විශේෂාංග

ජූනෝගේ මංගල මාසය ඇවිත්

උදාවී ඇත්තේ අධි වාර්ෂික ජුනි මාසයයි. මේ මාසයේ 30 දා වන විට 2020ත් හරි අඩක් හෙවත් දින 183 ක් ගෙවී අවසන්ය.

ලොවටම අපල විපත් ගෙන දුන් මාර්තුව මෙන් ජූනිය අවාසනාවන්ත මාසයක් නොවන්නේ එය රෝම දේවකෘතලංකාරයට අනුව ජූනෝ (Juno) දෙවඟනගේ බලය මිනිස් සමාජය කෙරෙහි බලපවත්වන මාසය හෙයිනි.

ස්වර්ගයේ (අහසේ) දෙවියා වූ ජුපිටර්ගේ (Jupiter) දෙවන බිරිඳ ජූනෝ දෙවඟනයි. ස්වර්ග රාජ්‍යයේ සිට දෙවියන් පාලනය කළ ප්‍රබලතම දෙවියා වූ ජුපිටර් දෙවියා වුවද ඔහු මනුලොව ස්ත්‍රීන් හා ‘අල්පේශාක්‍ය දෙවඟන’ හා අනිසි සම්බන්ධතා පැවැත්වීය. මේ නිසාම ඔහුට එරෙහි ජූනෝ දෙවඟන ස්ත්‍රීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටියාය.

රෝම රාජ්‍යයේ හදවත ලෙස සැලකූ කැපිටොලින් (Capitoline) කන්දේ පිහිටි දෙව් මැදුරේ සිට සිය මෙහෙය ඉටු කළ ජූනෝ දෙවඟන ස්ත්‍රීන්ගේ ආරක්ෂාව පිණිස ඔවුනට අරක් ගත්තාය. එපමණක් නොව ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සිදුකෙරෙන ප්‍රේම සම්බන්ධතා ප්‍රබල කරවමින් විවාහ ප්‍රාප්ත වීමට ඔවුනට බලපෑම් කළාය. ඒ නිසාම ඇගේ බලය වඩාත් පැතිරෙන මාසය ඇගේ නමින් ජූනි යැයි නම් කෙරිණි.

ලෝකයේ වැඩියෙන්ම ප්‍රේමවන්තයන් එක්වන විවාහ මංගල්‍ය උත්සව වැඩි වශයෙන් පැවැත්වෙන්නේද ජුනි මාසයේයි. එහෙත් උදාවී ඇති කොරෝනා ව්‍යසනය හමුවේ ජූනෝගේ මංගල මාසයේ විවාහ මංගල උත්සව පැවැත්වීම ගැටලුවක් වී ඇති බව පෙනේ.

ඇතැම් දේව කතාවල සඳහන් වන අන්දමට ජූනෝ බ්‍රහස්පතිගේ දෙවඟනය. ඇය පෙර සඳහන් කළ ග්‍රීකයන්ගේ නාරි දෙවඟනට සමානය. කාන්තාවන්ට අරක් ගත්තා වූ ඇය විශේෂයෙන්ම විවාහක කාන්තාවන්ගේ ආරක්ෂිකාව වූවාය.

කෙසේ වෙතත් මාර්තුවෙන් ආරම්භ වූ පැරණි රෝම දින දර්ශනයේ හතරවන මාසය ලෙස නම් කර තිබුණු ජුනි මාසය හය වන මාසය බවට පත්වූයේ ජූලියන් දින දර්ශනයේ අඩුපාඩු සකස් කරමින් 1582 දී 8 වැනි ග්‍රෙගැරි පාප්තුමා හඳුන්වා දුන් ග්‍රෙගේරියන් දින දර්ශනයට අනුවය.

ජුලියස් සීසර් විසින් ක්‍රියාත්මක කරවනු ලැබූ ජූලියන් දින දර්ශනයට අනුව එතෙක් පැවැති චන්ද්‍ර මාස ක්‍රමය අහෝසි වී සූර්ය මාස ක්‍රමය ආරම්භ විය. එහෙත් ක්‍රිස්තියානි ආගමික උත්සව පැවැත්වූයේ චන්ද්‍ර මාස ක්‍රමයට බැවින් ඇතිවූ අවුල් සහගත තත්ත්වය නිරාකරණය කරගැනීම උදෙසා ජූලියන් දින දර්ශනය නැවත සකස් කෙරුණි.

එහෙත් කාලයක සිට මෙරට භාවිත වූයේ චන්ද්‍ර මාස ක්‍රමයයි. ඒ අනුව ජූනි මාසය යෙදෙන්නේ පොසොන් මාසයටයි. වෙසක් මහේ පිපුණු මල් සුවඳ පරිසරය පුරා විහිදී පැතිර පවතින මේ සමය පලතුරු ඵල දරන සමයයි. ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව විවාහ මංගල්‍ය පැවැත්වීමට වඩාත් සුදුසු නැකත් යෙදෙන්නේද වෙසක් මසෙන් පසු පොසොන් මාසය දක්වාය. හොඳින් සූර්ය එළිය ලැබීමත්, ඒ හේතුවෙන් සඳ කිරණ පතිත වීමත් එයට හේතුවේ. ආදර බන්ධන ශක්තිමත් වීමත්, ලෝ පැවැත්ම උදෙසා යහපත් දූ පුතුන් හිමිවීමත් මේ අවදියේ විවාහ වන තැනැත්තන්ට ලැබෙන දායාදයකියි පැවැසේ.

වෙසක් මාසය සකල ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වන්නේ යම් සේද පොසොන් මාසය හෙළදිව් බොදු දනන් හට අතිශයින් වැදගත් වන්නේ ධර්මාශෝක රජතුමාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම ගෙන ආ දිනය පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වීම නිසාය. බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස අම්බස්තලයට වැඩම කළහ. දඩ කෙළියෙහි ගොස් සිටි දේවානම්පියතිස්ස රජතුමාට එහිදී දහම් දේශනා කළ අනුබුදු හිමියන් රජතුමා තෙරුවන් සරණ ගිය ප්‍රථම සිංහල බෞද්ධයා බවට පත්කොට ලක්දිව බුදු දහම ස්ථාපිත කළහ. එතැන් පටන් මෙරට පාලනය කළ සිංහල රජවරුන් බුද්ධාගම රාජ්‍ය ආගම කොට සැලකීය.

බුදු දහමත් සමග මිහිඳු මාහිමි හඳුන්වා දුන් ශිල්ප කලා, භාෂා, ශාස්ත්‍ර ආදීන්ගේ බලපෑමෙන් පෝෂණය ලැබූ සිංහල බෞද්ධ ජන සංස්කෘතියක් බිහිවීමෙන් හෙළදිව් වැසියන් දියුණු සමාජ සංස්කෘතියකට උරුමකම් ලද්දේය. ඒ පොසොන් මාසයේ සිදුවූ ලක්දිව ඓතිහාසික විප්ලවය කිසිදාක කිසිවකුට මකා දැමිය නොහැක.

පොසොන් මාසයේ අනුබුදු මිහිඳු හිමියන් විසින් ස්ථාපිත කරනු ලැබූ මෙරට සඟ පරපුර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් මෙන් පූජනීයත්වයට පත්වන්නේ අපේ මුර දේවතාවුන් මෙනි. එහෙත් අභාග්‍යක මහත මීට වසර 33 කට පෙර 1987 ජුනි 2 දින මහඔය අරන්තලාවේදී හෑගොඩ ඉන්දසාර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 31 ක් නමක් එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් කපා කොටා, වෙඩි තබා ඝාතනය කරන ලද්දේය.

භික්ෂූන් වහන්සේලාගේ ලෙයින් දිගාමඩුලු බිම තෙත් කෙරුණද බෞද්ධයන් වූ අප ඒ සියල්ල මෙත් සිතින් උපේක්ෂා සහගතව විඳ දරා ගත්තේ නිර්මල බුදු දහම විසින් පෝෂණය කරනු ලැබූ පොසොන් සිතුවිලි මතුකර ගෙනය.

අනුබුදු හිමි මෙරට වැඩම කරවීම, ලක්දිව බුදු සසුන පිහිටුවීම, පෑතිස් රජු ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි කිරීම හා උපසම්පදාවට පත් කිරීම ආදී ශාසනික හේතු රැසක් සිදුවූයේ පොසොන් පුර පසළොස්වක පො​හෝදාකය. ඒ බුද්ධ පරිනිර්වාණය සිදුවී වර්ෂ 236 කට පසු පොසොන් පෝදායි.

ආගමික, සංස්කෘතික, සමාජීය වශයෙන් ජුනි මාසය හෙවත් පොසොන් මාසය මේ අන්දමට වැදගත් වන්නේ යම් සේද, පැරණි සිංහලයන් සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා, ගොවිතැන් කටුයුතු සඳහා, හේන් බිම් සකස් කරගැනීම ආරම්භ කරන්නේද ජුනි මාසයේදීය.

හේන් කොටා ගන්නා පො​සොන් මහේදී එතෙක් පැවැති කෝඩි හුළං වෙඩි හුළං බවට පත්වේ. කෝඩි හුළං යනු අලුත් සුළංය. යාන්තම් හමන, පුරුදු වීමට හමන සුළංය. මේ කෝඩි සුළං සැඩ පරුෂ හුළං බවට පත්වීම ගැමියන් හඳුන්වන්නේ වෙඩි හුළං යනුවෙනි. වේගවත්ව හුළං පැදීම නිසා කැපූ හේන් ඉක්මනින්ම වියළී යයි. මේ මාසය වන විට මීක් ගස්වල පිපී තිබුණු මී මල් පරවී බිමට වැටේ. පාන් කළුවෙන්ම මී ගස් යටට යන කාන්තාවෝ ඒවා අහුලාගෙන විත් වියළා ගනිති. පසුව ඒවා කොටාගෙන මීක් රොටි හෙවත් මීක් හැලප සාදා ගනිති.

