කතුවැකි

ජාතික ක්‍රිකට් පිල පෞද්ගලීකරණය කරමුද?

සංචරණ සීමා ලිහිල් කර ඇතත් රට තවමත් යථා තත්ත්වයට පත්ව නැත. මේ නිසා කවුරුත් සිටින්නේ කනස්සල්ලෙනි. මෙම තත්ත්වය මත කිසියම් අවිනිශ්චිත බවක් ඇතත් කිසිවකු අපේක්ෂාභංගත්වයට පත්ව ඇතැයි කිව නොහැකිය. මේ වන විට රටේ ජනගහනයෙන් සියයට දහයකට වැඩි පිරිසකට එන්නත් ලබා දී අවසන් අතර වසර අවසාන වන විට ජනගහනයෙන් බහුතරයකට එන්නත් දීම ආණ්ඩුවේ සැලසුමය. එසේ නොවුණහොත් කොවිඩ් යනු ලෝක ව්‍යාප්ත වසංගතයක් නිසා එය මර්දනය කිරීමට ලෝක මට්ටමින්ද මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. කොවිඩ් යනු මේ මොහොතේ මාරාන්තික වයිරසයක් වුවත් මෙම කාරණා හේතුකරගෙන තව වසරකින් හෝ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් කරනු ඇතැයි යන අපේක්ෂාව කා තුළත් තිබේ. කොවිඩ් නිසා අපේක්ෂා භංගත්වයක් ඇති වී නැත්තේ මේ නිසාය.

මාරාන්තික කොවිඩ් වයිරසය ගැන තත්ත්වය එසේ වුවත් අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැන් කිසිවකු තුළ එවැනි සුබවාදී අපේක්ෂාවන් නැත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම ලබන නින්දිත පරාජයන් නිසා කාගේත් කල්පනාව වී ඇත්තේ කල්පයක් ගතවන තෙක් හෝ ක්‍රිකට්වලින් නම් අපට ගොඩ ඒමක් නොමැති බවය.

එක්තරා පන්තියක ක්‍රීඩාවක් බවට පත්ව තිබූ ක්‍රිකට් ක්‍රීඩාව අප රටේ පොදු ජන ක්‍රීඩාව බවට පත් වූයේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් සමගය. අපේ අසල්වැසි ඉන්දියාවේ මෙන් එය ආගමක් කිරීමට ජනතාවගේ පූජාවට ලක්ව නැතත් අපේ සමාජයේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඇත්තේ ඊට ආසන්න තත්ත්වයකි. අපේ ජාතික ක්‍රීඩාව අමතක වී ක්‍රිකට් යනු ජාතික ක්‍රීඩාව යැයි විශ්වාස කරන තරමට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ කැමැත්ත, ලැදියාව, ආදරය හා විශ්වාසය වර්ධනය වී තිබේ.

ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවරක් එම අනුශූරතාව දිනා ගත්තේය. ආසියානු කුසලානය පමණක් නොව මෑතකදී ආරම්භ වූ විස්සයි විස්ස ලෝක කුසලානය පවා රටට දිනා දී තිබේ. ඉන් අනතුරුව ලෝකයේ අංක එකේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම බවට පත් වන්නටද අපට හැකි විය.

මේ ජයග්‍රහණ සියල්ල අතරේ අප පරාජය වූ තරගද ඕනෑ තරම් තිබේ. එය ක්‍රීඩාවකට උරුම ලක්ෂණයකි. ක්‍රීඩාවකදී ජය මෙන්ම පරාජයද අපේක්ෂා කළ යුතුය. පරාජයක් යනු ජයග්‍රහණයක් අත්කර ගැනීමේ පළමු පියවර යැයි සනාථ කරමින් අප ඒ හැම අවස්ථාවකදීම පරාජයෙන් පාඩම් ඉගෙන යළි ජයග්‍රහණ අත්කරගෙන තිබේ.

දැන් අපේ ජාතික ක්‍රිකට් පිල පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. මේ නිසා අපට එක පිට එක තරග නොව තරගාවලි පරාජයන්ගේ ලැජ්ජාව දරාගන්නට සිදුව තිබේ. මෑතකදී ජාතික ක්‍රිකට් පිල සහභාගි වූ විස්සයි – විස්ස තරග දොළහකින් එකොළහකින්ම ලබා ගත්තේ පරාජයන්ය. ජාතික ක්‍රිකට් පිලට මෙම පරාජයන් ගැන ලැජ්ජාවක් නැතත් රටේ ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මෙම පරාජයන්ගේ බර දැනෙනවාට සැකයක් නැත. ඒ මෙලෙස පරාජය වන්නේ ක්‍රීඩකයන් එකොළොස් දෙනකු නොව රට යන හැඟීම නිසාය. අනෙක් අතට මේ දිනවල රටේ සියලු දෙනා කොවිඩ් හේතුකොටගෙන සිටින මානසික තත්ත්වය එම හැඟීම වැඩියෙන් දැනෙන්නට හේතුවකි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල මේ දිනවල ක්‍රීඩා කරන ආකාරය දකින අපට නම් සිතෙන්නේ ඔවුන් නම් කළ යුත්තේ ජාතික ක්‍රිකට් පිල ලෙස නොව කජුවත්ත එක්සත් ක්‍රිකට් පිල ලෙස බවය. ඔවුන් ක්‍රීඩා කරන ආකාරය දකින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට කුමකට ටෙස්ට් තත්ත්වය දුන්නේ දැයි සිතා පසුතැවිලි වනවාද විය හැකිය.

