brand logo
logo

ජේ.ආර්. හා චන්ද්‍රිකා මැයි දින සැමරුම් තහනම් කළ හැටි

30 April 2019

පසුගිය ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයන් හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන අනාරක්ෂිත භාවය නිසා මැයි දින පෙළපාළි නොපැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර ඇත. මෙම ලිපියෙන් සිහිපත් කෙරෙන්නේ මීට පෙර ආණ්ඩුව විසින් මැයි පෙළපාළි තහනම් කළ අවස්ථා දෙකක් පිළිබඳවය. ඒ 1987 වසරයි. ලෝක කම්කරු දින ශත සංවත්සරය යෙදී තිබුණේ ඒ වසරේ මැයි 01දාටය. ඒ අනුව ශ්‍රී ලංකාවේද වැඩ කරන ජනතාව ඒ වසරේ මැයි දින සැමරුම මහ ඉහළින් සමරන්නට සූදානමින් සිටියහ. ඒ වන විට උතුරේ ත්‍රස්තවාදය මගින් රට තුළ භීෂණකාරී වාතාවරණයක් නිර්මාණය කර තිබූ නමුත් වෘත්තීය සමිති හා එයට නායකත්වය දුන් දේශපාලන පක්ෂත් මැයි දින සැමරුමට සූදානම් වෙමින් සිටියෝය. එසේ වුවත් එවකට බලයේ සිටි ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව ලෝක කම්කරු දින සැමරුම තහනම් කරන බව නිවේදනය කළේ වෘත්තීය සමිති දේශපාලන පක්ෂ මෙන්ම වැඩ කරන ජනතාවද විමතියට පත්කරමිනි. ජේ.ආර්.ගේ එජාප ආණ්ඩුව හදිසි නීතිය යොදා ගනිමින් මැයි දින සැමරුම් හා පෙළපාළි තහනම් කළද කොළඹ නගර මධ්‍යයෙහි මැයි දින සැමරුම් රැලියක් පැවැත්වීමට ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා නව සම සමාජ පක්ෂය යන වමේ පක්ෂ සංවිධානය වූ අතර මැයි දින සැමරුම් රැලියට පෙර හදිසි නීතිය නොතකමින් මැයි දින පෙළපාළියක් පැවැත්වීමටද තීරණය කළේය. ඒ අනුව ආණ්ඩුවේ මර්දන නීති නොතකා වැඩ කරන ජනතාව පෙරටු කරගත් මැයි පෙළපාළිය පැවැත්වුණේ කොළඹ යුනියන් පෙදෙසේ මහා මාර්ගයේය. පෙළපාළිය කොම්පඤ්ඤවීදියේ සිට ඉබ්බන්වල හන්දිය දක්වා පැමිණියේ පොලිස් බාධකද නොතකමිනි. හදිසි නීතිය උපයෝගි කර ගනිමින් මැයි දින පෙළපාළි නැවැත්වීමට කටයුතු කළ එජාප ආණ්ඩුව ඇඳිරි නීතියද පැනවීමට කටයුතු කළහ. හදිසි නීතිය පමණක් නොව ඇඳිරි නීතිය නොතකමින් කොම්පඤ්ඤවීදිය, ඇස්වාට්ටුව, මරදාන, යන ප්‍රදේශවලින් යුනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියට අති විශාල පිරිසක් එක්වී මැයි දිනය සමරද්දී එහි යොදා තිබුණු පොලිසිය පෙළපාළියේ පැමිණි ජනතාවට පහර දුන්හ. පොලිස් පහර නොතකමින් ජනතාව ලංකා සම සමාජ මූලස්ථානය ඉදිරිපිට යුනියන් පෙදෙසේ මහා මාර්ගය මැද සංවිධානය කර තිබූ මැයි රැලියට එක්වූහ. ලංකා සමසමාජ මූලස්ථානයෙන් ගෙනවිත් තිබූ මේසයක් වේදිකාව බවට පත්ව තිබූ අතර, ලසසප නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, කොමියුනිස්ට් පක්ෂයේ නායක පීටර් කෙනමන් ශ්‍රී ලංකා මහජන පක්ෂ නායක විජය කුමාරතුංග සහ නව සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයන් සිටියේ එම මේසය මතය. පොලිසිය ඔවුන්ටද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ පාදයකට තුවාල සිදු වූ අතර ඔහු මිය යන තෙක්ම ඉන් පීඩා වින්දේය. පහර කමින් කඳුළු ගෑස් ප්‍රහාරවලට මුහුණ දෙමින් ජනතාව හිස් ලූ ලූ අත දිවයද්දී සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් වෙතට ළඟාවූ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මෝටර් රථයේ දොරකවුළු විවෘත කිරීමට උත්සාහ දැරූ නමුත් මෝටර් රථය තුළ සිටි අය වාහනයේ දොරගුළු ලාගෙන සිටි බැවින් විවෘත කිරීමට නොහැකි විය. ‘‘දොරවල් අරිනවා නැත්තං වීදුරු කඩලා දොරවල් අරිනවා’’ යැයි පොලිස් නිලධාරීහු බෙරිහන් දුන්හ. ඔවුන් කිවූ ලෙසින්ම පොලිස් නිලධාරියකු වාහනයේ වීදුරුවක් බිඳ දොරවල් විවෘත කර එහි සිටි කාන්තාවක බිමට ඇද දැම්මේය. ඒ අන් කවුරුත් නොව කඳුළු ගෑස් ප්‍රහාරයෙන් බේරීම සඳහා වාහනය තුළට වී සිටි චන්ද්‍රිකා කුමාරතුංගය. කාරයෙන් එළියට ඇද දැමූ චන්ද්‍රිකා කුමාරතුංග කඳුළු ගෑස් හා පොලිස් බැටන් ප්‍රහාරයෙන් බේරීමට අසල වූ සම සමාජ පක්ෂ කාර්යාලයට පැන ගත්තාය. ආණ්ඩුවේ මැයි දින තහනම නොතකා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මැයි දින රැස්වීමකට පොලිසිය වෙඩි තැබූ අතර, ඉන් කිත්සිරිමෙවන් රණවක හා ලෙස්ලි ආනන්දලාල් යන දෙදෙනා මිය ගියහ. මෙරට ඉතිහාසය තුළ දෙවැනි වරට මැයි දිනය තහනම් වන්නේ 1996දීය. ඒ තහනම පැනවෙන්නේ 1987 ජේ.ආර්. ආණ්ඩුවේ මැයි දින තහනමට එරෙහිව ගොස් පොලිසියේ ‘‘සංග්‍රහයක්’’ ද ලැබූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව මගින් වීම දෛවයේ සරදමක් බඳුය. දිනය 1996 මැයි පළමු වැනිදාය. ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයෙන් කොළඹ කැම්බල් පිටියෙන්ද නව සම සමාජ පක්ෂයේ නායකත්වයෙන් කොම්පඤ්ඤ වීදියේ ඩිමෙල් පිටියෙන්ද ලංකා වෙළෙඳ සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය හා තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඒකාබද්ධව කොළඹ නිව්හැම් පිටියේ සිට හයිඩ්පිටිය දක්වාද හදිසි නීති මර්දනය නොතකමින් එදින පෙළපාළි ගියහ. කොම්පඤ්ඤ වීදියේ ඩිමෙල් පිටිය වටා දහසක් පමණ වූ පොලිස් බලඇණියක් සීරුවෙන් රඳවා තිබුණි. නව සමසමාජ පක්ෂයේ නායකත්වයෙන් මැයි රැලියට සහභාගි වීමට පැමිණි පිරිසත් පොලිසියේ උදවියත් එදින දහවල් එක පමණ වන තෙක් දිවා ආහාරය ගත්තේ ආර්.ඒ. ද මැල් මාවතේ දොර හැර තිබූ එකම හෝටලයකිනි. හෝටලය තුළ පොලිස් නිල ඇඳුම් මෙන්ම රතුකමිසකාරයන්ද සුහද කතා බහින් සිනාසෙමින් එකටම ආහාර ගත්හ. විනාඩි 15 ගත වෙන්නට මත්තෙන් තත්ත්වය වෙනස් විය. රතු කමිසකරුවන් හා රැස්ව සිටි පිරිස් තම බැනර් කොඩි සටන් පාඨ පුවරු ඔසවාගෙන පෙළපාළි යන්නට මාර්ගයට පිළිපන්නේය. රැස්ව සිටි පිරිස හා නව සමසමාජ නායකයන් පෙරටු කරගත් පෙළපාළියේ මුල් කොටස් ගමන් ඇරඹීය. පොලිසියේ පිරිස හෙල්මට් පැලඳ ගත්හ. බැටන් පොලු සහ කුළු අතට ගත්හ. කඳුළු ගෑස් කණ්ඩායම් තම ගෑස් තුවක්කු සූදානම් කර ගත්හ. සෙසු පොලිස් පිරිස සීරුවෙන් පාර දෙපසද මැදද සිට ගත්හ. පෙළපාළියේ මුල් කොටස උසස් පොලිස් නිලධාරීන් හා වාද කරමින් ඔවුන්ව පිටුපසට තල්ලු කරමින් තරමක් ඉදිරියට