අතන මෙතන

ඩයගම වතු කම්කරු නිවාස හයක් ගින්නෙන් විනාශයි

ආගරපතන, ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක 20 දා පෙරවරුවේ හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්ව ඇතැයි ඩයගම පොලීසිය පවසයි.

ගිනි ගැනීමට ලක් වු වතු නිවාස සම්පුර්ණයෙන්ම පිළිස්සීයාම නිසා වතු කම්කරු නිවාසයන්හී තිබු සියළුම භාණ්ඩ හා අනෙකුත් ලියකියවිලි විනාශයට පත්වු බව වතු කම්කරුවෝ පවසති.

නිවාස හයේ පදිංචිව සිටි පුද්ගලයන් 37 කු අවතැන් වු අතර, ඔවුන් ඩයගම නැගෙනහිර දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක තාවකාලික නවාතැන් ගැන්වීමට පියවර ගෙන තිබේ.. අවතැන් වුවන් අතර 17 කු පිරිමි පුද්ගලයන් වෙන අතර 11 කු කාන්තාවන්ය. අවතැන්ව සිටින පිරිස අතරේ ළමුන් නව දෙනෙකුද සිටිති.

ගිනිගැනීමෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්න ඇතිවන අවස්ථාවේ එම නිවාසවල පදිංචිකරුවන් අතරින් බහුතරයක් සේවයට ගොස් තිබිණ.

නිවෙස් හිමියන් හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මහත් පරිශ්‍රමයක් දරා පැය දෙකක පමණ කාලයකදී ගින්න පාලනය කිරිමට සමත් වී තිබේ.

ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව ඩයගම පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි.