විශේෂාංග

ජේලර් මරන බවට බන්ධනාගාර මූලස්ථානයේදී ලොක්කෙක් කලින්ම කියලා

බන්ධනාගාරය හා සිරකරුවන් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වූ බැඳීමකි. එම බැඳීම, හොඳට හොඳ වගේම නරකටත් එසේමය.

පසුගිය සතියේ බන්ධනාගාර නිලධාරියකුගේ ජීවිතයක් බිලිගනිමින් එළිපිට පුපුරා ගියේ එකිනෙකාට වූ බැඳීමෙන් එළියට ගොස් ඇරඹුණු පලිගැනීමේ රැල්ලකි.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචි රුවන් ජයරත්න ඉකුත් සති අන්තයේදී පාතාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්වන්නේ හිරගෙදර ඇරඹී තිබුණු යටිකූට්ටු සැලසුමක ප්‍රතිඵලයක් වශයෙනි.

වෙනමම සංස්කෘතියක් යටතේ පාලනය වන හිරගෙදර වාට්ටු තුළ ක්‍රියාත්මක වන්නේ පාතාලයේ බලපරාක්‍රමයයි. ආණ්ඩු මාරුවන විට පාතාලයේ බලයද එකිනෙකාට මාරුවීම හිරගෙදර ස්වභාවයයි. හිරගෙදර සිටියත් පාතාලය ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයටය.

වරෙක වැලිකඩ හිරගෙදර සිටින රණාලේ සමයංට 3G වර්ගයේ දුරකථනයක් යවා තිබුණේ සමයංගේ සහායෙන් ඡන්ද ගොඩ හදාගත් දේශපාලනඥයෙකි.

අප මේ කියන්නට යන්නේ දකුණේ පාතාලයන් හිරගෙදර රජකරමින් බන්ධනාගාර නිලධාරියකු ඝාතනය කරන්නට තරම් දුරදිග ගිය කතාවයි.

ගාල්ල බන්ධනාගාරය මේ සියල්ලටම පාදක වූ පාතාලයේ තෝතැන්නයි.

තෙල්වත්තේ පොඩි ලැසී, රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරුවාය. එම ඝාතනයෙන් පසුව තමන්ටද මරණ වරෙන්තුව හඹාගෙන එන බව ඔහුට දැනුණි. ඒ තොරතුරු ගලා ආවේ හිර ගෙදරටය. මනෝජ් මෙන්ඩිස්ගේ සගයන් සැලසුම් කළේ තම සගයා මැරූ පලිය ගන්නටය. පොඩි ලැසියා මරා දමන්නටය.

නමුත් ඒ වන විට ලැසීට සිර ගෙදර බලය වැඩි විය. කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතනය ඇතුළුව ඝාතන වැලකට සම්බන්ධ කරන්දෙණිය සුද්දා, ලැසියාට වූ ප්‍රබලම හයිය විය. ලැසියාට හිතවත් සියලු දෙනා වැඩ කළේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්ගොඩ සුජීගේ පාතාල කණ්ඩායම්වල සහාය යටතේය.

තෙල්වත්තේ පොඩි ලැසී හිරෙන් ඇප ලබා නිදහස්ව පැමිණි මොහොතේ ගාලු කොටුව තුළින් ඇතුළට ගොස් බෝට්ටුවකින් ගැඹුරු මුහුදට ගෙනියන්නේත් ලැසීට අතරමගදී වැඩක් දෙන්නට මෙන්ඩිස්ගේ ගෝලයන් වෙර දැරූ නිසාය.

මෙන්ඩිස්ගේ ගෝලයන්ගෙන් බේරී අම්බලන්ගොඩ දෙසින් මුහුදෙන් බැසවිත් ගොඩබිමට එන්නට රැකවරණය දෙන්නේ කොස්ගොඩ සුජීගේ කීමටය. ඩුබායි සිට දකුණේ ගෝඩ් ෆාදර් වන්නට වෙරදැරූ සුජීට දකුණේ වැඩවලට ලැසියා අත්‍යවශ්‍ය චරිතයක් වූ නිසා ලැසියාට මුහුදේදීත් රැකවල් දුන්නේය.

