විශේෂාංග

ඩමියාගේ ඡන්දය

ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ඡන්ද දායකයාට ලැබෙනු ඇත. ඒ ඡන්ද පත්‍රිකාවේ තිස්පස් දෙනකු අපේක්ෂකයෝ වෙති. විවිධ ඡන්ද ලකුණු, මාලිමා, පොහොට්ටු, හංසයෝ, ත්‍රීවීලර්, කතුරු, දුනු, ඊතල, පොල්ගෙඩි, ට්‍රැක්ටර් ආදී නොයෙක් දැයින් විසිතුරු වනු ඇත. ඡන්ද අපේක්ෂකයන් ගණන වැඩි වෙන්නට වැඩි වෙන්නට ඡන්ද ලාංඡනය හෙවත් ඡන්ද ලකුණු වැඩි වෙයි.

මේ නානාවිධ ලකුණු අතර එක ලකුණක්, ලාංඡනයක් ඡන්දදායක මනසේ නිදන්ගත කිරීම පහසු නොවේ. දින තිහක් තුළ එක ලකුණක් ජන මනසේ තැන්පත් කරවීමට බොහෝ දෑ කිරීමට සිදුවනු ඇත. එය තනි ප්‍රචාරක යුද්ධයක් වනු ඇත.

ජනාධිපතිවරණයට මේ තරම් පිරිසක් මෙවර නාමයෝජනා භාර දුන්නේ ඇයි? මේ ප්‍රශ්නයට උත්තර සෙවීම රසාලිප්තය. එසේම ර‌ටේ පවතින දේශපාලන ස්වභාවයද පෙන්වන්නකි. මේ නාම යෝජනා භාර දී ඇති දෙදෙනකු හැර සෙසු තිස්තුන් දෙනාම තමන් කොතරම් පිම්බුවත්, පිම්බුණත් ජනාධිපති වෙන්නේ නැති බව දනිති. එය එසේ නම් සෙසු තිස්තුන් දෙනාම ඉදිරිපත් වී හිඳින්නේ ජනාධිපති නොවන වෙනත් දෙයක් සාක්ෂාත් කර ගැනීමට බව නිසැකය.

ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට සූදානම් වූ නිසා නාගානන්ද මහතාට මිලියන එකොළහක මුදලක් ජනතාවගෙන් එකතු වූ බව ඔහු පිළිගනී. වරෙක ජනාධිපති අපේක්ෂකයකු, ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට මිලියනපතියකු වීමම මගක් බව පිළිගත්තේය. සෑම විටම සෑම ජනාධිපති අපේක්ෂකයකුටම එසේ නොවූවත් කාගේ හෝ ඩමියක වුවමනාවට ඉදිරිපත් වන්නෝ භාග්‍යවන්තයෝය. මක්නිසාද ඔවුනට එබඳු ලැබීමක් තිබෙන බැවිනි. ජනාධිපති ධුරයට ඉදිරිපත් වන්නකුට ලැබෙන මුදල්ද ඔහු කරන වියදම්ද ගණන් බලා අයවැය ඉදිරිපත් කරන්නේ නැත. ඒ ඒවායේ හැටිය.

ජනාධිපති අපේක්ෂකයකු හැමවිටම ඩමි අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ ඇයි? එයට තියෙන සරලම උත්තරය ඡන්ද කැඩීමය. ජනාධිපති අපේක්ෂකයකු ලෙස යමෙකු ඉදිරිපත් වුවහොත් ඔහුට ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත්වන අපේක්ෂකයන්ට ලැබෙන දේම ලැබෙයි. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉන්න කාලයේ තම හැඳුනුම්පත ඉදිරිපත් කර අත්‍යවශ්‍ය තැන්වලට යාමට ලැබෙයි. රජයේ ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් සමාන කාලයක් ජාතිය ඇමතීමට ලැබෙයි.

