත. නැතහොත් ජාත්‍යන්තර ජයග්‍රහණවලින් පිරිපුන් අභිමානවත් ක්‍රීඩා පරපුරක් බිහි කිරීමට ස්ථීරසාර ක්‍රීඩා ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අභිනව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි ක්‍රීඩාලෝලී ජනතාව බලාපොරොත්තුවෙන් පසුවේ.

එසේම නව අණපනත් කොතෙක් හඳුන්වා දුන්නද ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවේ නම්, ඒවා ලිපිගොනුවලට සහ ගැසට් පත්‍ර අතරට පමණක් සීමාවීම කිසිවකුට වැළැක්විය නොහැකි වේ. කේ.බී. රත්නායක ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලාංකේය ක්‍රීඩාව නිසි මගට ගැනීම සඳහා හඳුන්වා දුන් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ 1994 අංක 47 දරන ක්‍රීඩා සංශෝධන පනත කොතරම් දුරට අද වන විට ක්‍රියාත්මක වී ඇත්දැයි විමසා බැලිය යුතුය. පසුගියදා අපෙන් සමුගත් යෝගානන්ද විජේසුන්දර මහතා වරෙක ප්‍රකාශ කළේ, ක්‍රීඩාව දියුණු කිරිම සඳහා නව රෙගුලාසි පැනවීම පසෙකලා 1973 ක්‍රීඩා පනතේ සඳහන් කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් බවයි. එම නිසා වසර 47කට පසුව හෝ ක්‍රීඩා පනතේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් රැකියා ලබාදීම යළි ආරම්භ කළ යුතු යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තම සමු ගැනීමේදී ප්‍රකාශ කරන ලදී. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා අවස්ථා ලබාදීමේ සංකල්පය ශ්‍රී ලංකාවට මුලින්ම හඳුන්වා දී එය යථාර්ථයක් බවට පත් කළේ එවකට වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා බව මෙහිදී කෘතවේදීව සඳහන් කළ යුතුය. ප්‍රථම වරට විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 57 දෙනකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගැනීමෙන් පසු ඔවුන් ඉතාමත් ටික කලක් තුළදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යාන්තර ජයග්‍රහණ ලබා දීමට මව්බිමට දායකත්වය දැක්වූහ. එයට පසු ඒ.එච්.එම්. අෂරොෆ්, රෙජී රණතුංග, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය මෙන්ම නව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම එදා අමාත්‍යාවරුන් වශයෙන් රාජ්‍ය අංශය තුළ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා ලබා දීමේ සංකල්පය ක්‍රියාත්මක කළහ. ඒ අවස්ථාව ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදටත් ජාත්‍යන්තර ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා කැප වෙමින් ජාතික තරග මාලාවන්හීදී ද අනිකුත් ක්‍රීඩා සමාජවලට අභියෝග කරමින් සිටී.

ආයතන කිහිපයකට සහ ක්‍රීඩාවට ලැදි අමාත්‍යවරුන් කීපදෙනකුට පමණක් සීමා නොවී අවම වශයෙන් ඔලිම්පික් ක්‍රීඩා සඳහා ඇතුළත් වන ක්‍රීඩා ඉසව්වලින් ජාතික මට්ටමේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් සඳහා රාජ්‍ය අනුග්‍රහය සමගින් රැකියා අවස්ථා ලබා දී ඔවුන් රැකබලා ගැනීමේ සංකල්පය නිරතුරුවම ඉදිරියට ගෙන යාමට විනිවිද පෙනෙන නිර්ණායකයන්ගෙන් සමන්විත වූ ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවලින් බිහි වන ක්‍රීඩා උපාධිධාරීන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමේ ක්‍රමවේදයක්ද, අවම වශයෙන් දැනට තිබෙන ජාතික ක්‍රීඩා විද්‍යායතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක්ද, නියමිත පරිදි ක්‍රියාත්මක කෙරෙන ජාතික ක්‍රීඩා දින දර්ශනයක්ද, ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට ඇතුළත් විය යුතු යැයි සිතේ. සමහර දෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ගෙන් තොර ශ්‍රී ලංකේය ක්‍රීඩාව දියුණු කිරිම සඳහාම සැකසුණු ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සඳහා තව බොහෝ කරුණු ඇතුළත් විය යුතුය.

ජව සම්පන්න නිරෝගිමත් සහ විනයගරුක සමාජයක් බිහි කිරිම සඳහා ක්‍රීඩාශීලී ජීවන රටාවකින් යුත් පරපුරක් නිර්මාණය කිරිමේ කරුණුවලින් සමන්විත වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළින් ජාත්‍යන්තර ජයග්‍රහණ දක්වා ශ්‍රී ලාංකේය ක්‍රීඩාව රැගෙන යාමට නව ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය වේ.

එසේම නව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට තරුණ කටයුතු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද හිමිව තිබීම අගනේය. එතෙක් මෙතෙක් ක්‍රීඩාවේ පරිහානියට එක් විශේෂිත හේතුවක් වූයේ ක්‍රීඩාවේ තිඹිරිගෙය වන පාසලත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් ඇමැති දෙදෙනකුගේ පාලනය යටතේ පැවතීමය. දැන් පාසලද, තරුණ කටයුතුද, ක්‍රීඩාද ලෙසින් එකට ඈඳී තිබිය යුතු විෂය ක්ෂේත්‍ර එකම ඇමැතිවරයකු යටතට පැවරී තිබේ. දැන් ක්‍රීඩාවේ ජයග්‍රහණ උදෙසා අවැසි සියල්ල ‘එකම වහලක් යට’ එකතු වී තිබේ. එයද එක්තරා ජයග්‍රාහී ආරම්භයකි. දැන් ඇත්තේ දැක්මක් සහ අධිෂ්ඨානයක් සහිතව වැඩට බැසීමය.

සුසිල් රණසිංහ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය