විශේෂාංග

ජුම්මා මස්ජිඩ් පාරේ වෙසක් දාට එළිය වන එකම නිවස

පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි ත්‍රස්ත සංවිධානයේ කාර්යාලය පිහිටියේ කොළඹ සිරි සද්ධම්ම මාවතේ යැයි පසුගියදා පුවත්පතක පළ විය. මේ ප්‍රවෘත්තිය ඇසූ බොහෝ දෙනකු සිරි සද්ධර්ම මාවත පිහිටියේ කොහේ දැයි අන්දුන්කුන්දුන් විය. පංචිකාවත්ත වටරවුමේ සිට දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව තෙක් ඇති මාර්ගය මේ ශ්‍රී සද්ධර්ම මාවතයි. මේ පාර අවසානයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇත්තේ මගවිල උද්‍යානයයි. ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ‘‘ඉබ්‍රාහිම්’’ නම් දැවැන්ත කුළු බඩු නිෂ්පාදකයා ජීවත්වුණේ මේ මහවිල උද්‍යානයේය. ත්‍රස්ත කාර්යාලයට ඉබ්‍රාහිම්ට නිවසේ සිට ඇත්තේ පයින් යන දුරකි.

පංචිකාවත්ත වටරවුමේ සිට මාලිගාවත්ත පොලිසිය පසු කරනවාත් සමග හමුවන හංදිය හැඳින්වෙන්නේ ඇල්බා හංදිය ලෙසය. මේ හංදියට මේ නම වැටුණේ ඒ නමින් ත්‍රිරෝද අමතර කොටස් අලෙවි හලක් ඇති නිසාය. මුස්ලිම් ජාතිකයකු සතු ව්‍යාපාරයක් වන එම ව්‍යාපාරය තෙකරම් ජනප්‍රිය වූයේ දැයි කිව හැක්කේ පසු කාලීනව එම හංදිය ලංකාවේ ත්‍රිරෝද රථ අමතර කොටස් රජ දහනක් වැනි හංදියක් වීමය.

අප මේ කියන්නට යන්නේ ඇල්බා හන්දියේ ත්‍රිරෝද අමතර කොටස් මුස්ලිම් අධිරාජ්‍යය ගැන නොවේ. ඒ හංදියත් පසුකොට ගිය විට හමුවන හංදිය කලක් ප්‍රසිද්ධ වුණේ සතොස සතු දඹුලු එළවළු සැලක් නිසාය. මේ සුප්‍රකට දඹුලු එළවළු සල ඉදිරිපිට සිට ඛෙත්තාරාම ක්‍රීඩාංගණය දෙසින් අවසන් වන මාර්ගය හඳුන්වන්නේ ජුම්මා මස්ජිඩ් පාර ලෙසය. කොළඹ පාරකට මුස්ලිම් නමක් වැටීම විශේෂ දෙයක් නොවුණත් මේ පාරේ එක් එක් සුවිශේෂ සිදුවීමක් ඇත. මේ පාරේ ඇති ගෙවල් දෙතුන් සීය අතරින් වෙසක් එකට බොදු බැතියෙන් ආලෝකමත් වන එකම එක නිවසක් තිබීම මේ විශේෂත්වයයි.

මීට වසර හැටකට හැත්තෑවකට පෙර සිංහල පවුල් සිය ගණනක් ජීවත් වූ මේ මාර්ගය එකින් එකින් එක සිංහල පවුල් එම දේපොළ විකුණා හැර ගිය පසු ඉතුරු වූ එකම සිංහල බෞද්ධ නිවාසය මෙම නිවස පමණි. වෙසක් දිනට මෙම පාරේ එකම එක නිවසක් පමණක් අටපට්ටම් කූඩු, බකට්, මැටි පහන්, වර්ණ බල්බ්වලින් සරසා නිවස ඉදිරිපිට බුද්ධ රූපයක්ද හිඳුවා තබා තිබීම කාගේත් සිත් ඇද ගන්නා දසුනක් වනු නියතය. මෙම ජුම්මා මස්ජිඩ් පාරේ මුල ඉඳන් අගට ගියත් වෙසක් සමරන ගෙදරක් දැකගත හැකි නම් මෙම නිවස පමණි. ඒ අනික් නිවාස බහුතරයක් මුස්ලිම් වීම නිසාය. ද්‍රවිඩ ජාතිකයින්ද ඉතා සුළු පිරිසක් සිටී.