පොසොන් මහේදී ලැබෙන අතුරු රස ආහාරයක් වී මීක් රොටි කොතරම් ජනප්‍රියව තිබුණද යත් ඒ අරබයා අපූරු ජන කතාවක්ද ගෙතී ඇත. ඔන්න ඉස්සර කාලේ කුරුලු ජෝඩුවක් උන්නා. උන් දෙන්නා පොසොන් ම​හේදී මීක් මල් අහුලාගෙන ඇවිත් ගල් තලාවක වේළෙන්ට දැම්මා. දාලා තම දරුවන් දෙන්නට කිව්වා. පුතේ, උඹලා මේව ඓහෙම කන්ට එපා, වැහි කාලෙදි කෑම නැතිවුණාම අපි ඔව්වා කොටලා මීක් රොටි කමු කියලා. දරුවන් දෙන්නත් හා හොඳයි කියලා පොරොන්දු වුණා. කුරුලු ජෝඩුව දවසක් හවස ඇවිත් බැලුවම මීපුප් නෑ. කෝ මේ ගලේ තිබුණ මී පුප් කියලා ඇහුවාම ‘‘අනේ අම්මේ අපි දන්නෙ නෑ’’ කියලා පැටව් කිව්වා. ඒ ගමන කුරුලු අම්මට තරහා ඇවිත්:

‘‘නෑ, නෑ උඹලා තමයි මී පුප් කෑවේ’’ කියලා දෙන්නටම ගහලා මරලා දැම්මා! ඕං පහුවෙනිදා මහ වැස්සක් වැස්සා. වැස්ස ඉවර වෙලා බැලින්නම් අර ගල උඩ මී පුප් තියෙනවා. කිරිල්ලිට තමා කරගත් ශාපය තේරිල ‘මීපුප් ලදින් දරු නොලදින්’ කිය කියා කෑගහන්ට ගත්තා. අදත් ඒ කිරිල්ලී කැලේට වෙලා ඔයි ආකාරෙට අඬා වැලපෙනවා!

බොහෝ රටවල පොසොන් මහේ හෙවත් ජුනි මාසයේ විවාහ මංගල්‍ය වැඩි වශයෙන් සිදු කෙරුණි. මෙරට ජන සමාජයේද එය එසේම විය. එසේ වන්නට හේතුව රතිසුව සඳහා ජුනි මාසයේදී වැඩි හැඟීම් ඇතිවන නිසා විය හැකිය. එහෙත් අශ්ශීල නොවූ ගැමි කාන්තාව ඔහුගේ ඇරයුම ප්‍රතික්ෂේප කරන්නේ ඊට වඩා පොසොන් මාසයේ පෙරහර බැලීම වැඩදායක බව මෙසේ මතක් කර දෙමිනි.

අසන් හැට හතර රති කෙළි පාරට්ටු

තොසන් වඩන මන දී සළෙලුන් මට්ටු

එසන් තොසින් හිමි මට කරවන ගැට්ටු (ගැහැට)

​පොසොන් මස එන්ට බැරි පෙරහැර කිට්ටු

ජන කවියා පවා හැඳින දැන අවබෝධ කරගත් කරුණ වූයේ පොසොන් මහේ සිදුවූ මහින්දාගමනයේ උත්තරීතර බවය. මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව පැළලුප් නුවර අශෝකාරාමයේ සිට තම්බපණ්නියට වැඩම කළ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ රහතන් වහන්සේලාත්, සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත් සමගිනි. ඒ ජෙට්ඨමූල නමැති නකැත් උළෙල යෙදී තිබුණ (ජුනි) පොසොන් පොහෝ දිනකදීය. එහි ප්‍රධාන අංගයක් වූයේ මුව දඩයම සඳහා මිස්සක පව්වට ගිය රජු හා පිරිසට මිහිඳු හිමි හමුවීමෙන් පසු සිදුවූ පරිවර්තනය හේතුවෙන් මෙරට ධර්මද්වීපයක් බවට පත්විය. අනුබුදු හිමිගෙන් ධර්මය ඇසූ රජතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ වූහ. භණ්ඩුක කුමරු පැවිදි කොට එදිනම උපසම්පදාවද සිදු කළහ. පොසොන් පොහෝ දිනට පසුදින රජ මැදුරේදී පැවැති දානයෙන් පසුව අනුබුදු හිමි දෙසූ දහම් ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සීයයක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත්වූහ. ඒ පින්බර පොසොන් මාසය බෞද්ධයන්ට එදා මෙන්ම අදත් අතිශයින් වැදගත්ය.

සඳරුවන් ලොකුහේවා