කතුවැකි

ජිනීවා යෝජනාවෙන් දෙමළ ජනතාවට තල ගුළියක්වත් නොලැබිණ

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා මානව හිමිකම් යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ලංකාව ඉවත් වන බව කීවේය. එය රටට තීරණාත්මකව සහ අභියෝගාත්මකව බලපාන තීන්දුවකි. බොහෝ දෙනා සිතන්නේ දැන් ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට එරෙහිව තවත් කෝන්තර රැසක් නිර්මාණය කරගෙන පහර දෙනු ඇතැයි කියාය. මෙතෙක් සිද්ධ වී ඇති අන්දමට ලංකාවට අලුත් අභියෝග රැසකට අනාගතයේදී මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් ආණ්ඩුවක් බලය ගත යුත්තේද මෙබඳු තීන්දු තීරණ ගත යුත්තේද ඒවාට මුහුණ දීමට සූදානමිනි.

සැබැවින්ම ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාවලිය පදනම් වූයේ ප්‍රධාන කරුණු හතරක් මතය. යුද්ධය සමයේ සිදු වූ දෑ ගැන සත්‍ය දැන ගැනීම, ඊට යුක්තිය ඉටු කිරීම, හානිපූරණය සහ යළි සිදු නොවීම ඒ සිවුවැදෑරුම් කණුය.

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල පිහිටුවූයේ සත්‍ය දැන ගැනීමටය. යුක්තිය ඉටු කිරීම සඳහා විදේශ විනිසුරන්ගෙන් සැදි යුද අධිකරණ පිහිටුවීමට තීන්දු කෙරිණ. හානිපූරණය සඳහා යුද්දෙන් අතුරුදන් වූ පවුල්වලට වන්දි ගෙවීමට තීන්දු කෙරිණ. යළි සිදු නොවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා විවිධ නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා කෙරිණ. බුද්ධාගමට ප්‍රමුඛතාව දීම ආදී වගන්ති ඉවත් කරන්නට හැදුවේ යළි සිදු නොවීම සඳහාය.

එහෙත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන සෑම අවස්ථාවකම සිදු වූයේ සමාජයේ බෙදීම් ඇති වීමය. එසේ වීමට හේතු රාශියක් තිබිණ. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ ක්‍රමය ආදර්ශයට ගැනීම ගැන නිතර කතා කරමින් මේ යෝජනා ගෙන ආවද ලංකාවේදී කළේ මැන්ඩෙලාගේ ක්‍රමයට පස්ස හැරවීමය. දකුණු අප්‍රිකාවේ පිළිවෙත වූයේ පාපෝච්චාරණය, ලැජ්ජාවට පත් කිරීම හා සමාව දීමය. අධිකරණය පිහිටුවා මරණ දඬුවම් දීමක් එහි නොවීය. එහෙත් ලංකාවේ යෝජනාවලිය ඉදිරියට ගෙන ගියේ ප්‍රභාකරන්ගේ ඇසට ඇසක්, දතට දතක් න්‍යායෙනි. දරුවන් බලෙන් යුද්දෙට ඇදගෙන ගියා වූද සිවිල් ජනතාව ගම් පිටින් කැති ගෑවා වූද දෙමළ යුද අපරාධකාරයන් මරු වැලඳගත්තාට පසුය මේ යෝජනාවලිය ගෙනාවේ.

එවිට අතුරුදන් වූවන්ගේ කාර්යාල දමා වැඩිපුර සොයන්නට වූයේ උතුරේ යුද්ධයේදී අතුරුදන් වූවන් ගැනය. සත්‍ය දැන ගැනීම සඳහා උත්සාහ කිරීමේදී සිදුවූයේ, අර්ධ සත්‍යයක් මිනීවළෙන් ගොඩ ගෙන ඒමය. එල්ටීටීඊ යුද අපරාධකාරයන් මිනී වළේ සිටියදී විදේශ විනිසුරුවරුන්ගෙන් යුත් අධිකරණයක් පිහිටුවීමෙන් විසඳෙන්නේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ නඩුය. එය යුක්තිය ලෙස භාර ගැනීමට කිසිවෙක් සූදානම් ​නොවූහ.

හානිපූරණයට වන්දිගෙවීමේදී ද එසේය. යළි සිදු නොවීම සඳහා කළ ව්‍යවස්ථා නීති ප්‍රතිසංස්කරණවලදී සිද්ධ වූයේ බහුතර සිංහල ජනතාවගේ චිරාත්කාලීන උරුමයන්ට හානි කිරීමය. බුද්ධාගමට ප්‍රමුඛතාව ලැබෙන වගන්තිය ඉවත් කිරීම එබන්දකි.

මෙය සැකසීම සඳහා මුල් වූවන් ජාතියේ සංස්කෘතික, ආගමික, දේශපාලනික වටිනාකම් තේරුම්ගත්තවුන් නොවූහ. එම කමිටුව සැදුම් ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සහ හුදු නීතිඥයන් පිරිසකගෙනි. අපරාධය සහ දඬුවම මිස ඉන් ඔබ්බට නෙත් යොමු කිරීමට ඔවුන්ට නෛසර්ගිකවම පුළුවන්කමක් ඇත්තෝ නොවූහ. එවක ඔවුන්ම පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මේ පිරිස හැඳින්වූයේ බක පණ්ඩිතයන් යන උපහාසාත්මක නමිනි.

මේ යෝජනාවලියෙන් දෙමළ ජනතාවටද ලැබුණු දෙයක් නොවීය.

යුද්ධය නිමා වූ අලුත LLRC හෙවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන සඳහා කමිටුවක් මහින්ද රාජපක්ෂ පැනවූයේය. එය දෙමළ ජනතාව සමග සාකච්ඡා කර සෑදූ යෝජනාවලියක් විය. දෙමළ තරුණයන්ට රාජ්‍ය සේවයට බැඳීමට අවස්ථාව දීම, රජයේ කාර්යාලවල දෙමළෙන් වැඩ කිරීම, ඉඩම් අහිමි දෙමළ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම ආදී යෝජනාවලියක් උගත් පාඩම් පිළිබඳ කමිටුවෙන් යෝජනා කර තිබිණ. එය ක්‍රියාත්මක වූවා නම් අවම වශයෙන් ගෙයක් දොරක්, රැකියාවක්වත් දෙමළ ජාතිකයන්ට ලැබීමට තිබිණ. එහෙත් මේ මානව හිමිකම් යෝජනාවලින් දෙමළ අයට තල ගුළියක්වත් නොලැබිණ. එහෙත් මේවායින් දෙයක් ලද දෙමළකු නම් විය. ඒ සුමන්තිරන්ය. සුමන්තිරන්, නීතිය යුක්තිය පිළිබඳ කතා කරන බටහිර ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත් විය.