අද මේ නිවසේ ජීවත් වන්නේ සමරකෝන් ගුණවර්ධන කෝරලගේ සිරිපාල මහතාය. ඔහුගේ බිරිඳ දරුවන්ද ජීවත් වන්නේ මෙම නිවසේමය සිරිපාල මහතාගේ මවගේ ගම් ප්‍රදේශය කොටහේන වන අතර පියාගේ ගම වුණේ ග්‍රෑන්ඩ්පාස්ය. ඔහු කියන මේ ඉතිහාසය වසර 70කට ආසන්න ඉතිහාසයකි.

‘‘අපි මෙහෙට එන්න ඉස්සර හිටියේ කොස්ගස් හංදියේ ස්වර්ණ ජයන්තිය පාර ගාව ඇබිසිනියාව කියල දූපතක. ඒක වටේම ගඟ, ඇබිසිනියාව කියන්නේ පිට රට දූපතක නමක්ලු, මං ඒ ගඟේ නාලත් තියෙනවා. සිරිමාවෝගේ ආණ්ඩුව ආවම මේක වී වගා කරන්න ගත්තා. ඒ සැරේ ටී.එන්.අයි. පාල කියල මැතිනිගේ පාක්ෂිකයෙක් ඒක ‘‘සිරිමාපුර’’ කියලා බෝඩ් එකක් දැම්මා. ඒත් තාම පරණ අය කියන්නේ ඇබිසිනියාව කියලා’’

සිරිපාල මහතා කියන පරිදි ඔවුන් මේ ප්‍රදේශයේ පදිංචියට එන විට අද ඇති එකකට එකක් හේත්තු වී ඇති නිවාස කිසිවක් තිබී නැත. ඔවුන්ගේ මව්පියන් මුලින්ම පැමිණ පදිංචි වී ඇත්තේ මෙහි වූ වත්තකය. එය හඳුන්වා ඇත්තේ ඉන්නියන් වත්ත නමිනි. එහෙත් හැටේ දශකයේදී මෙම වත්තට බෙදුම් නඩුවක් පවරණ ලද්දේ අන්වර් සහ මෙයිනන් නානා යන අය විසිනි. නඩුවෙන් පසු සිරිපාල මහතා කියන පරිදි ඔවුන් දැන් සිටින නිවාසයේ පදිංචියට ඇවිත් ඇත්තේ රුපියල් 25ක කුලියකටය. නමුත් ඒවා ගෙවල් නොව කඩපේළියක් විය.

‘‘මෙතැන කඩ තුනක් හැදුවා නොම්මර 364, 366, 368 කියලා. මෙයියන් නානාට මේක අයිති. උදේ ඉඳන් බොනවා. බැඳලත් නැහැ. අවුරුදු 15ක් විතර කුලී ගෙවන කොට නානා මේක විකුණන්න ගියා. අම්මා නඩුදාල දින්නා’’

සිරිපාල මහතා කියන පරිදි ඔහු මේ නිවසේ කුඩා කාලයේ වෙසක් කුඩු හදන විට විදුලි බලය පවා තිබී නැත. කූඩු හදන්නට බට හොයාගැනීම එතරම් ප්‍රශ්නයක්වෙ නැත්තේ ඒ කාලේ මේ ප්‍රදේශයේ ඕනෑතරම් බට ගස් තිබුණ නිසාය. ඔහු කියන පරිදි අද ඇඟිල්ලක් ගහන්නට ඉඩ නැතිව නිවාස තනා තිබුණද එදා මේ ප්‍රදේශ ලඳු කැලෑ වැනිය.

‘‘හැට ගණන්වල මුලින්ම කූඩු හදලා චිමිනි ලාම්පුව තමයි පත්තු කළේ. ඊට පස්සේ පැට්‍රෝල් මැක්ස් එක පත්තු කළා. ගොඩක් හැදුවේ අටපට්ටම් කූඩු. එදා ඉඳන් අද වෙනකම් මොන ඇඳිරි නීතිය දැම්මත්. බෝම්බ පිපිරුවත් මම කූඩු හදලා වෙසක් එකට පත්තු කළා. ඊට පස්සේ ලයිට් ආවම වැඩේ ලේසි වුණා.’’

