ගොසිප්

ටිකෙන් ටික ලිහෙන ගැට

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ද මේ දිනවල කතාබහට ලක්වන්නේ ජොන්ස්ටන් මන්ත්‍රීවරයා වත්කම් බැරකම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීමත් සමගය.

ගරු සේවයක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිධුරයත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයත් හෙබවූ ගාමිණී සෙනරත් වැටුප් නොලබා එම ආයතන සඳහා සේවය කල බව පසුගියදා අධිකරණයේ සාක්ෂි විමසීම්වලදී හෙළිදරව් විය. එසේම සභාපතිවරයා ලෙස සෙනරත් මහතා පත් වීමෙන් අනතුරුව රුපියල් බිලියන 13ක් දක්වා සංස්ථාවේ ලාභය ඉහළ දැමීමට කටයුතු කර ඇති බවද එම සාක්ෂි අනුව අධිකරණයට අනාවරණය විය.

මේ තත්ත්වය යටතේ සෙනරත් මහතාටද බොහෝ දුරට අධිකරණය මගින් නිදහස හිමි වනු ඇතැයි දේශපාලන කරළියේ කතා බහක් සිදු වෙමින් පවතී. මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ගෙන්වමින් දිගින් දිගටම නඩු විභාගය සිදු කෙරෙමින් පවතී. මිට පෙර බන්ධනාගාර ගතවූ ඥානසාර හිමියන්ට නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන්ද කතා බහට ලක්වේ.

ඥානසාර හිමියන් බන්ධනාගාරගත වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතය. මේ වනවිට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකද අධිකරණයට අපහාස කිරීමට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. මේ අතර අගමැතිවරයාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව අභියානාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර 31 වැනිදා දැනුම් දුන්නේය.