අතන මෙතන

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සෙල්ෆි ගැසීම

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථා වලදී සභාවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් තම ජංගම දුරකථන වලින් සභාවේ මුලාසනයයේ ගෞරවය ට හානි වන අයුරින් හා සභාවේ කටයුතු අගෞරවය ට ලක්වන අයුරින් සෙල්ෆි ගැසීම දුරකථන සංවාද වල යෙදීම සුලභ දසුනකි.

මන්ත්‍රී වරුන්ගේ මුලික වගකීම වන සභා කටයුතු වලට සක්‍රියව හා අවධානයෙන් සහභාගී වීම මෙම කටයුතු නිසා මගහැරී යයි. මහජන බදු මුදලින් දීමනා හා වරප්‍රසාද ලබමින් සිටින මොවුන් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම ජනතා අපේක්ෂා වයි.

මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දාපාල මදුරප්පෙරුම මහතාගෙන් අප විමසා සිටියදී ඒ මහතා පවසා සිටියේ තම සභාවේ මන්ත්‍රීවරුන් ට සභාවේ හැසිරිය යුතු ආකාරය නිරන්තරයෙන් මතක් කර දුන්නද සමහර මන්ත්‍රී වරුන්ට එය තේරුම් නොයාම කණගාටුවට කරුණක් බවයි. සභාවේ සිටින්නේ පරිනත පුද්ගලයන් නිසා ඔවුන් තුළ ස්වයං විනයක් ඇති විය යුතු බවද සභාපතිවරයා පැවසීය. එසේම සභාවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේ ආකාරයට හැසිරේ නම් තම නිත්‍යානුකූල බලතල යොදා මෙම තත්ත්වයන් මග හැර ගැනීමට සිදු වන බවද චන්දාපාල මදුරප්පෙරුම මහතා පවසා සිටියහ.

ප්‍රසංග පාවුළුහේවා – කටුනායක