Uncategorized

ජාතික ලොතරැයි මණ්ඩලය නව මගකට

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා සමගින් ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් ක්‍රියාවලිය සහ ඉදිරි අනාගත සැලසුම් පිළිබඳව කළ සංවාද සටහනකි.

ජාතික ​ලොතරැයි මණ්ඩලයේ මූලික කාර්ය ලොතරැයි අලෙවිය වුවත් මණ්ඩලයේ අරමුණ කුමක්ද?

ශ්‍රී ලංකාවේ මුදල් පනතෙන් ස්ථාපිත කරන ලද මෙම මණ්ඩලයේ මූලික අරමුණ රටට අවශ්‍ය ආදායම සපයා ගැනීමට සහායක් වීම. මෙම කර්තව්‍යයේදී අපේ පංගුව ඉතා විශාලයි. වසරකට අපි රාජ්‍ය භාණ්ඩගාරයට ආසන්න වශයෙන් රුපියල් පමණ මුදලක් ලබා දෙනවා. වගකීම් සහගත වෙහෙසකර ක්‍රියාවකයි අපි නියැළී ඉන්නේ. මොකද අපි ගනුදෙනු කරන්නේ මිනිසුන්ගේ අරමුණු සහ හීන එක්ක. හුදෙක් යම් භාණ්ඩයක් අලෙවි කරනවා වගේ අපේ ලොතරැයි අලෙවි කරන්න බැහැ. මේ අභියෝග ජය අරන් රටේ ආර්ථිකයට පන්නරයක් වීමයි අපේ අරමුණ.

ලොතරැයි මිලදී ගැනීම සූදුවක් නිසා සමහර පිරිස් ලොතරැයි මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනව නේද?

ඔය අදහස කෙනකුගේ හිතේ ඇතිවීම ඉතාමත් සාධාරණයි. ලෝකේ අනිකුත් රටවල ලොතරැයි කියන්නේ සූදුව කියන සංකල්පයට ඉතා සමීපව යන දෙයක්. නමුත් අපේ රටේ ලොතරැයි කියන්නේ සෘජුවම රජය විසින් මෙහෙයවනු ලබන ක්‍රියාවලියක්. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, රාජ්‍ය භාණ්ඩාගාරය ආදී අපේ රටේ මූල්‍ය පාලනයට සිටින සියලුම ආයතනවල සෘජු අධීක්ෂණය යටතේයි අපි වැඩ කරන්නේ. පෙර සඳහන් කළා වගේ අපේ අරමුණු ර​ටේ ආර්ථික උන්නතියට සහාය වීම. ඉතින් මේක කොහොමද සූදුවක් වෙන්නේ.

ලොතරැයි මිලදී ගැනීම තරමක් යල් පැනගිය පුරුද්දක් බව සමහරු කියනවා. ඒ ඇත්තක්ද?

කොහෙත්ම නැහැ. අපේ අලෙවිය අඛණ්ඩව වර්ධනය වෙමින් ඉදිරියට යන්නේ මිනිස්සු ලොතරැයි මිලදී ගන්න නිසා. මෙතැනදී වෙන්නෙ මිනිස්සු ලොතරැයි මිලදී ගැනීමේ රටාව වෙනස් කිරීම පමණයි.ඒවා ඇත්තටම අධ්‍යයනය කළොත් සමාජ විද්‍යාත්මක සාධක කියලා පවා කියන්න පුළුවන්. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ජීවන විලාසිතා සියල්ල වෙනස් වෙද්දි ලොතරැයි මිලදී ගැනීමේ රටාව වෙනස් වීම අතිශ්‍ය සාමාන්‍ය දෙයක්.

කොවිඩ් බලපෑම ඔබේ අලෙවියටත් බලපෑමක් සිදු කරන්න ඇති?

අනිවාර්යයෙන්ම. ලොතරැයි අලෙවිය පහළ ගියා නෙමයි ඒ අවස්ථාවේදී ලොතරැයි අලෙවිය නැවතුණා. ඒත් අපි අතිශය සාර්ථක ආකාරයට අපේ අලෙවිය නැවත පෙර තිබූ මට්ටම අභිභවා යන තැනකට ගෙනාවා.

කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?