කරුමය කියන්නේ මෙවැනි අන්දකයිප්පු ක්‍රිකට් කණ්ඩායමක් නම් කර ඇති තේරීම් කමිටුව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි පසුතැවිල්ලක් හෝ ලැජ්ජාවක් ඇති බවක් දකින්නට නොමැති වීමය. ඔවුන් කියන ආකාරයට ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ, 2023 ලෝක කුසලානයයි. මේ දිනවල පැවැත්වෙන තරග ඔවුන්ට නතින්ය. එහෙත් මේ යන ආකාරයට 2023 ලෝක කුසලාන තරගාවලියට තරග කිරීම තබා වතුර ගෙනියන්නට හෝ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කර ගනු ඇත්දැයි යන්න සැක සහිතය.

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ නමවැනි ස්ථානයයි. අපට මෙම ස්ථානය හෝ රැක ගන්නට නොහැකි වුවහොත් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට නම් ටෙස්ට් වරම් නැති ආධුනික කණ්ඩායම් සමග තරග කරන්නට සිදුවනු ඇත. එක්වරක් ලෝක ක්‍රිකට් කුසලානයත්, දෙවරක් එහි අනුශූරතාවත් දිනාගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල අද ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ පත්ව සිටින්නේ එවැනි අවදානමකය.

ටෙස්ට් තත්ත්වයවත් නැති රටවල් සමග තරග කර අපේ දක්ෂතා පෙන්විය යුතු තරමට අප පිරිහී සිටින්නේ මුදල්, තාක්ෂණය, පුහුණුකරුවන් ආදී සියලු දෙයින් අතීතයට වඩා පොහොසත්ව සිටියදීය. අද පන්දුවට පහර දීම, දඟ පන්දු යැවීම, වේගපන්දු යැවීම, පන්දු රැකීම ආදී හැමදේටම පුහුණුකරුවෝ සිටිති. තව පුහුණුකරුවකු අවශ්‍ය වන්නේ කිලෝ මීටර් දෙකක් දුර දිවීම පුහුණු කිරීමට පමණය! තේරීම් කමිටුව කණ්ඩායම තෝරන්නේ මිනින්තු 08යි, තත්පර 35 ක් ඇතුළත කිලෝ මීටර් දෙකක් දුවන්නට හැකි ක්‍රීඩකයන් පමණක් නිසාය.

අපේ රටට ටෙස්ට් තත්ත්වය ලැබෙන විට ලෝක කුසලානය දිනා ගන්නා විට කණ්ඩායමට සිටියේ එක් කළමනාකරුවකු පමණකි. එහෙත් දැන් හැම ක්‍රීඩකයකුටම කළමනාකරුවෙක් බැගින් සිටිති. ක්‍රිකට් ක්‍රීඩාවේ අභ්‍යන්තරය දන්නා අය නම් කියන්නේ ජාතික ක්‍රිකට් පිල තෝරන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත නොව කළමනාකරුවන්ගේ ‘දක්ෂතා’ මත බවය. ඒ අනුව බලන විට ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් මුදල් ඉපැයීමේ අරමුණෙන් කොන්ත්‍රාත් අත්සන් නොකිරීමට උත්සාහ කිරීම ගැන වරදක් කියන්නට ද බැරිය.

මුදල විසින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නට පටන් ගත්තේ 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුවය. මේ නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩාව දැන් පත්ව තිබෙන තත්ත්වයට 1996 න් පසු පත් වූ ක්‍රීඩා ඇමැතිවරුන්, පාලකයන් මෙන්ම ක්‍රීඩකයන්ද වගකිව යුතුය. ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලක්ෂ ගණන් වැටුප් ගෙවීම ගැන අපට කිසිම කහටක් නැත. ක්‍රීඩාවෙන් බාහිරව තමන්ගේ ජනප්‍රියත්වය විකුණා මුදල් හම්බ කිරීම ගැනද ප්‍රශ්නයක් නැත. හැම දෙනාම හැම දෙයක්ම විකිණෙන ක්‍රමයක් තුළ ඔවුන්ට පමණක් එසේ නොකරන්නැයි කිව නොහැකිය.

වරද ඇත්තේ ජනතාව අතය. ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ රට හෝ ක්‍රීඩාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බව ඔවුන් තවමත් තේරුම් ගෙන නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වන විට රට පරාජය වූවා යැයි දුක්වන්නේ ඒ නිසාය. රට පරාද කළ ක්‍රීඩකයන්ට දොස් කියන්නේ ඒ නිසාය. මේ දුකින් ජනතාව මුදා ගැනීමටනම් කළ යුතුව ඇත්තේ සුළු දෙයකි.

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට කරන්නා සේ ක්‍රිකට් පිලද පෞද්ගලික අංශයට විකුණා දැමිය හැකිය. මිලදී ගන්නට කිසිවකු නැතිනම් නිකං දුන්නත් රටට ලාභය. ක්‍රිකට් ක්‍රීඩකයන්ටද ලාබය. නරඹන්නාටද දුකක් නැත. ඔහුට අවශ්‍ය නම් අශ්ව රේස්වලට ඔට්ටු අල්ලන්නා සේ ඔට්ටු අල්ලන්නටද හැකිවනු ඇත.