ඉන්පසු සුජීගේ කීමට පාතාල කොන්ත්‍රාත් රැසක් මෙහෙයවූ පොඩි ලැසී යළිත් සිරගත වී ගාල්ල බන්ධනාගාරයේ සිටම අපරාධ රැල්ල යළි ක්‍රියාත්මක කළේ ය. ලැසීට තම ජාවාරම් කරගෙන යාමට ගාල්ල හිරගෙදරින් ලැබුණේ එසේ මෙසේ නිදහසක් නම් නොවන බව කවුරුත් දන්නේය. හිරගෙදරට ලැසීට කාන්තාවක හැරෙන්නට ඕනෑම දෙයක් ගෙන ඒමට අවසර තිබිණි. ත්‍රීජී වර්ගයේ දුරකථන තබාගෙන දකුණේ හෙරොයින් බෙදා හරින ජාලය ලැසී කරගෙන ගියේය. ලැසීගේ අණට කීකරු වූ ගෝලයන් දකුණටම කුඩු වික්කාහ. ලැසී දෙන නියෝගවලට කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරන්නටද වූහ.

ලැසී හිරගෙදරට දෙවැනි වරට එන්නට පෙර සුජීගේ කල්ලියේ කොන්ත්‍රාත් කිහිපයක්ම ඉටුකර දුන්නේය. කරන්දෙණියේ සුද්දාගේ කීමට අම්බලන්ගොඩ මාදම්පේ එකම පවුලේ දරුවාත්, මවත්, පියාත්, ඝාතනය කරන්නේ පොඩි ලැසී හා කනංකේ කුමාර එක්වය. මීටියාගොඩ පලතුරු ප්‍රියන්තට වෙඩි තබා ඝාතනය කරන්නේත් මෙම දෙපළමය.

කරන්දෙණිය සුද්දාගේ කීමට නොමිලේම ඝාතන පෙළක් කරදුන් ලැසියා හිරගෙදරට ගිය පසුව සුද්දාගේ සහායෙන් තම ප්‍රතිවාදියා වූ ප්‍රියන්ත රන්දුණුව ඝාතනය කරවන්නේය. වැල්ලේ සුරේන් නමැති පාතාලයාගේ සහාය මැද ලැසී තම ප්‍රතිවාදියාව ඝාතනය කරවන්නේ තමාට දකුණේදී තිබූ අවසන් අභියෝගයත් අහවර කරමින්ය.

ගාල්ල හිරගෙදර සිට රිසිසේ ඝාතන රැල්ල හා කුඩු ජාවාරම කරගෙන ගිය ලැසී දිනකට ලක්ෂ ගණනින් මුදල් ද උපයා ගත්තේය. මේ සියලු කාරණාවලට ගාල්ලේ හිරගෙදර ප්‍රධානීන්ගෙන් ලැසීට තිබුණේ ඉමහත් සහායකි. ලැසී ඒ වෙනුවෙන් ලොක්කන්ට ඇති තරම් වියදම් කළේය. එක් ලොක්කෙකුට දකුණේ විලා (හෝටලයක්) එකක හිමිකරු වන්නට හැකිවන්නේ හොර පාරෙන් ලද මෙවැනි මුදලිනි.

ලැසීට හිරගෙදර කෙතරම් නිදහසක් තිබ්බාද යන්න පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ගාල්ල සිරගෙදර සිට සිදුවන අපරාධ රැල්ල ගැන කළ විමර්ශනයෙන්ම හෙළිවිය. මසක් ඇතුළත ලැසීගේ දුරකථනයෙන් පිටතට ගත් දුරකථන ඇමතුම් ගණන එකසිය ගණනක් විය. පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන් මේ ගැන වගකිවයුතු අංශද දැනුවත් කළහ. ඒ දකුණේ මිනීමැරුම් හා කුඩු ජාවාරම් සියල්ල හිරගෙදර සිට කුඩු ලැසී ඇතුළු කණ්ඩායම මෙහෙයවන බවයි.

