විශේෂාංග

ජෝති-වි‌ජේ එක්ක ප්ලේන්ටියක් ගහමු

මම දුරකථන ඇමැතුමක් ගත්තෙමි. දුරකථනයේ නාදය වෙනුවට ඇසුණේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ “සිරියාමේ සාරා නැගේවී හද මෝරා ගීතයයි. මගේ ඇමැතුමට කිසිවෙක් කතා නොකළෙන් මම මග හැරුණු ඇමැතුම යළිත් අංකනය කළෙමි. එවිට ඇසෙන්නට ගත්තේ විජය කුමාරතුංගයන්ගේ ගී හඬයි. මේ උඩුබද්දාව හන්දියේ ජෝති-විජේ හෝටලයේ දුරකථනයයි. එහි යනෙන ඕනෑම මොහොතක එච්.ආර්. ජෝතිපාලගේ හෝ විජය කුමාරතුංගගේ ගීතයක් විකාශය වනු කෙනකුට අසන්නට හැකිය.

හෝටලයට ඇතුළු වන විට පෙනෙන බිත්ති තුනම සරසා තිබෙන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගෙ සහ විජය කුමාරතුංගයන්ගෙ රාමුකරන ලද පින්තූර වලිනි. මේ පර්චස් දෙකක් පමණ වූ ඉඩ කඩෙහි එම රාමු කළ සේයාරු එකසිය දහයක් එල්ලා තිබේ.

ජෝතිට හා විජේට බැඳුණු රසිකත්වයක් මේ හෝටලයට ලැබෙන්නේ කොහොමද කියා දැනගන්නට පුළුවන් වන්නේ මේ හෝටලයේ අයිතිකරු බන්දුල ජයසිංහගෙන්මය.

“උඩුබද්දාව කියන්නේ මගේ ගම. ඒත් මම දැන් පදිංචිවෙලා ඉන්නේ මෙතැන ඉඳලා කිලෝමීටරයක් විතර එහා නව ගම්මානේ. අපේ අම්මා තමයි මේ හෝටලය පටන් අරන් මුලින්ම කළේ. හැබැයි එතකොට නම් හෝටලේ නම මේක නෙවෙයි.”

බන්දුලගේ අම්මා ආර්.ඩී. සීතම්මාය. ඇගේ සැමියා ජී.එම්. පුංචි බණ්ඩා ජීවිතය හැරයන්නේ පවුලේ තුන්වැන්නා ලෙස 1966 සැප්තැම්බර් 09 වැනිදා උපන් බන්දුල සේම තවත් බාල දරුවන් දෙදෙනෙකුන් කුඩා වියේදීය. තාත්තා අහිමි දරුවන් පස්දෙනෙකු ජීවත් කරවන්නට පොළෙන් පොළට ඇවිද ඇය එළවළු විකුන්නාය. අම්මා සල්ලි හොයන්නට වෙන වෙහෙස බන්දුලට හොඳින්ම දැනුන නිසා ඔහු 7 වසරේදී පාසල් අධ්‍යාපනයට තිත තැබුවේය. ඒ වෙනුවට ඔහු උඩුබද්දාව, දුම්මලසූරිය, කුලියාපිටිය වැනි මහජන පොළවල පුවක් විකුණන්නට ‍යන්නට ගත්තේය. ඒ කාලයේ ශ්‍රී ලංකා ගුවන්විදුලයේ වෙළඳ සේවයෙන් එච්.ආර්. ජෝතිපාලගෙ ගීත හරි හරියට විකාශය වුණේය. ඒවා අසවල් චිත්‍රපටයේ ගීත කියා ද එහි රඟපාන්නේ විජය කුමාරතුංග කියා ද දැනගත් කල ඔහුට චිත්‍රපට පිස්සුවකුත් තදින්ම වැලඳුණේය.

“ඒ කාලේ ආපු එක චිත්‍රපටයක්වත් මම අතෑරියේ නෑ. සියල්ලම බැලුවා. විජය කුමාරතුංග රඟපානව නම්, එච්.ආර්. ජෝතිපාල සිංදු කියනව නම් එච්චරයි මට ඕන වුණේ.

“ඒ කාලයේම ඔහු සරසවිය පුවත්පතේ පාඨකයෙක් බවටත් පත්වුණේය. ඒ එච් ආර්. ජෝතිපාලගේ සහ විජය කුමාරතුංගගෙ සේයාරූවෙන් එහි කවර හා ඇතුළු පිටු සැරසී ඇති බැවිනි.