මේ ජුම්මා මස්ජිඩ් පාරට යාබදව සිංහල ගම්මානයක් තලේරත්න වත්ත නමින් තිබී ඇත. වත්තේ අයිනේ සිංහල පුද්ගලයාගේ නම මෙම වත්තට යොදා ඇති බව අපට පසුව දැන ගත හැකි විය. සිංහලයින් තනිකර ජීවත් වූ ඒ ගමේ අද සිංහල පවුල් දෙක තුනක් වත් නැත. ජුම්මා මස්ජිඩ් පාර දෙපසම අද එකින් එකට යාබදව ගොඩ නැගූ නිවාස සියගණනකි. ඒත් වෙසක් දාට බුදුරුවින්, වෙසක් කූඩුවෙන් ආලෝකමත් වී මොහිදින් බෙග්ගේ බොදු බැති ගීයෙන් පළාතම ගීතවත් වන්නේ සිරිපාල මහතාගේ නිවස පමණි. ගියවර සිරිපාල මහතාගේ නිවස දුටු එතැනින් ගිය විදේශීය පුවත්පතක ඡායාරූප ශිල්පියකු ඡායාරූපයක් ගෙන ජාත්‍යන්තර සඟරාවක පළ කොට තිබුණි. අපට නොපෙනෙන සිරිපාල මහතාගේ උත්සාහය විදේශිකයකු ඇගයුමට ලක් කළේ එසේය.

මේ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලීමෝලෙන් යැයි කරුණාරත්න අබේසේකරගේ ප්‍රතාපවත් හඬින් කියවෙන ගුවන්විදුලි දැන්වීම අදටත් කාටත් මතකය. මේ වෙසක් දාට එළිය වන සිරිපාල මහතාගේ නිවස ළඟ සිටි මාලිගාවත්ත ලීමෝලට ඇත්තේ ‘‘හූ’’ හඬක දුරකි. සිරිපාල මහතා කියන්නේ මේ සද්ධර්ම මාවතේ ඇති ඉපැරණි CWE (සතොස) ගෙවල්වල ඉදිරිපිට දෙමළ ජාතික අන්තෝනි නම් මහතා නොකඩවා වසර 7ක් වෙසක් උත්සව දිනට මනරම් තොරණක් ඉදි කොට ඇත.

මුළු පළාතම මුස්ලිම් වෙද් දී සිංහලයකු ලෙස හුදකලා වීම ගැන සිරිපාල මහතාගෙන් අසන්නට අප අමතක කළේ නැත.

‘‘සිංහල මුස්ලිම් කියල එහෙම වෙනසක් නැහැ. පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු අය. පාරේ හිටපු අනික් සිංහල අය එක එක ගේ විකුණලා දාල යනකොට නම් දුකක් දැනුණා. ඒ කාලේ මේ පාරේ වෙසක් එකට ගෙවල් කීයක නම් වෙසක් කූඩු, බකට් පත්තු කළාද, දැන් නම් මං මගේ පුතාලා තමයි මේ වෙසක් කූඩු හදන වැඩේ මටත් වැඩිය හොඳට කරන්නේ.’’

මුළුමනින්ම මුස්ලිම් ප්‍ර​දේශයක් වන මෙහි තමන්ට ජීවිත අවදානමක් හෝ තර්ජනයක් ඇත්දැයි අප විමසා සිටියදී සිරිපාල මහතා කියා සිටියේ තමන්ට එවැනි කිසිදු මරණ තර්ජනයක් නැති බවය. මුළුමනින්ම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන මෙම මාර්ගය අන්තයෙන් වමට හැරවූ විට ඇති මාර්ගය අවසන් වන්නේ ඇල්බා හංදියෙනි. එය හැඳින්වෙන්නේත් ජුම්බා මස්ජිඩ් පාර ලෙසය. මේ පාරවල් දෙක මහ මාලිගාවත්ත හා පුංචි මාලිගාවත්ත ලෙස කොටස් දෙකකින් හැඳින්වේ. සිරිපාල මහතා අප සමග කීවේ දිනකට කීප දෙනකු ඇවිත් නිවස ඉල්ලා සිටියත් තමන් මේ නිවස කීයටවත් විකුණන්නේ නැති බවය.

තවත් චිරාත් කාලයක් සිරිපාල මහතාගේ දරුවන්ටද මෙම වෙසක් සැරසිලි කරන්නට සුබ පතමින් අප සිරිපාල මහතාගේ නිවසින් පිටත්ව ආවෙමු.

වජිර ලියනගේ