කුඩු ලැසීට සහාය දෙන බන්ධනාගාර ලොක්කෙකුගේ දූෂිත ක්‍රියා කලාපය ගැනද එහිදී අනාවරණය කර තිබුණේය. දූෂිත ලොක්කා මුදලට යට වී පාතාලයට රජකරන්නට හිරගෙදර ඉඩදී තිබුණේය. ඒ අවසරයෙන් පාතාලයට ආරක්ෂිත නිවස්නයක මෙන් රැඳී සිටිමින් සියලු දේ කරකියාගත හැකි විය. බන්ධනාගාර අධිකාරිවරයකු වූ තුසිත උඩුවර මහර බන්ධනාගාරයෙන් සියලුම ජංගම දුරකථන හා නීති විරෝධී දෑ තුරන් කරමින් සමස්ත දෙපර්තමේන්තුවටම ආදර්ශයක් දුන්නේ යමක් කරන්න බැරි යැයි කියන කතාව උඩුයටිකුරු කරමිනි. සිරකරුවන්ට මහර බන්ධනාගාරය කිසිදු අපරාධයක් මෙහෙයවන්නට නොහැකි තැනක් බවට පත් කරමින් දුන් ආදර්ශය අනිත් බන්ධනාගාරවලින් පෙන්නුවේ නැති තරම්ය. ගාල්ල බන්ධනාගාරය ක්‍රියාත්මක වූයේ තනිකරම පාතාලයට රජකරන්නට ඕනෑම අපරාධයක් කර හිරගෙදරින් රැකවරණය ගන්නට හැකි ලෙසය.

මේ සියලු කාරණා වෙද්දී දූෂිත බන්ධනාගාර ලොක්කාගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉහළට කරුණු දක්වන්නට ඉදිරිපත් වූයේ ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ජේලර්වරයා වූ ඝාතනයට ලක් වූ තිළිණ රුවන් ජයරත්න (44) ය. බූස්ස බන්ධනාගාරයේ සිට ගාල්ලට ආ රුවන් ජයරත්න දූෂිත ලොක්කා සමග සටනක නියැළුණේය. බන්ධනාගාර මූලස්ථානය මෙන්ම මාධ්‍යවලටද එහි වන දූෂිත කරුණු සියල්ල පෙත්සම් ආකාරයට යැව්වේය.

මේ නිසා ඔහුට ඇති තර්ජන එන්න එන්නම වැඩි විය. තර්ජන එල්ල වූයේ දූෂිත ලොක්කන්ට උදව් කළ පාතාලයන්ගෙනි. හොර මැරකම් කෙතරම් හෙළි කළත් ඉහළ පුටුවල සිටි දූෂිත ලොක්කන් ගාල්ලෙන් මාරු කරන්නට තියා හොල්ලන්නටවත් දෙපාර්තමේන්තුවටවත් නොහැකි විය. ඒ දකුණේ දේශපාලන බලවතුන්, මැති ඇමැතිවරුන් දකුණේ බන්ධනාගාර ලොක්කන් තම සෙවණැල්ල මෙන්හ හේ බිරිම රකින නිසාය.

මීටියාගොඩ පොලිසිය පසුගිය වසරේ ඔක්තෝබර් 19 දා මීටියාගොඩ පොලිස් වසමේදී කුඩු ලැසීගේ ජාවාරම්කරුවකුගේ තිප්පොළක් වැටලුවේය. එහිදී කුඩු ජාවාරම්කරුවකු සමග කුකුළු මස් ගැනීමට ගිය බන්ධනාගාර ජේලර් රුවන්ද පොලිස් අත්අඩංගුවට ගත්තේය.

තමන් කුකුළු මස් තොගයක් මිලදී ගැනීමට අවැසි තැනක් සොයමින් යද්දී සැකකරුවකු අල්ලන්නට ආ පොලිසිය තමාවත් අල්ලාගත් බව ජේලර් රුවන් සඳහන් කළේ ය. පසුව එම නඩුවෙන් නිදොස් කර නිදහස් වූ පසුව රුවන් පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩුවක්ද ගොනු කළේ ය.