ජයගත් ආකාරයට වඩා ජයගෙන අපි ලබපු ප්‍රතිඵල අතරින් එකක් කියන්නම්. සෙනසුරාදා දිනක ඉතිහාසයේ අලෙවි වූ වැඩිම ලොතරැයිපත් ප්‍රමාණය අපි අලෙවි කළේ කොරෝනා සමයට පසුවයි. මේ ඉලක්ක ජය ගන්න අපිට සම්ප්‍රදායෙන් පිට පනින්න සිද්ධ වුණා. උදාහරණයක් විදියට ලොතරැයි ජයග්‍රහකයන්ට එම ත්‍යාග මුදල් නිවසටම රැගෙන ගොස් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළා. අපේ විශාලතම ශක්තිය වෙන ලොතරැයි අලෙවි නියෝජිතයාට දීමනාවක් ලබා දුන්නා. ලොතරැයි මිලදී ගැනීමේ පුරුද්ද ජනතාවගෙන් ගිලිහී නොයන්න අපි වගබලා ගත්තා.

ලොතරැයිපත් අලෙවිය ඉහළ නංවන්න ඔබේ සැලසුම් මොනවද?

හැමදේම වගේ මේ දේත් යාවත්කාලීන වෙන්න ඕන. රෑට රූපවාහිනියේ දිනුම් ඇදීම නරඹන සහ පුවත්පතෙන් ප්‍රතිඵල බලන සමාජ රටවාට එහා ගිය දෙයක් අපි ලබා දෙන්න සූදානම්. එහි මූලික පියවර ලෙස ලොතරැයි ඇප් එකක් හඳුන්වාදෙන්න සූදානම්. මීට අමතරව මහ පොළෙවේ ඉල්ලුම මොකක්ද කියලා හොයල බලලා ඒ දේ ලබා දෙන්නත් අපි සූදානම්. අපි අපේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ට ඒ දිස්ත්‍රික්කවලදීම මුණගැසෙන වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය සමහර අවස්ථාවලදී දේශාපලන වේදිකාව උණුසුම් කරන තැනක්. සභාපතිවරයා ලෙස ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඔව්. සමහර අවස්ථාවලදි අපි දැක්කා මුදල් අමාත්‍යංශයට පරිබාහිර අමාත්‍යාංශ සඳහා ලොතරැයි මණ්ඩලය ගැසට් කරන ලෙස දේශපාලන ලෝකයේ කතාබහ ඇති වෙනවා. මෙම මණ්ඩලයේ යම් යම් කාලවලදී සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් දේශපාලන ලෝකය උණුසුම් වුණා. විනිවිදභාවයෙන් යුක්තව සේවය කරනවා නම් කිසිම තැනක ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ. අපේ මණ්ඩලය අයත් වෙන්නේ මුදල් අමාත්‍යාංශයට. ඒ කියන්නේ රටේ අග්‍රාමාත්‍යවරයාට. ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ රජයේ සංකල්ප පෙරදැරිව යන මේ ගමන ර​ටේ අභිවෘද්ධියට පිටිවහලක් කිරීම ඒ නිසා පහසුයි.

ඕනෑම සභාපතිවරයකු සේම ඔබටත් ඔබේ ආයතනය පිළිබඳව ඉලක්කයක් ඇති?

අපේ රටේ ලොතරැයි අලෙවි කරන ආයතන දෙකයි තියෙන්නේ. එතකොට අලෙවියෙන් කොටසක් අපිට නිතැතින්ම හිමි වෙනවා. ඒත් මේ ගල්වුණ ආදායම අපි අතික්‍රමණය කරන්න ඕන. අපේ අරමුණ දැනට අලෙවි වන ලොතරැයි ප්‍රමාණය අවම වශයෙන් දෙගුණයකින්වත් වැඩි කරලා ඉන් වැඩි පංගුවක් අපි ලබා ගැනීමයි.

ඉලක්කය බැලූ සැණින් අපහසුයි වගේ පෙනෙන්නෙ?

අපහසුයි තමයි. ඒත් රජයේ සහායත් අපේ මණ්ඩලයේ සේවකයන් තුළ තිබෙන හැකියාවත් ලොතරැයි අලෙවි නියෝජිතයන් අපට දක්වන ලැදියාවත් මත මට ඉතා විශ්වාසයයි අපිට එය කළ හැකියි.

 

කලණ වීරසිංහ