ව්‍යාපාරික

ඩයලොග්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් විශ්වාසය සහතික කරමින් ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌

ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා රසිකත්වයේ හිණි පෙත්තේම රැඳුණු ආදරණීය ක්‍රීඩාවයි. එයට අද මෙන්ම හෙට ද සමස්ත ලාංකිකයන් තුළ ඇත්තේ ලෙන්ගතු වූ බැඳීමකි. මන්ද ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට හුදු ක්‍රීඩාවක් පමණක්ම නොව, හදවත් වලින් නැගෙන සුවිශේෂී හැඟීමක් කැටිකොටගත් ක්‍රීඩාවක් බැවිනි. කිසිදු ජන වාර්ගික භේදයකින් තොරව සමස්ත ජනතාවට ගෙනදුන් උත්තේජනය වගේම සතුට හුදු සතුටක් පමණක් නොවීය. අපි හැමෝම එකම මිනිස් දම්වැලකින් බැඳුණු “ශ්‍රී ලාංකිකයන්” යන ප්‍රෞඩත්වයේ අභිමානය සහ හැඟීම ද එයින් නොඅඩුව ලබාදුන්නේ ය.

මෙම සියලු කාරණා ඔස්සේ වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ජාතික T20 කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වී තිබීම අප සැමගේ ප්‍රසාදයට ලක්ව ඇති කරුණකි. විශේෂයෙන් එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වගේම ලබන වසරේ පැවැත්වීමට නියමිත ICC Cricket T20 ලෝක කුසලානය සඳහා අපගේ ක්‍රීඩකයින් සවිබල ගැන්වීම මේ මොහොතේ අප සතුව ඇති ප්‍රමුඛතම අරමුණ වේ. මෙම අරමුණ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ලාංකීය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් අද දින බිහිවන ක්‍රීඩකයින් හට දිරිය සහ ශක්තිය ලබාදීමේ අරමුණින් ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරනු ලැබූ Dialog -SLC Invitational T20 League ක්‍රිකට් තරගාවලිය සදහා සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් විය.

ග්‍රීන්ස් (හරිත), ග්‍රේස් (අළු), රෙඩ්ස් (රතු) සහ බ්ලූස් (නිල්) යන වර්ණ යටතේ වර්තමාන ශ්‍රී ලාංකීය ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන අෂාන් ප්‍රියන්ජන, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩයකයන් සිව්දෙනාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම ඩයලොලා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 තරගාවලිය, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායී දැක්මක් නිර්මාණය කරමින්, තරුණ ක්‍රීඩකයින් රැසකට සිය දක්ෂතා දැක්වීම සඳහා මනා අවකාශයක් සලසාදීමට ද සමත් වීම සුවිශේෂී කරුණකි. මෙම තරගාවලියේ ශූරතාවය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC GREYS කණ්ඩායම විසින් දිනාගත් අතර, අනුශූරතාවය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු SLC REDS කණ්ඩායමට හිමි විය. අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ විරයා ලෙස පිළිවෙලින් SLC GREYS කණ්ඩායමේ මිනෝද් භානුක සහ දසුන් ශානක ඇගයීමට ලක්විය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී, ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.