රුවන් ඉන්පසුව වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තනතුරට උසස්වී එන්නේ මීට මාස හතරකට පෙරය. වැලිකඩට පැමිණි පසුවත් රුවන් තමාගේ සටන අත් නොහළේය. තමාව මීටියාගොඩ පොලිසියට කොටුකර දී වැඩ තහනමට ලක් කරන්නේත්, තමා සමග උරණ වූ ගාල්ලේ දූෂිත ලොක්කෙකු හා පාතාලය එක්ව කළ සැලසුමකට බව ජේලර් රුවන් තම සගයන්ටත් කියන්නේය.

කොළඹට ආ පසුවත් ගාල්ලේ සිදුවන දූෂණ, අක්‍රමිකතා මූලස්ථානයට වාර්තා වූවේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස පත් වී පැමිණි ජයසිරි තෙන්නකෝන්ද ගාල්ලේ සිදුවන දූෂණ අක්‍රමිකතා ගැන පැමිණිලි ගලා එන්නට වූයේය.

බන්ධනාගාර මූලස්ථානයේ පැවති බන්ධනාගාර ලොක්කන්ගේ සාකච්ඡාවකදීත් මේ ගැන කතා බහට ලක් විය. ගාල්ලේ සිරගෙදර දූෂිත ක්‍රියා ගැන විමසීමට ලක් කරද්දී සියලු දෙනා ඉදිරියේ ‘‘මට අරූ තමා පෙත්සම් ගහන්නේ. මම මේකාව මරා දමනවා’’ යැයි චෝදනාවට ලක් වූ නිලධාරියා කියා සිටියේය.

මෙය ප්‍රසිද්ධියේම කළ මරණ තර්ජනයක්ද, නැතිනම් ආවේගයට කළ දෙයක්ද යන්න දන්නේ වගකිවයුත්තන්ය. කෙසේ වුවත් දැන් මේ කියන නිලධාරියා තමාට පෙත්සම් ගසන බවට චෝදනා එල්ල වූ ජේලර්වරයා වූ රුවන් ජයරත්න පාතාලය අතින් වෙඩි කා අවසන්ය.

මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි තම දරුවා බලන්නට කොළඹ සිට නිවාඩු ලබා අම්බලන්ගොඩ කුලීගොඩ නිවස බලා එද්දී සෙනසුරාදා (03) මොහුව ඝාතනය කරන්නේ යතුරුපැදියක ආ දෙදෙනකු විසින්ය. ජේලර් රුවන් දුම්රියපොළ අසල නිවසක නවතා තිබූ යතුරුපැදිය ගෙන නිවස බලා යද්දී සාහසික ප්‍රහාරයට ලක් විය.

ටී 56 අවියකින් එල්ල වූ උණ්ඩ තුනක් ඔහුගේ සිරුරට කිඳා බැස තිබුණේය. මෙම ඝාතනයත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුවම කැලඹිල්ලට ලක්විය. මෙය තෙල්වත්තේ කුඩු ලැසී හා කරන්දෙණිය සුද්දා ලවා බන්ධනාගාර ලොක්කෙක්ම කළ වැඩක් බව බන්ධනාගාරය තුළත් ලැව් ගින්නක් සේ පැතිරුණේය.

මීට පෙර බන්ධනාගාර නිලධාරින් රාජකාරියේදී ඝාතනය වුවත් පාතාලයේ කොන්ත්‍රාත්තුවකින් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර කළුතර එතනමඩලදී කඩුවෙල සමයං රැගෙන යන බස් රථයට පාතාල කණ්ඩායමක් (අංගොඩ ලොක්කා) එල්ල කළ ප්‍රහාරයේදී සමයං සමග බස් රියේ ආරක්ෂාවට ගිය බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු ඝාතනය වූහ.

එම සිදුවීම් බන්ධනාගාර බස්වලට පහරදීමේදී සිදු වූ ඒවාය. නමුදු මෙය හුදෙක්ම නිලධාරියකු ඉලක්ක කර සිදු කළ ඝාතනයක් විය.