“මම සරසවිය ගත්තෙම ඔය පින්තූර තියෙන නිසා. විජය කුමාරතුංග මහත්තයාගෙයි ජෝතිපාල මහත්තයාගෙයි පින්තූර මම පරිස්සමට අරං තිබ්බා, ඒ කාලේම. ෆයිල් කවරවල දාලා මම නිදියන මෙට්ටේ යට තමයි තිබ්බේ.

ඒ කාලේ මට සිංදු අහන්න ක්‍රමයක් තිබ්බෙ නෑ. උඩුබද්දාව හන්දියේ බාබර් සාප්පුවක් තිබ්බා. මට මතකයි ඒ සැලෝන් එකේ තිබ්බා නැෂනල් පැනසොනික් රේඩියෝවක්. ඒකෙ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවය සද්දෙට දාලා තියෙනවා. මම ඉතින් එතනට යන්නෙම ජෝතිපාල මහත්තයගෙ හරි විජය කුමාරතුංග මහත්තයගෙ හරි සිංදු අහන්න. එහෙම අහලම මට සිංදු ගොඩක් කට පාඩම් වුණා. අදටත් ජෝතිගෙ සිංදු පන්සීයක් විතර මට කටපාඩම්. විජයගෙ සිංදුත් එකක් දෙකක් හැර ඔක්කොම වගේ කට පාඩම්”

බන්දුල පොළවල් ගානේ පුවක් විකුණන වැඩේට අවුරුදු කීපයකින් සමු දෙන්නේය. නව යොවුන් හෙතෙම නිව් බර්නාඩ් සත්ව ආහාර නිෂ්පාදන ආයතනයෙ කම්කරුවෙකු ලෙස සේවයට එක් වුණේය. ‍රැකියාව කරද්දී ඔහු තම වැඩිමල් සොයුරා දීග ගිය රබ්බොඩල්ල රීදිගමින්ම මනාලියක කැන්දාගෙන ආවාය. ඉතා ධෛර්යසම්පන්න බිරිඳක් වූ බන්දුලගෙ මනාලිය බන්දුල සමග ජීවිතේ දිනන සටන ආරම්භ කළාය. 1993 ඔවුන්ට පුතකු උපන් අතර බන්දුලගෙ බිරිඳ මැදපෙරදිග රැකියාවක් බලා යන්නෙ සිය පුතු සැමියාටත්, සැමියාගෙ මවටත් භාර කරමිනි.

“හරියටම අවුරුදු දෙකකින් නෝනා ආවා. එයා ඒ රස්සාවෙන් ඉතිරි කළ මුදලින් අපි උඩුබද්දාවෙ මේ කඩ කාමරය ගත්තා. එහෙම අරගෙන අපේ අම්මට බාර දුන්නා තේ කඩේ කරගෙන යන්න. මගේ සහෝදරියන් කෑම වර්ග හදලා කඩේට දැම්මා. හෝටලයට ඒ වෙලාවේ දැම්මෙ අපේ දුවගෙ නම. ඒ අප්සරා හෝටලය කියලා.”

බන්දුලගෙ අම්මා අප්සරා හෝටලය කරගෙන යද්දි බන්දුල බර වාහන රියැදුරෙකු ලෙස සත්ත්ව ආහාර රට පුරා බෙදාහරින රස්සාවක් කරන්නට ගත්තේය. 2016 වසරේදි අම්මාට කඩය කරගෙන යාමේ අපහසුකම් ආවේය. ඒ නිසා රැකියාවෙන් ඉවත් වී ගමේ නැවතුන බන්දුල රියැදුරු රස්සාවට සමුදි හෝටලය කරන්න භාරගත්තේය.

“ මට ඕන වුණා අම්මා කඩේ කළාට වඩා වඩා අලුත් විදිහකට කඩේ කරන්න. අලුත්ම සැලසුමකුත් ඒ වෙනකොට මගේ හිතේ ඇතිවෙලා තිබුණා. ඒ හින්දා මම අම්මාගෙන් කඩේ ලැබුණම ගොඩාක් අලුත්වැඩියා කළා. ලොකු වියදමක් ඒකට දරන්න වුණා. කඩේට අලුතෙන්න්ම නමක් දැම්මා ඒ මම එදා ඉඳලම ආදරේ කරන නම් දෙක එකතු කරලා ජෝති විජය හෝටලය කියලා.”