ගියේය. පෙළපාළියේ පසු කොටස ඩිමෙල් පිටියෙන් පිටතට ඒම වැළැක්වීම පොලිසියේ බලාපොරොත්තුව විය. මාර්ගය හරහා පොලිස් වැටක් බැඳුණි. මොහොතකින් එය පොලිස් පවුරක් බවට පත්විය. මැයි දින පෙළපාළි තහනම සංකේතවත් කරමින් මිනී පෙට්ටියක් ඔසවා ගත් තරුණ රතු කමිසකරුවන් පිරිසක් පෙරටු කොට ගත් වැඩ කරන ජනතාවගෙන් පිරිසක් සටන් පාඨ කියමින් ඉදිරියට ඒමට තැත් දරනු පෙනිණි. පොලිස් පවුර අබියසදී පියන ඇරී මිනී පෙට්ටිය මිනිස් හිස් මතින් ඈතට ගසා ගෙන ගියේය. පියන පොලිස් නිලධාරීන් අතටත් පෙට්ටිය වැඩකරන ජනතාව අතටත් ගියේය. වැඩ කරන ජනතාව අත වූ බැනර් හා සටන් පාඨ පුවරු උදුරා ගැනීමට පොලිසිය එම අවස්ථාවේදී තැත් කළේය. පොලිසියේ ක්‍රියාපිළිවෙතට විරුද්ධව පිරිස එකාවන්ව පොලිස් බලයට එරෙහිව නැගී සිටියේය. පොලිසිය පිරිසට පහර දෙන්නට පටන් ගත්තේ එවිටය. බැටන් පොලු, බැනර් පොලු පමණක් නොව අසල ගස්වලින් කඩා ගත් මුගුරුද කැඩී බිඳී ගිය මිනී පෙට්ටියේ කැබැලිවලින්ද පොලිසිය පිරිසට එළවා එළවා පහර දෙන්නට විය. කොම්පඤ්ඤ වීදිය හන්දියේ සිට පාරවල් හයක් සය අතකට විහිදෙයි. යුනියන් පෙදෙස ආර්.ඒ. ද මැල් මාවත, හා පල්ලිය පාර පැත්තට යා ගන්නට කිසිවකුට හැකියාවක් තිබුණේ නැත. පොලිසිය ඒ පාරවල් තුනම අසුරා බැට දෙන්නට බලා සිටියහ. කොටුව පැත්තට යා ගන්නට නොහැකිවන ලෙස විසල් පොලිස් රථයක් පාර අවුරා සිටියේය. පහර කෑවුන්ට හිස් ලූ ලූ අත දුවන්නට පවා ඉඩක් නැති වන පරිදි බැලු බැලූ විට හැම තැනම සිටියේ පොලිසියයි. දිව යා හැකිව තිබුණේ ආපසු ඩිමෙල් පිටිය වෙත පමණකි. ඩිමෙල් පිටියේ කුඩා දොරටුව කිසි ලෙසකින් ඒ ජනකායට ඇතුළු වෙන්නට ප්‍රමාණවත් නොවීය. දොරටුව අසල ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු පිරිසටද පොලිසිය පහර දුන්හ. ඩිමෙල් පිටියට ඇතුළු වීමට පොරකන මිනිස් පොදියට ඉහළින් දකින්නට තිබුණේ යන්ත්‍රානුසාරයෙන් මෙන් ඉහළ පහළ යන බැටන් පොලුත් දත් මිටි කා ගත් හෙල්මට් පැලඳි පොලිස් භටයන්ගේ මුහුණු හා ලේත් පමණකි. ලංකා සම සමාජ පක්ෂය කොළඹ කැම්බල් පිටියෙන් සිය පෙළපාළිය පිටත් වීම පිණිස බේස්ලයින් මාවතට පිවිසෙද්දී එයට හරස් වූ පොලිසිය පෙළපාළි යාමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කොට තිබුණි. ලසසප නායකයන් පොලිසිය හා ගැටී පොලිස් බාධක මැඬගෙන පෙළපාළිය මහමගට ගෙන එද්දී පෙළපාළිය නතර කිරීමේ උත්සාහයක් ලෙස පොලිසිය කඩින් කඩ පිරිස එවිමට උත්සාහ ගත් නමුත් එයද වළකාගෙන බොරැල්ල හන්දිය හරහා මරදාන හන්දියට පැමිණි අවස්ථාවේ කඳුළු ගෑස් තුවක්කු හා බැටන් පොලු රැගෙන පැමිණි පොලිසිය පෙළපාළිය එහිදී නතර කිරීමට උත්සාහ ගත් විට පෙළපාළිකරුවෝ පොලිස් බාධක බිඳ ඉදිරියට ගියෝය. පෙළපාළි වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ද මරදානින් වූ පොලිස් හරස් කිරීම්වලට වැඩ කරන ජනතාව හා එකමුතුව මුහුණ දුන්හ. හදිසි නීති මර්දන නියෝග නොතකමින් හා තහනම නොතකා කොළඹ නගර සභා පිටිය දක්වා ගිය එම පෙළපාළිය නගර සභාව ඉදිරිපිට මැද පාරේදී පුංචි රැස්වීමක් පවත්වා නිම කරන ලදී. පෙළපාළිය එහි පැමිණි විට හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක එවක කම්කරු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ පෙළපාළිය පිළිගැනීම රැස්ව සිටි පිරිස උද්යෝගයට පත් කළ විශේෂිත සිදුවීමක් විය. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව විසින් 1996 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මැයි පෙළපාළි තහනම් කෙරෙන හදිසි නීති නියෝගයේ ලොකුම විහිළුව දිස්වූයේ ලංකා වෙළෙඳ සේවක, බැංකු සේවක හා තැපැල් පෙරමුණු ඒකාබද්ධ පෙළපාළියේය. හදිසි නීති නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියද එම පෙළපාළියේ පෙළපාළිකරුවන් අතර ගමන් කිරීම පොලිස් භටයෝද තහනම් මැයි දිනය සැමරීමට ආණ්ඩුවේ නීති කඩාගෙන පෙළපාළි යාමක් බඳු විය. හදිසි නීතිය යටතේ පෙළපාළි තහනම් කළේ ආරක්ෂක හේතූන් මත යැයි රජය නිදහසට කී කරුණුය. එහෙත් මේ පෙළපාළිකරුවන් ගෙන ගිය බැනරයක් ගලවා සටන් පාඨ පුවරුද බලහත්කාරයෙන් උදුරා විනාශ කරන ලදී. පෙළපාළිකරුවන් සටන් පාඨ කීමද නතර කළේය. පෙළපාළිකරුවන්ට හා පොලිස් භටයන්ද ගමන් කිරීම චන්ද්‍රිකාගේ ආණ්ඩුව ජනතාව රැවටීමට කියූ බොරුව අතේ පැළවෙන බොරුවක් බවට පත් විය. ජේ.ආර්.ගේ මැයි දින තහනම නොතකා පෙළපාළි ගිය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය මෙවර සිටියේ ආණ්ඩුව සමගය. ආණ්ඩුවේ තහනම නොතකා මැයි දින සැමරුමට එක් වූ පෙළපාළිකරුවන් පෙළපාළි බලන්නට මාර්ගයට පැමිණ සිටි මේ පක්ෂවල නායකයන්ට ‘‘එන්න යන්න අපිත් එක්ක’’ යැයි කෑකෝ ගැසීම විශේෂිත සිදුවීමක් විය. රංජිත් ගුණවර්ධන [caption id="attachment_27991" align="alignnone" width="800"] ජේ. ආර් ගේ තහනම නොතකා පැවැති මැයි රැළිය අමතන මාදුළුවාවේ සෝබිත හිමියන්[/caption] [caption id="attachment_27992" align="alignnone" width="800"] චන්ද්‍රිකා රජය තහනම් කළ මැයි රැලියට සහභාගි වූ පෙළපාළිකරුවන් සමග එවක කම්කරු අමාත්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ[/caption] [caption id="attachment_27995" align="alignnone" width="800"] 1987 ජේ.ආර්. ගේ රජය තහනම් කළ මැයි රැලියේදී තුවාල ලබා රෝහල්ගත කළ සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා[/caption] [caption id="attachment_27993" align="alignnone" width="800"] 96 චන්ද්‍රිකාගේ රජය තහනම් කළ මැයි පෙළපාළියේ පොලිස් භටයන්ද ගමන් කළ අයුරු[/caption] [caption id="attachment_27994" align="alignnone" width="800"] 87 ජේ.ආර්. ගේ තහනම් මැයි රැලියට සහභාගි වූ වමේ පක්ෂ නායකයින්[/caption] [caption id="attachment_27996" align="alignnone" width="800"] පොලිස් වෙඩිතැබීමෙන් මියගිය කිත්සිරිමෙවන් රණවක[/caption] [caption id="attachment_27997" align="alignnone" width="800"] පොලිස් වෙඩිතැබීමෙන් මියගිය ලෙස්ලි ආනන්දලාල්[/caption]
 

More News..