අතන මෙතන

ටියුෂන් ගුරුවරයා සිසුවකුගේ කටමිරිකා පෑනෙන් කළදේ

පස්ගොඩ රොටුඹ ප්‍ර‍දේශයේ උපකාර පන්ති ගුරුවරයකු සිසුවකුගේ කට මිරිකා කකුලට පෑනෙන් ඇනීම නිසා දරුවා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය පෙරේදා (28 දින) සිදුවී ඇත. රොටුඹ බදාදා මහජන පොළ අසල විද්‍යාව උගන්වන උපකාරක පන්තියට පැමිණි රොටුඹ විජයබා මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දියහිටිනාවල පදිංචි 11 හැවිරිදි ඔමාෂ දිනේන්ද හේවාපතිරණ ශිෂ්‍යයා මෙම සිද්ධියට මුහුණ පා ඇත. විද්‍යාව උගන්වන ගුරුවරයා දරුවාගේ කට මිරිකා, කකුලේ දණහිස පිටුපසට පෑනෙන් ඇන ඇති බව කියයි. දරුවා නිවසට ගොස් රාත්‍රි ආහාරද නොගෙන නින්දට ගොස් ඇත. දරුවාගේ මව හේතුව විමසීමේදී දරුවා අඬ අඬා උපකාරක පන්ති ගුරුවරයා පහරදුන් සිද්ධිය පවසා ඇත.

පෑනෙන් ඇනීම හේතුවෙන් තුවාල වී ලේ ගැලීමෙන් පසු ගුරුවරයා විසින් කකුලේ දිගට බේරී තිබූ ලේ පිස දැමූ බව පවසා ඇත. දරුවාගේ මව උපකාරක පන්ති ගුරුවරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා ඇත්තේ ‘මම හිතල කරපු වැඩක් නෙවෙයි, මගේ අතින් දරුවගේ කකුලේ පෑන ඇනුණා. මට ඒකට සමාවෙන්න’ කියා ඇති බවය. එදින රාත්‍රියේම මේ පිළිබඳව රොටුඹ පොලිසියට පැමිණිලි කර, දරුවා ඌරුබොක්ක, හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට දරුවා ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් රොටුඹ පොලිසිය පවසයි.

•ජයන්ත ගුණවර්ධන-ඌරුබොක්ක

•එම්. පියසේන-ගොමිල