කතුවැකි

ජාතියේ හොඳම අවුරුදු පැතුම!

රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩාපැන ඒවායේ කට්ට කෛයිරාටික අකර්මණ්‍ය නිලධාරින් ලවා ජනහිතකාමී මෙහෙවරක් කර ගැනීමට සිතන ජනාධිපතිවරයා දැන් ඈත ගම් තුලාන්වලටද යයි. ඈත ගම් තුලාන්වල සතා සීපාවා, ගහකොළ සමග හැපි හැපී දිවි සරිකර ගන්නා මිනිසුන්ගේ සැබෑ ජීවන තතු දැන් ජනාධිපතිවරයාගේ දෑස් හමුවේ විදාරණය වන්නේය.

කොළඹ රාජ්‍ය ආයතනවලට යනවා වාගේ නොව මේ ඈත ගම්වල කරක් ගැසීම අපූරු අත්දැකීමක් වනු ඇති බව ජනාධිපතිවරයා සිතන්නට ඇත. වනේ සැරිසරන්නට යන තැනැත්තා මතක තබා ගත යුතු දෙයක් ඇත. ඒ කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බවය. බලංගොඩ රාවණාකන්ද නම් කැලෑ ගමේද, කැබිලිතිගොල්ලෑවේ කණුගහවැව වනගත ගමේදීද මේ බව දැනෙන්නට ඇත. ජනාධිපතිවරයා එනතෙක් මගබලා සිටි රාවණාකන්ද ගමේදීද ගැමියෙක්, සිරිපා අඩවියේ දී බාගත් කිතුල් තෙලිජ්ජ මුට්ටියට තම කුලීකාරයාටත් එක්ක දැමූ නඩුවේ අවනඩුව සැල කර සිටියේ ය. පොලිසිය කියන්නේ කැලේ තියෙන කිතුලේ රා ගමට ගෙන එන්නට නීතියෙන් අවසර නැති බවය. නීතියේ හැටියට කිතුලෙන් බා ගන්නා රා මුට්ටිය ගහේ සිට මීටර් එකහමාරක් තුළ විකිණීම හෝ පානය කළ යුතුය. එහෙත් රාවණා කන්දේ ගම්මුන්ගේ කිතුල තිබෙන්නේ කැලෑවේ මැද්දෑවේය. ඒ කැලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කළ කැලයකි. එහි ගොස් කිතුල් මැදීම බලපත් නැතිව තහංචිය. ඒ රා මුට්ටිය කැලෙන් ගමට ගෙනෙන විට පොලිසිය අත්අඩංගුවට ගනී. මේ අවනඩු ලෝක පාලන දෙයියන්ට කිව්වාට ඵලක් නැත. කියන්නට ඉන්නේ රාජ්‍ය නායකයාය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කුඩු බෙදා හැරි රටේ, ගමේ මිනිහාගේ තෙලිජ්ජ මුට්ටියට පොලිසිය නඩු දමන හැටි ජනාධිපතිවරයා දෑහින් දකින්නට ඇත.

ගෝඨාභය ඊළඟට ගියේ කැබිතිගොල්ලෑවේ කණුගහවැව ගමටය.

එල්ටීටීඊ ප්‍රහාර එල්ල වූ සමයේ සිංහල ගැමියෝ වසර තිහකට පෙර එගම් අතහැර දමා තිබිණ. තිස් වසරක් පුරා ඒ ගම් කැලෑ පාළු වී ගියේය. දැන් ගූගල් තාක්ෂණයෙන් ඒ ගම් බලන විට ඒවා පෙනෙන්නේ මහා ඝන වනාන්තර ලෙසය. දැන් ගම් හැර ගිය ගම්මුන්ට යළි ඇවිත් ගොයිතැන් බත් කරන්නට බැරිය. ඒවා අයත් වන්නේ දැන් වනයට අධිපති වන නිලධාරින්ගේ අණසක යටතේය.

අපේ කුඹුරු මැදින් ගල්වැටි දානවා. මේ ගල් වැටි දාන්නේ වන සංරක්ෂණයෙන්. ගල්වැටි දැම්මාම ගොයිතැං කරන්න බයයි. කොයිවෙලේ ඒ ඉඩම් පවරා ගනීද දන්නේ නෑ.

වසර තිහ හතළිහකට පෙර එල්ටීටීඊය තම රාජ්‍යයේ මායිමේ ගම්වල වූවන් පළවාහැර ඒවායේ තම මිනිසුන් පදිංචි කර තිබිණ. ඒ ගම් දැන් පුරාණ සිංහල ගම්කාරයන්ට අයිති නැත. එල්ටීටීඊයට පදිංචි කරන්නට බැරි වූ එහෙත් ඔවුනට බයෙන් පලා ගිය ගම්මුන්ගේ ගම්බිම් කැලෑ වී ඇති බැවින් ඒවාට ඇතුළු වෙන්නට ගොයිතැං කරන්නට ගම්මුන්ට අවසර නැත. ගම්බිම් වල නිලධාරින් මේ ප්‍රශ්න විසඳන්නේ මේ ඓතිහාසික විපත ගැන වගක් නැතිවය.

‘‘අපට කැලේට හරක් දාන්න දෙන්නේ නෑ.’’

ගැමියකු නැගූ ඒ චෝදනාවට වන නිලධාරියකු අපූරු උත්තරයක් දී තිබිණ.

‘‘කැලේට හරක් ගියහම උන්ගේ කුරවලට පස බුරුල්වෙලා සෝදාපාළු වෙනවා. ඒ නිසා තමයි කැලේට හරක් දාන්න දෙන්නේ නැත්තේ.’’

කැලේ ඉන්නා ගෝනාට, මුවාට කුර ඇත්තේය. කුළු මීමාට හෙවත් කුලාටද කුර ඇත්තේය. සොදාපාළුවෙන් කැලේ බිම් බේරා ගන්න උන්ටද කැලේ තහනම් අඩවියක් කරන්නට ඕනෑ යැයි යෝජනාවක් ගෙනාවොත් පුදුම විය යුතු නැත්තේ නොවේ.

මෙබඳු අණ පනත් ගෙනත් තිබෙන්නේ කැලෑ පාළුවන්ගෙන් වනය රැකීමටය. එහෙත් කැලෑ පාළුවන්ට මෙබඳු නීති මෙතෙක් ප්‍රශ්නයක් වී නැත්තේය. මක්නිසාද යත් ආණ්ඩුවේ නිලධාරින් උන් සමග එක්ව කටයුතු කරන නිසාය. නිලධාරින්ගේ මෙබඳු මාන්නක්කාරකම්වලින් නගරය සේම ගමද තැලේ. රට හදන්නට ආණ්ඩුව ගෙනෙන ප්‍රතිපත්ති ගැන නිලධාරින්ට වගේ වගක් නැත. එළඹෙන නව වසරේ පමණක් නොව ඉදිරි ධුර කාලයේද රට, ගම නොතකා මෙබඳු නිලධාරින්ගෙන්ද ප්‍රතිපත්ති, නීති රීති සමගද හැප්පෙන්නට සිදුවන්නේය. මෙයින් ජනතාව මුදාගැනීමට වෙහෙසීම, වෙහෙසෙනු බව දැනීම ජාතියේ හොඳම අවුරුදු පැතුමය.