මෙම සිදුවීම වන විටත් පොඩි ලැසී රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් (CRP) බන්ධනාගාරයේය. එම සිරමැදිරිය වහාම පරීක්ෂා කරද්දී ජංගම දුරකථන හයක්, බිත්තිවල ගඩොල් අස්සේ හා වැසිකිළියේ තිබී සොයා ගැනුණේය. තම සහෝදර නිලධාරියකු ඝාතනයට සැලසුම් කළ බව කියන පොඩි ලැසීට මෙතරම් දුරකථන තබා ගන්නට සිරගෙදරට ගෙනැවිත් දුන්නේ කවුරුන්දැයි වහාම සෙවිය යුතු කාරණාවක් විය.

එම සිදුවීමත් සමග පොඩි ලැසී වහාම බූස්ස හිරගෙදරට මාරු කළේය. බූස්ස ලැසීට නිවසට ගියාක් මෙන් වූ නිසා එදිනම රාත්‍රියේ අඟුණකොළපැලැස්සේ සිරගෙදරට යවා සුවිශේෂී මැදිරියක රඳවන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ නියෝග මතය.

ඝාතනයට ලක් වූ ජේලර්වරයාගේ විමර්ශන වහාම ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අමතරව රහස් පොලිසියට දෙන්නට සාකච්ඡා කරන්නේද මෙය බරපතළ කාරණාවක් වූ නිසාය.
මෙම සිද්ධියත් සමග ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාව කොළඹට මාරු කිරීමට නියෝග කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්මය.

අඟහරුවාදා (6) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මාරුවීම ලබා දුන් අතර එම මාරුව දුන් මොහොතේ පටන් එය අවලංගු කරන්නැයි මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ ඉහළ ප්‍රධානීන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් හට දිගින් දිගටම බලපෑම් කරන්නට විය.

1970 කාලයේ මේ සිරගෙවල්වල සිටි සිරකරුවෝ අහිංසකයෝය. ආර්ථික වශයෙන් බැලූවත් දුප්පත් මිනිස්සු. ඒ අය නිලධාරින්ට ගරු කළා. නමුත් දැන් ඉන්නේ සල්ලි හොඳට හම්බ කරපු අපරාධකාරයෝ. මේ අය සල්ලි ඇති තරම් වියදම් කරනවා. අපේ ඇතැම් නිලධාරීනුත් මේ අයගේ මුදලට යටවීම් වළක්වන්න අමාරුයි. වැඩ කරන නිලධාරින්ට මෙතැනදී තර්ජන එල්ල වෙනවා. මේක හරිමගට ගන්න කොමසාරිස් ජනරාල්ට විතරක් කරන්න බැහැ. සියලු දෙනාම එකට එකතු වන්න ඕන. අභ්‍යන්තර පරිපාලනයේදී බලය භාවිත කිරීම මරණය දක්වා යන තර්ජනයක් නොවිය යුතු යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පෙන්වා දෙයි.

දැනට ඇති තොරතුරු මත ඝාතකයා හඳුනාගෙන හමාරය. පොලිස් කණ්ඩායම් ඝාතකයා පසුපස හඹා යන්නේය. මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර අධිකාරිව පැමිණි තුසිත උඩුවර වැලිකඩින් දුරකථන තුරන් කරද්දී ඔහුට එරෙහිව මුලින්ම හිස එසවූයේ මරණ දඬුවමට නියමවූ කුඩු සුසෙයිගේ කණ්ඩායම්ය. තුසිත උඩුවර හිරගෙදර දී ඝාතනය කරන්නට වූ සැලසුමක් ගැන බොරැල්ල පොලිසිය තවමත් විමර්ශන කරන්නේ මේ නිසාය.

මෙවැනි තර්ජන අනාගතයේ ඇති නොවන්නට සියලු නිලධාරින් දූෂිතයන් පරයා නැගිටීමට දැන්වත් එකතු විය යුතුයි. නැතිනම් ජේලර්වරුන්ට එල්ල වූ උණ්ඩය හෙට තවත් දක්ෂ නිලධාරියකුට එල්ල විය හැකිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා