කතුවැකි

ජාති කුල ආගම් භේදයෙන් තොරව වස අනුභව කරමු

කොරෝනා වෛරසය ඇති වූයේ කෙසේ දැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත. දැනට විශ්වාස කෙරෙන්නේ එය කිසියම් සත්ත්ව මාංශ වර්ගයක් තුළින් මිනිස් සිරුරට ඇතුළුවන්නට ඇති බවය. කෑම මිනිසාගේ දිවි ගමනට අත්‍යවශ්‍ය මූලික කාරණාවලින් එකක් වුවත්, මිනිසාට වැලඳෙන බොහෝමයක් රෝගයන්ට හේතු වන්නේද කෑමය. කට පාලනය කරගතහොත් ලෙඩ පාලනය කරගත හැකි වුවත් අප බොහෝ දෙනකු තවමත් නිසි ලෙස එය අවබෝධ කරගෙන තිබේද යන්න සැක සහිතය. කොරෝනා වෛරසය බෝවීමෙන් වළක්වා ගැනීමට පවා අප අනුගමනය කරමින් සිටින්නේ චීන ජාතිකයා ගමන් කරන බස් රථයෙන් බැසීම, චීන ජාතිකයන් තම හෝටල්වලට වැද්දා නොගෙන සිටීම වැනි මෝඩ උපක්‍රමයන්ය.

කෑම සම්බන්ධයෙන් අප රටේ තත්ත්වය තවත් බරපතළ වන්නේ කට පාලනය කර ගත්තත් ලෙඩ රෝගවලට ගොදුරු වීම වළක්වා ගැනීම සැක සහිත නිසාය. වර්තමානයේ අප කනබොන සෑම දෙයක්ම වස විසෙන් යුක්ත බව කවුරුත් දන්නා කරුණකි. සහල්වල ආසනික්ය. පාන් පිටිවල මැලතියන්ය. එළවළුවලද බැර ලෝහ අඩංගු කෘෂි රසායනය. ඉබේ හැදෙන පොළොස් ගෙඩිය කපා විකුණන්නේද වැසිකිළි සේදුම් කාරක හෝ වෙනත් එවැනි මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍යයක බහා තබාය. විශ්වාසයෙන් යුතුව කන්නට නම් අපම වවාගත යුතුය.

අප රටේ ආහාරද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති තවත් අවදානමක් වන්නේ කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ සුලභ වීමය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සහල් නිෂ්පාදන සමාගමක් කල් ඉකුත් වූ සහ පණුවන් සහිත සහල් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව පසුගිය දිනෙක වාර්තා විය. කේක් හා බේකරි නිෂ්පාදන සමාගමක තිබූ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සොයා ගත්තේ මේ ඊයේ පෙරේදාය. මේ ආහාර ද්‍රව්‍ය තොගය ටොන් 17 ක් තරම් අති විශාල තොගයකි. මේ අතර සතොසෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් විසිනවදහසක් හා මුංඇට කිලෝ ග්‍රෑම් හත්සියයක් පමණ සොයාගත් පුවතක්ද මේ සතිය ආරම්භයේදීම වාර්තා විය.

මේ නීතියට හසු වූ කෑමට නුසුදුසු හෝ කල් ඉකුත් වී තිබූ ආහාර තොග කිහිපයක් පමණකි. කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වැටලීම් නිතර වාර්තාවන සුලබ පුවතකි. මේ මොහොතේත් එවැනි ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ අලෙවි කෙරෙමින් තිබෙනවා විය හැකිය.

කල් ඉකුත් වී තිබුණත්, නැතත් බොහෝ ආපනශාලාවල ආහාර සකස් කරන මුළුතැන් ගෙවල් දුටුවොත් මිනිසුන් තබා බල්ලන්වත් එම තැන්වලින් වතුර උගුරක් හෝ බොනු ඇත්දැයි සැක සහිතය. මේ ආහාර ද්‍රව්‍ය සකස් කිරීමේදී ඒවාට එකතු කරන ද්‍රව්‍යවලට කිසිදු ප්‍රමිතියක් ඇත්තේද නැත. අජිනෝමොටෝ නමැති රස කාරකය ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව සනාථ වී ඇතත්, අදත් එය මෙරට ආපනශාලාවල කෑමට නැතුවම බැරි ද්‍රව්‍යයකි.

