කතුවැකි

ජුනි 20 ත් ඡන්දය තියෙයිද?

මේ මස 25 දාට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන ජුනි 20 දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීම සුදුසු නොවන බවට රට තුළ මතයක් පවතින තත්ත්වයක් තුළය. අවශේෂ ඡන්දදායකයා පමණක් නොව මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් පවා දරන්නේ එම අදහසය. මහ මැතිවරණයක් නොපැවැත්වීම නිසා ඇතිවන ව්‍යවස්ථාමය අර්බුදය විසඳා ගැනීමට ඔවුන් යෝජනා කරන්නේ පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවීමය.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබුණේ විපක්ෂයටය. මේ නිසා එම පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් විපක්ෂයේ පදයට නැටීමට ආණ්ඩුවට සිදුවනු ඇත. මේ නිසා යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලන්නේ කොරෝනා වසංගතය නිසාම නොවන බව දේශපාලනයේ හය හතර දන්නා ඕනෑම අයකුට පැහැදිලි වන කරුණකි.

මේ තත්ත්වය මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සතුටට පත්වනු ඇත. මාධ්‍ය හමුවේ කුමක් කීවත් විපක්ෂයට නම් ඒ ගැන සතුටු විය නොහැකි බව පැහැදිලිය.

කෙසේ වෙතත් අපට නම් සිතෙන්නේ මැතිවරණයට දිනයක් නියම කිරීම තුළ සතුටු වීමට මෙන්ම අසතුටු වීමටද කිසිදු හේතුවක් නොමැති බවය. අප එසේ කියන්නේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණය සඳහා නියම කොට ඇති දිනය පවතින තත්ත්වයන් මත හුදු අංකයක් පමණක් වී තිබෙන නිසාය.

මේ වන විට මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් රට තුළ නොමැති බව කවුරුත් දන්නා කරුණකි. එසේ වුවත් ව්‍යවස්ථාපිත නියමයන්ට අනුව මැතිවරණයට දිනයක් නියම නොකර සිටීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නැත. එසේ කරන්නේ නම් එවැනි කොමිසමකින් ඇති ඵලකුත් නැත. ජුනි 20 දිනයක් නොවන හුදු අංකයක් පමණක් වන්නේ එම දිනයට ඇත්තෙන්ම මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇත්ද යන විශ්වාසය කොමිසමටද නොමැති නිසාය. මීට පෙර දිනයක මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම ප්‍රකාශ කළ පරිද්දෙන් සැබෑවටම මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ඇත්තේ කොමිසම විසින් නොව කොරෝනා විසිනි.

මෙයින් පැහැදිලි වන්නේ කොරෝනා වසංගතය විසින් ඉලක්ක, අරමුණු සහ ඒවා ළඟාකර ගැනීම සඳහා දින වකවානු, කාලසීමා තීරණය කිරීමද අඩපණ කොට ඇති බව නොවේද? පාසල් මැයි 11 දා විවෘත වන්නේ යැයි කියන නමුත් ඒ ගැන අපට විශ්වාසයක් නැත. අද (22 වැනිදා) බස්නාහිර පළාත ඇතුළුව තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් පැය 24 ක් යන්නටත් පෙර එම තීරණය වෙනස් විය. මෙම ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට දැන් ඇඳිරි නීතිය පැනවෙන්නේ රාත්‍රී අටටය. ලබන සෙනසුරාදා සිට එම ප්‍රදේශවලටද දිවා කාලයේත් ඇඳිරි නීතිය පැනවීමට නියමිත නමුත් ඊට පෙර එම තීරණයේ වෙනසක් විය හැකිය. ඒ ගැන කියන්නට කිසිවකුට නොහැකිය. අද අප රාත්‍රියේ නින්දට යන්නේ හෙට අවදි වන විට කුමක් සිදුව තිබේදැයි උපකල්පනය කළ නොහැකි තත්ත්වයකය.

මේ අවස්ථාවේ රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාගේ මූලික අවශ්‍යතාව වී තිබෙන්නේ කොරෝනා වසංගතයෙන් රට නිදහස් කරගැනීමය. එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අරමුණක්, ඉලක්කයක් ඇතත් ඊට නිශ්චිත දිනයක්, කාලයක්, වේලාවක් නියම කරගත නොහැකිවීම අප සියලු දෙනා මුහුණ පා සිටින අර්බුදයයි. අප පමණක් නොව මේ අවස්ථාවේ සමස්ත ලෝකයම පත්ව සිටින්නේ මේ අර්බුදයටය.

මෙම තත්ත්වය මත ඡන්ද පැවැත්වීම හෝ වෙනයම් කටයුත්තකට වුව දින නියම කිරීම කළත් ඒ මත එල්ලී සිටීම නිශ්ඵල ක්‍රියාවකි. එලෙස දින හෝ කාල වකවානු මත එල්ලී සිටියහොත් අරමුණු හා ඉලක්ක වෙත ළඟාවීම සඳහා වන වැඩපිළිවෙළ අඩාල වීමට හෝ ප්‍රමාද වීමට ඉඩ ඇති බැවිනි.

මැතිවරණයක් වැනි තීරණයක් සඳහා දින නියම කිරීම ව්‍යවස්ථාපිත නියමයක් වුවත් කොරෝනා සඳහා දින නියම කිරීමට එවැනි ව්‍යවස්ථාපිත නියමයක් නැත. එහෙත් කොරෝනා වසංගතයෙන් නිදහස් වීමට සමාජමය නියමයක් තිබේ. ඒ නියමය වන්නේ හැකි ඉක්මනින් කොරෝනා වසංගතය රටින් තුරන් කළ යුතු බවය. එකී නියමය ඉටු කළ යුත්තේ ආණ්ඩුව, සෞඛ්‍ය අංශය, රාජ්‍ය නිලධාරීන් සහ රටවැසියන් වන අප සියලු දෙනා එක්වය.

මේ වන විට කොරෝනා රෝගීන් හමුවූ කේන්ද්‍රයන්ගෙන් පිටත ස්ථානවලින්ද ආසාදිතයන් හමුවීමෙන් පෙනී යන්නේ අප තවමත් කොරෝනා රෝගයෙන් නිදහස් වීමේ සමාජ නියමයට අවනතව නොමැති බවය. මැතිවරණය ව්‍යවස්ථාපිත නියමයන්ට අනුකූලව නොපැවැත්වුණහොත් ඊට එරෙහිව අධිකරණයට යෑමට ඕනෑම කෙනකුට අයිතියක් තිබේ. නියම මැතිවරණය පැවැත්වීමෙන් ව්‍යවස්ථාපිත නියමයන් උල්ලංඝනය කර ඇතැයිද අවශ්‍ය නම් ඕනෑම කෙනකුට අධිකරණයට යෑමට හැකිය. නමුත් කොරෝනා මර්දනය කිරීම සඳහා වන සමාජ නියමය කඩවූ තැනකදී එලෙස ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යෑමට හැකියාවක් නැත. එහි වගකීම අප සියලු දෙනාටම ඇති බැවිනි. මැතිවරණයක් ලබාදීමට හෝ නොදීමට අධිකරණයට හැකියාවක් ඇතත් කොරෝනා නිසා අහිමි වන ජීවිතයක් ලබාදීමට කිසිවකුට නොහැක. කළ යුතුව ඇත්තේ ජීවිත අහිමිවීමට නොදී රැකගැනීම පමණකි.