කතුවැකි

ජාතියේ අනාගතය Zoom තාක්ෂණට යටවුණු වගයි

පාසල් යන වයසේ දරුවන්ට ජංගම දුරකථන පරිහරණයට ඉඩදීම ඔවුන්ගේ අනාගතය අඳුරු කරන, සදාචාරය නැතිකරන කාරණයක්ය යන මතයක් අප කා තුළත් තිබිණ. සිසුන්ට ජංගම දුරකථන පාසලට ගෙන යාම සපුරා තහනම් කර තිබිණ. හොරෙන්වත් ගෙන ගොස් අසුවුවහොත් පන්ති තහනම්ය.

එබඳු මානසිකත්වයෙන් සිටි අපට ජංගම දුරකථනය කොකං පෑවේය. තව විදියකින් කීවොත් කොකා පෙන්නුවේය. දැන් අප දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන අතට දී එය පරිහරණය කරන්නයි බලකර සිටිමු. පිරිත් පොත, කුරානය, බයිබලය හෝ භගවත් ගීතාව අතට දෙන්නට නැති උනන්දුවක් ස්මාර්ට් ජංගම දුරකථනයක් දරුවන්ගේ අතට දෙන්නට සිදු වී තිබේ.

ගුරුවරිය වෙනදා පන්ති කාමරයට එන්නේ ළමයි නිශ්ශබ්ද වෙනු කියාය. නැතිනම් ‘‘ඔය කතාව නවත්තන්න දරුවනේ’’ කියාගෙනය. එහෙත් දැන් ගුරුවරියත් Zoom තාක්ෂණය ඔස්සේ පන්තිය අරඹන්නේ ‘‘දරුවනේ කතා කරන්න’’ කියාගෙනය. මේ කාලය මැවූ වෙනසක අරුමේය. දැන් අපි කවුරුත් නූතන තාක්ෂණය හරහා ඇද වැටී, දණ නමා ඇත්තෙමු. එහෙත් තවමත් මේ තාක්ෂණය අපට කොකා පෙන්වන්නේය. එය එසේ වී ඇත්තේ මෙසේය.

Zoom තාක්ෂණය ඔස්සේ වුවත් අපේ පාසල් ඉගැන්වීම කරන්නේ පන්ති කාමරයේ තිබුණ කාලසටහන් ක්‍රමයටය. පාසල් යන දරුවන් දෙදෙනකු ඉන්නා ගෙදරට එකම වේලාවේ දෙදෙනාටම පාඩම් නියම වෙයි. එවිට ගෙදර ජංගම දුරකථන දෙකක් නොතිබුණොත් පහළ පන්තියේ දරුවාට වෙන්නේ හුළං බොන්නය.

කොරෝනා තුන්වැනි රැල්ල එනවිටද තුන්වැනි පන්තියේ පාසල් සහ සුපිරි පන්තියේ පාසල් ලෙස පාසල් අතර බෙදීමක් විය. මේ බෙදීම දුරු කරන්නට දේශපාලනයට බැරි වුවත් නවීන තාක්ෂණයට එය කළ හැකි බවට විශ්වාසයක් විය. ඒ E Class හෙවත් තාක්ෂණ පන්ති කාමර සංකල්පයන් හරහාය. කොළඹ රාජකීය විද්‍යාලයේ පන්ති කාමරයේ උගන්වන ගණිත පාඩම සියඹලාණ්ඩුවේ ඉස්කෝලෙක දරුවකුට වුව E Class සංකල්පය යටතේ ඉගෙනීමට හැකිවීමෙන් මේ අධ්‍යාපන විෂමතාව තුරුන්වේය යන විශ්වාසය විය. ජංගම දුරකථන එකාට දෙක බැගින් තිබෙන රටේ හච්චිකුච්චියේ, හේනේ දරුවා අතද ජංගම දුරකථන තිබෙන නිසා ජංගම දුරකථන තාක්ෂණයෙන් නම් අපි සන්නද්ධ බව කවුරුත් සිතූහ. එහෙත් එය තාක්ෂණ භාණ්ඩ පරිහරණයක්ම බව කොරෝනා තුන්වැනි රැල්ල අපට පෙන්වා දී තිබේ.