බන්දුල ජයසිංහ විසින් තරුණ වියේදී එකතුකළ විජයගේ සහ ජෝතිපාලගේ පින්තූර “ජෝති විජේ” හෝටලය දැමීමේදී රුපියල් ලක්ෂයකට වඩා වියදම් කොට රාමු කර කඩේ ඉස්සරහට පේන බිත්ති තුනේම එල්ලුවේය. ඒ වටිනා ඡායාරූප එකතුව නිසා ජෝති විජේ හෝටලය ඡායාරූප පිරි කලාගාරයක් බඳු විය. ජය අපටයි, මරුවා සමග වාසේ, රන්මුතු දූව, ඔබටයි ප්‍රියේ ආදරේ වැනි චිත්‍රපටයන්හි ගී පමණක් නොව චිත්‍රපට කතාවද ඔහුට හොඳින් මතකයේ තිබේ. ඒ එකකි. මේ අයුරින් ඔහු බැලූ ජෝති විජය සුසංයෝගයේ බොහෝ චිත්‍රපට ඔහුට හොඳින් මතකය. ජෝති විජේ හෝටලයේ ඉතාම සාධාරණ මිල ගණන් යටතේ ධාර්මික වෙළෙඳාමක ඔහු නිරත වී සිටින්නේය.

උඩුබද්දාව ජෝති විජේ හෝටලයේ කහට කෝප්පයක් හකුරු කෑල්ලක් සමග රුපියල් 05කි. ප්ලෙන්ටියක් රුපියල් 10කි. උදෑසන සහ දවල් ආහාර එහි තිබේ. ඒවා සියල්ල නිවසේ හදාගෙන හෝටලයට ගෙන ඒ. සවස තේ සඳහා කැවිලි වර්ගද තිබේ. රාත්‍රී හත පමණ වනවිට ජෝති විජය හෝටලය වසාදැමෙන්නේ එතෙක් එච්.ආර්. ජෝතිපාලගෙ හා විජය කුමාරතුංගගෙ ගී පමණක් වාදනය වූ යන්ත්‍රද නිවා දමමිනි. එලඹෙන උදෑසන නැවුම් දවසක් වුවද උදෑසන පිරිත් ඇසීමෙන් පසු ආයේත් මේ හෝටලයේදි අසන්නට ලැබෙන්නෙ ජෝතිපාලගෙ සහ විජය කුමාරතුංගගෙ ගී පමණි. බන්දුල සතුව ජෝතිපාලගෙ ගී පමණක් හාරදහස ඉක්මවා තිබේ.

’’ඔය මගුල් ගෙවල්වලදි කොටහලු මඟුල්වලදි එහෙම ජෝතිපාල මහත්තයාගෙ විජය කුමාරතුංග මහත්තයාගෙ සිංදුවක් කියන්නත් මට ආරාධනා ලැබෙනවා. මට ඔය දෙන්නගෙම සිංදු කියන්නත් පුළුවන්. ඒ කාලේ මට ජෝතිපාල මහත්තයයි විජය කුමාරතුංග මහත්තයයි හමුවෙලා දැකලා කතා කරන්න පුදුම ඕනකමක් ආසාවක් තිබ්බා. එකවතාවක් විජය කුමාරතුංග චිත්‍රපටියක් කරන්න නාත්තණ්ඩියට ආව වෙලේ ගියා. කොහෙද කිට්ටු කරන්නවත් බැරිවුණා කතා කරන්න. හැබැයි දැක්කා. ජෝතිපාල මහත්තයත් ඒ වගෙයි. දවසක් උඩුබද්දාවේ අපේ ගමේ සංගීත ප්‍රසංගයකට ජෝතිපාල මහත්තයා ආවා. ස්ටේජ් එක ළඟටවත් යන්න බැරිවුණා. ඒතරම් සෙනග. හැබැයි එයත් දැක්කා. ඒකත් සතුටක් ඉතින්..”

ජෝතිපාලයන්ට සහ විජය කුමාරතුංග කලාකරුවාට බන්දුලගේ ඇති මේ අප්‍රමාණ වූ ආදරණීය රසිකත්වය දකින්නට අද මේ දෙපළ ජීවතුන් අතර සිටියේ නම් බන්දුල ගැන ඔවුන් නොඅනුමානවම අපමණක් සතුටුවනවා ඇත.

ජයන්ත සුබසිංහ