අතන මෙතන

ජවිපෙ ආසන 6 ආසන දෙකට බහිනවා – ලන්සා

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබුණේ 10 සහ 11 දෙදිනය. ජනතා විමුක්ති පෙරමුණේ කෙරුවාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතත් ඒකාබද්ධ විපක්ෂය සූදාමින් සිටියේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමටය. මහින්ද කල්තබා මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂ විය යුතු බවය.

ඒ අනුව 10 වැනි දා විවාදය අවස්ථාවෙදි සහ පසුදින ඡන්දය විමසන අවස්ථාවේදිත් විශ්වාසභංග යෝජනාවට පක්ෂ මන්ත්‍රීවරුන් එකතු කරගැනිමේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවි තිබුණි. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහ සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට කැඳවා ගෙන ඒම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබුණි.

11 වැනි දා උදෑසන පටන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දුරකථන මගින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ යෙදී සිටියේ මහින්දගේ උපදෙස් පරිදිය. මහින්දගේ පණිවිඩිය සියලු මන්ත්‍රිවරුන් හට දැනුම් දුන්නත් ඔවුන්ට දුමින්ද සහ මහින්ද සමරසිංහ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. දුමින්ද සහ සමරසිංහගේ දුරකථන ක්‍රියාවිරහිතව පැවැතුණි. උදය ගම්මන්පිල ද ඒ වන විට විදෙස් සංචාරයක නියැලෙමින් සිටියේය.

කෙසේ හෝ ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 27කින් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සමත්විය. ඒ දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබීම මතය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මත ගැටුමක් පැවැති අතර දීර්ඝ සාකච්ඡා වටයකින් පසුව විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුවට සහය පළ කිරීමට දෙමළ සන්ධානය තීරණය කළේ කල්මුණේ ප්‍රාදේශීය සභාව අනුමත කිරීමට ආණ්ඩුව එකග වූ නිසාය. ප.ව 4.30ට අගමැතිවරයා ඒ සදහා අනුමැතිය ලබා දුන් අතර මුදල් ඇමති මංගල කඩිණමින් ඒ සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය පවා වෙනකර දුන්නේ සිය බලතල භාවිතා කරමිනි.

ඡන්ද විමසීමෙන් අනතුරුව මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලය අසළ කතාබහක නියැලී සිටියේය. ප්‍රසන්න, සනත්, ලන්සා ඇතුළු පිරිසක් එහි සිටියහ.

“මම නම් මුල ඉඳන් දැනගෙන හිටියා ජනතා විමුක්ති පෙරමුණ මේ කරන්නේ නාඩගමක් කියන එක. විශ්වාසභංග යෝජනාවක් ගෙනාවට කිසිම අවස්ථාවක ඒක දිනවන්න අනුර කුමාරලා වැඩ කළේ නැහැ. මෙහෙම යෝජනාවක් ගේන කොට අනෙකුත් පක්ෂවල සහය ලබාගන්න සාකච්ඡා කරන්න ඕනේ. සැලසුම් කරන්න ඕනේ. ඒ මොනවත් නැතුව පාද සටන් කිය කියා පාරේ ඇවිද ඇවිද හිටියා විතරයි“ ප්‍රසන්න චෝදනා කළේය.

“ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව පෙරළන්න අවශ්‍යතාවක් නැහැ කියන එක ඕනේ කෙනෙක් දන්නවා. හැබැයි මේ වෙලාවේ හැටියට ආණ්ඩුවට එරෙහි සටනකදී මඟ හැරලා යන්න අපට පුළුවන්කමක් නැහැ. කවුරු සටන ආරම්භ කළත් අපි ඒකට සහය දෙන්න ඕනේ. මොකද ජනතාව අපට පවරලා තියෙන වගකීම තමයි මේ ආණ්ඩුව ගෙදර යවන එක. අපි මොන ජාතියෙන් හරි ඒක කරන්න ඕනේ“ මහින්ද පැහැදිලි කළේය.

“අපි අපේ යුතුකම ඉෂ්ඨ කළා. ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාම මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. උදය මන්ත්‍රීතුමා විතරක් රට ඉන්න හින්දා එන්න බැරි වුණා. අනෙක් ආවේ නැති අය නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් අපට එකතු වෙච්ච අය. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර හයක් තියාගෙන ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණේ අපි නිසයි“ ප්‍රසන්න පැවසීය.

“මම දැක්කා අනුර කුමාර කියනවා මහින්ද රාජපක්ෂයි සම්බන්ධනුයි හරියට හිටියා නම් ඡන්දෙ දිනන්න තිබුණා කියලා. අනුර කුමාර කතා කරන්නේ කටින් ද වෙන තැනකින් ද දන්නේ නැහැ. අපේ සහය අපි දුන්නා. දෙමළ සන්ධානයේ සහයෝගය ලබා ගන්න එක අනුර කුමාරගේ වැඩක්. ඒක නොකර දැන් එනවා අපිට දොස් කියන්න“ සනත් පැවසීය.

“දෙමළ සන්ධානයයි ජවිපෙයි එකම කාසියේ දෙපැත්ත වගෙයි. දෙගොල්ලොම කරන්නේ රනිල් හාමු රකින එක. මේ දෙගොල්ලොටම තියෙන්නේ විපක්ෂයේ ඉන්නේ නැතුව රනිල් හාමු ළඟට ගිහින් ඇමැතිකම් ඉල්ල ගන්න එක. එහෙම වුණා නම් විපක්ෂයේ අපිටත් කරදරයක් නහැ“ ප්‍රසන්න කීවේය.

“අපිට මතකනේ අනුර කුමාරලා ඔක්තෝබර් පෙරළියෙන් පස්සේ රනිල්ගේ අගමැතිකම බේරගන්න දුවපු දිවිල්ල. විජිත හේරත් පාර්ලිමේන්තුව මැද්දෙන් මීටර් සීය දුවලා තමයි විශ්වාසභංග යෝජනාව භාර දුන්නේ. අද එනවා ආණ්ඩු විරෝධී සටන අතට ගන්න. මෙදා පාර ඡන්දෙන් ලැබෙයි උන්දලට. ආසන 6 ආසන දෙකට බහිනවා“ ලන්සා කීවේය.