නිකවැරටියේ ගම්වල ඇවිදින්නට යන අයට පාර මැද්දේ කුඩ උසුලා තිබෙනු දැක ගත හැකිය. ඒ කුඩ යට ඉන්නේ දම්මි, සුගත් නොවේ. කුඩේ යට තිබෙන්නේ රවුටරයය. පාරේ හොඳටම සංඥා තිබෙන තැන කුඩයක් උසුලා එතැන සිට ගෙදරට වයර් ඇද පාඩම් උගන්නා දරුවෝ එහි වෙති. වතුර ටැංකි උඩ, ගස් අතුවල ඉඳගෙන උගන්නා යොවුන් මානවයන්ගේ පින්තූර පත්තරවල අප අනන්ත දැක ඇත්තෙමු.

ටියුෂන් යවන්නට බැරි නිසා දෙමාපියන්ගේ සාක්කුවලට සහනයක් තිබෙන බව සිතන්නට අද අඳ බාලයකුටද බැරිය. ටියුෂන් ගුරුන්ට නම් කොරෝනා නිසා වියදම් අඩුය. පන්ති කාමරවලට කුලී ගෙවන්නට ඕනෑ නැත. නගරෙන් නගරෙට, පන්තියෙන් පන්තියට යන්නට නැත. ඒ නිසා තෙල් වියදම් වන්නේද නැත. ගෙදරම බිත්තියකට පිටදී ලැප්ටොප් කැමරාවට මුහුණ පා සිසුන්ට උගන්වන පහසුව උන් සතුය. එහෙත් එදා ටියුෂන් ගුරුවරුන් අය කළ ටියුෂන් ගාස්තුව සතයකුදු අඩු නැත. එදා දරුවා අතට දුන් නිබන්ධනය දැන් එවන්නේ දෙමාපියන් ලවා ගාස්තු ගෙවා ගැනීමට තැපෑලේය. මෙය ටියුෂන් ගුරු, දෙගුරුන්ගේ රීරි මාංසය උරා බීමකැයි කීවාට කවර වරදද? දැන් ගමන් ගාස්තු නැති වුවද කාඩ් දැමීමට යන වියදම එමෙන් දෙගුණයකි.

එසේ කළත් මේ ක්‍රමය ගැන දරුවන් සෑහීමකට පත්වන්නේ නැත. මේ දුරස්ථ අධ්‍යාපනයේ ඵල නිසරු බව පර්යේෂකයෝ කියති.

මේවාට විසඳුම් දිය නොහැකිද? මේ යන පාරේම මේවාට විසඳුම් ඇති බවක් නොපෙනේ.

පෙර පාසල් දරුවන්ටද දැන් Zoom තාක්ෂණය යටතේ උගන්වනු ලැබේ. පෙර පාසල තිබෙන්නේ අකුරු කරන්නට, විෂය ධාරාවක් උගන්වන්නට නොවන බව ලෝක සම්මතයය. එය තිබෙන්නේ දරුවන්ට සමූහයක් සමග කටයුතු කරන්නට පුහුණු කරන්නටය. ඇවතුම් පැවතුම් පුරුදු කරන්නටය. ඒවා ගුරුවරියකගේ සෙවණේ ආදර වදන් අසමින් ඇගේ ඇස් බැල්ම යටතේ කෙරිය යුතු දේය. Zoom තාක්ෂණයෙන් ඒවාද උගන්වන්නේ ලෝක විහිළුවක් සපයා පෙර පාසල් ගුරුන්ට ගාණක් ගරා ගැනීමට පමණය.

සැබැවින්ම පෙර පාසල් Zoom තාක්ෂණය ඔස්සේ කරන්නට වුවමනාද? අම්මා, තාත්තා දෙගුරුන් ලෙස හඳුන්වති. ඒ දෙගුරුන්ට මේ Zoom තාක්ෂණය ඔස්සේ එන පෙර පාසල් ගුරුතුමියට වඩා හොඳට ගෙදර ඉඳන් තම බිළිඳාට ගුරුකම කළ හැකිය. පාසලේ පවතින ක්‍රමයටම මේ තාක්ෂණය යටතේ ඉගැන්විය හැකිද, යුතුද යන්න සලකා බැලිය යුතුය. ඒ විෂය ධාරාව ඒ ආකාරයෙන්ම දරුවන්ට ඉගැන්විය හැකිද යන්න ගැන සලකා බැලිය යුතුය. දැන් ඒවා තීරණය කරන්නේ ටියුෂන් ගුරුවරයාය. නැතිනම් දරුවන්ය. Zoom ඉගැන්වීමේ ආතතියෙන් පෙළෙන දරුවන්ට දැන් මේ මහා විෂය ධාරාවම ඉගෙන ගන්න ඕනෑද, නැද්ද යන පැනය මතුව තිබේ. ඒ පැනයට ඉක්මන් උත්තර ජාතියේ අනාගතය පතයි.