කොයි මොහොතේ කොතැන බෝම්බයක් පුපුරනු ඇත්දැයි යන සැකයෙන් මරණයට බයෙන් ජීවත් වන්නට සිදු වූ යුගයක් අපට තිබිණ. දැන් අප ත්‍රස්තවාදයේ බයෙන් නිදහස් වී ඇතත්, අපට ආහාර ත්‍රස්තවාදයෙන් නිදහස් වන්නට හැකි වී නැත. එක අතකට මේ ආහාර ත්‍රස්තවාදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකය. මේ නිසා ජාති, කුල ආගම් භේදයකින් තොරව අප සියලු දෙනාම කෑම වේලක්, කෑම වේලක් පාසා ඊට ගොදුරු වෙමින් සිටින බැවිනි.

මේ ආහාර ත්‍රස්තවාදයෙන් අප නිදහස් වන්නේ කවදාද? එවැනි දිනයක් පෙනෙනතෙක් මානයකවත් නැත. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ වගකීමක් පැවරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටය. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවද අනෙකුත් බොහෝමයක් රජයේ සේවා මෙන්ම මුදලට යට වී ඇතැයි කියන චෝදනා බැහැර කළ නොහැකි කාරණයකි. ඒ අතරම වැටලීම් කිරීම සඳහා තමන්ට ප්‍රමාණවත් තරම් නිලධාරින් නැතැයි ඔවුන් නගන මැසිවිල්ලද වගකිව යුත්තන්ගේ අවධානයට යොමුවිය යුතු කාරණයක් බව අවධාරණය කළ යුතුය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වළක්වාගත හැක්කේ කල් ඉකුත් වූ හෝ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය පමණකි. අවශ්‍ය පමණ නිලධාරින් ලබා දී මහජන සෞඛ්‍ය සේවය පිරිසුදු හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමෙන් එම ඉලක්කයන් සපුරා ගත හැකිවනු ඇත.

එහෙත් වස විසෙන් යුත් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය හා අලෙවිය වළක්වා ගන්නේ කෙසේද? රසායනික පොහොර භාවිතය සීමා කිරීම කෙසේ වෙතත් අවම කිරීමට හෝ වැඩපිළිවෙළක් අපට තිබේද? එවැනි වැඩපිළිවෙළක් එක රැයින් ආරම්භ කළ නොහැකිය. රසායනික පොහොර භාවිතය නැවැත්වීමට මීට පෙර ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත්තේ පැය 24 න් රසායන පොහොර භාවිතය නැවැත්වීමට උත්සාහ කළ බැවිනි.

‘‘නිරෝගීකම උතුම් සැපත’’ යන්න පිළිගත් අප මේ වන විට බොහෝ බෝවෙන රෝගයන් මුළුමනින්ම තුරන් කිරීමට හෝ පාලනය කිරීමට සමත්ව ඇත්තෙමු. දැන් අප සමාජයේ වැඩි දෙනකු පීඩා විඳින්නේ බෝ නොවන රෝගවලිනි. මේ සියලු රෝගවලට හේතුව කෑමය. රෝගීන් වැඩිවීම, ආකාර දෙකකින් රටේ සංවර්ධනයට බාධා පමුණුවන්නේය. පළමුව රටේ ජනතාවගෙන් බහුතරය රෝගීන් වූ විටෙක රටේ නිෂ්පාදන ඵලදායීතාව පහත බැසීමය. දෙවනුව නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල වසරින් වසර ඉහළ යෑමය.

රටේ සංවර්ධනයට යෙදවිය හැකි මුදල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන් කරමින් රෝගී ජනතාවක් සමග රට සංවර්ධනය කරා ගෙන යා හැකි දැයි බලධාරීන් කල්පනා කළ යුතුය.