රජයේ ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් කාලය ලබා ගන්නා ඩමි අපේක්ෂකයා කතාකරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ගැන නොවේ. ඔහු වක්‍රව කතාව මගින් තමන් පෙනී සිටින අපේක්ෂකයා වෙනුවෙන් කතා කරයි. එසේම තමන්ගේ නියම අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා විනාශ කිරීමට චෝදනා කිරීමේ අවස්ථාව ලබා ගනී. ඔසී අබේගුණසේකරව යොදා ගත් ආර්. ප්‍රේමදාස තම ප්‍රතිවාදිනිය වූ සිරිමාවෝ මැතිනිය විනාශ කළේය. ඩමි අපේක්ෂකයාටද කාර්යාල පවත්වාගෙන යාමට නීතිමය අවසරය ලැබෙයි.ඩමියාගේ බලපත්‍රය පෙන්වා නියම අපේක්ෂකයාට තම වුවමනා ඉටුකර ගැනීමට කාර්යාල පහසුකම් ලබා ගත හැකිය. එම කාර්යාලවල පහසුකම් ලබා ගන්නේ නියම අපේක්ෂකයාය. ජනාධිපතිවරණ ඡන්දය ළං වෙද්දී ප්‍රසිද්ධ මහජන ක්‍රීඩාංගණ වෙන්කර ගැනීමටද ඇති වන්නේ තරගයකි. ඩමියා සාර්ථකව යොදා ගන්නා ප්‍රධාන අපේක්ෂකයා ඔහු නමින් ප්‍රසිද්ධ පිට්ටනි වෙන් කරවාගෙන ප්‍රතිවාදීන්ට ඒවා වෙන් කර ගැනීමට තිබෙන අවස්ථාව අහුරති.

ඩමි අපේක්ෂකයන්ගෙන් ඉතා වැදගත් සේවයක් ජනාධිපතිවරණය දාට ලබාගත හැකිය.

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද නිරීක්ෂණ කටයුතුවලට ප්‍රධාන අපේක්ෂකයාගෙන් නිරීක්ෂකයන් දෙදෙනකු ප්‍රමාණවත් නැති නම් ඩමියාගේ බලපත්‍රයෙන් ඔහු වෙනුවෙන් දෙදෙනකු යවා මෙම ඡන්දය නිරීක්ෂණය කරවාගත හැකිය. එසේම ඡන්දය ගණින තැනටද තම ඩමියාට ලැබෙන නිරීක්ෂකයන් ද යොදවා ඡන්ද ගණනයට යොදවා ගත හැකිය. ඡන්ද නිරීක්ෂණය මතු නොව ඡන්දය වෙනුවෙන් තේරීම්භාර නිලධාරීන්, ගණන් කරන නිලධාරීන් සමග වාද කිරීමට, හෙට්ටු කිරීමටද අවස්ථාව ලැබේ.

ජනාධිපතිවරණයක් දිනා ගැනීමට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතුය. මෙම ප්‍රචාරක ව්‍යාපෘති සකස් කිරීමේදී ප්‍රතිවාදී අපේක්ෂකයා හෑල්ලුවට ලක් කිරීමටත්, ඔහුගේ ඡන්දදායකයා විහිළුවක් බවට පත් කිරීමටත් ආදී බොහෝ දෑ සිදු වෙයි. ඒ සඳහා තෝරා ගැනෙන්නේ එම නමම තිබෙන තැනැත්තෙකි. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ නම් අයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙද්දී එසේ කෙරෙන්නේ ඩමි අපේක්ෂකයකු බව දැන මෛත්‍රීපාල සිරිසේනගේම වෙස් ගත් අතීත ග්‍රාම සේවකවරයකු වූ තැනැත්තකුද ජනාධිපති තනතුරට අයැදුම් කළේ ඩමි අවශ්‍යතාව වෙනුවෙනි.

ඩමි අපේක්ෂකයාගෙන් ලද හැකි විපුල ප්‍රයෝජනය වන්නේ ප්‍රතිවාදියාගේ ඡන්ද කැඩීමය. ප්‍රතිවාදියාගේ තමන්ට ස්පර්ශ කළ නොහැකි ප්‍රදේශ ස්පර්ශ කරවීමට ඩමියන් දැමීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ප්‍රතිවාදියාට තමන්ට නොලැබෙන දේශප්‍රේමී ඡන්ද වැටේ නම් දේශප්‍රේමය වෙනුවෙන් ඩමියක් දැමීම මේ ඡන්දයේ දැකගත හැකි වැදගත් ඩමි දැමීමකි.

මේ අනුව බැලූ කල ජනාධිපතිවරණයකදී ඩමිද නැතුවම බැරි දෙයක් වී ඇත්තේ ය. එය පෝස්ටර්, කටවුට්, වෙළෙඳ දැන්වීම් තරමටම වැදගත්ය. ජනතාවට ඉදිරියේදී ක්‍රියාත්මක වන ස්වරූපය අනුව ඩමි සේවය කරන්නේ කාට දැයි තේරුම්ගත හැකිවනු ඇත. එහෙත් ගැටලුව වන්නේ ඩමිවලටත් මහජන මුදල් වැය කරන්නට සිදුවීමය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටිය.