brand logo

ජයලත් මනෝරත්නගේ පුතා වෙන්න ලැබීම වාසනාවක්

20 October 2020

‘රොෂාන් රණවක කියන්නේ කාටවත් කරදරයක් නැතිව ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් ඇති කර නොගෙන තමන්ගේ පාඩුවේ ඉන්න නළුවෙක්. මේ දිනවල රොෂාන් සිය පවුල් සමගින් සිටින​ වෙළෙඳ දැන්වීමට තාත්තලාගේ හැඟීම් අවදි කරන්නට සමත් වෙලා. ඒ වගේම මිස් ජෙනිස් චිත්‍රපටයෙන් ඔහුගේ රංගනය ගැන බොහෝ දෙනා කතා කරනවා. මේ හැම දේ ගැනම මොහොතක් ඔහු සමග කතා බහ කළා.’ පුතාගේ උපන්දිනේ සරුවට අරගත්තා නේද? සරුවක්ම නැහැ. නමුත් පුංචි පුතාට කවදාහරි එයාගේ ළමා කාලය මතකයේ රැඳෙන්න ඕන නිසා ළඟම හිතවත් අය එක්ක එකතුවෙලා පළවෙනි උපන්දිනය සැමරුවා. මොකද මගේ පළවෙනි පුතාගේ පළවෙනි උපන්දිනය කියන්නේ එයාගේ තාත්තට සුවිශේෂී අත්දැකීමක්. හැබැයි පාටි නොදා පින්කම් කෙරුවොත් හොඳයි කියලා සමහරු කියලා තිබුණා නේද? මම ඒකට ෆේස් බුක් එකෙන් උත්තරයක් දුන්නා. මොකද මම කරපුවා කියන්න ගියොත් ඒක මටම කරගන්න විහිළුවක් වගේ. මම දාන දෙන්නේ පින්කම් කරන්නේ කාටවත් පේන්න නෙවේ. මට වැඩිය තියෙනවා නම් මම දෙනවා. නැති කෙනෙක් මුණ ගැහුණොත් දෙනවා. උත්සවයක් ගත්තේ කාටවත් පේන්න නෙවේ. එය අවශ්‍ය දෙයක් නම් පමණයි කරන්නේ. මගේ දරුවාගේ උපන්දිනේ මට තරම් වටින කෙනෙක් තවත් ඉන්නවද? රඟපෑමේ අඩුපාඩු තිබුණොත් කියන්න. මම හදාගන්නම්. හැබැයි සමාජයේ යහපත් ආකාරයට ජීවත් වෙන්න මම හොඳට දන්නවා. කාටවත් කරදර නොකර මම පාඩුවේ ජීවත්වෙන කෙනෙක්. ඔබ තාත්තා කෙනෙක් වෙලා වසරක් ගත වුණා. පියෙක් වූ පසු ඔබ වෙනස් වෙලාද? පියෙක් ලෙස ඔබේ අත්දැකීම් මොනවද? හැම පිරිමියෙක්ම තාත්තා කෙනෙක් වුණාට පස්සේ වෙනස් විය යුතුමයි. මොකද දරුවෙක් කියන්නේ තාත්තගේ ජීවි​තේ. මිනෙත් පුතා වෙනුවෙන් මම වෙනස් වුණා. ඒකට හොඳ උදාහරණයක් තමා මම මේ දිනවල පෙනී සිටින වෙළෙඳ දැන්වීම. බේබි ෂෙරමි ඇඩ් එකේ සම සහභාගි දෙමාපියෝ කියන සංකල්පය මුළු රටට ලෝකයට අරගෙන යනවා. මොකද හැමදාම කියන්නේ අම්මා දරුවෝ හදනවා. තාත්තා හම්බ කරනවා.... ඇත්තටම එහෙම නැහැ. දරුවෝ වෙනුවෙන් අම්මා තරමට තාත්තත් දායකත්වය ලබාදිය යුතුමයි. මම හිතන්නේ මේ දැන්වීමට ඔවුන් අපේ පවුලම තෝරාගෙන තියෙන්නේ හේතුවක් ඇති නිසා වෙන්න ඇති. මගේ දරුවා වෙනුවෙන් සහ මුළු ලෝකයේ ඉන්න තාත්තලා වෙනුවෙන් කරපු දැන්වීමක් ලෙස මට මේක දැනුනා. මමත් මගේ දරුවා වෙනුවෙන් හැම දෙයක්ම වෙනස් කරගත්තු තාත්තා කෙනෙක්. ඔබ කාර්යබහුල නළුවෙක්. කොහොමද පවුල සමග ගත කරන්න කාලය කළමනාකරණය කරන්නේ? උනන්දුව තියෙනවානම් මොනවද කරන්න බැරි. මට තිබුණ පුංචි නිදහස දරුවා වෙනුවෙන් වෙන් කළා. ඉස්සර තරම් මම දැන් ෆිල්ම් බලන්නේ නැහැ. ඒ කාලයත් දරුවාට දුන්නා. දරුවා වෙනුවෙන් කැපකිරීම් කරනවා කියන්නේ මුදල් හම් කරලා දරුවන්ගේ පොතේ දාන එක නෙවෙයි. දරුවාගේ මනස සතුටින් තියන එක. කුෂ්ලානී ප්‍රෙග්නට් වෙච්ච දවසේ ඉඳන් මම ඇය ළඟින් උන්නා. බඩේ ඉන්නකොට පැටියට කතා කළා... පුතාට අවුරුද්දක් වෙනකොටත් මම තාමත් එයා ළඟ. අම්මා තාත්තා දෙන්නා ළඟ එයා පුදුම සතුටකින් ඉන්නේ. ඔබ පවුල සමග කාලය ​ගෙවන කෙනෙක්. තාත්තලා වෙනුවෙන් උපදෙසක් දෙන්න. හැම තාත්තා කෙනෙක්ටම කියන්නේ තාත්තලා ඉන්නේ හම්බ කරන්න විතරක් නෙවේ. දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම ඕන. දරුවාගේ ළමා කාලයේ දරුවන්ගෙන් ඈත්වෙලා හම්බ කරලා බැංකු පොත් පිරෙව්වට කවදාවත් හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ. ළමයා වෙනුවෙන් කරන හොඳම ආයෝජනය තමයි, එයාට දැනුම් තේරුම් ඇති වයස වෙනකම් එයා එක්ක ළඟින්ම ඉන්න. ඒක තමා හොඳ තාත්තා කෙනෙක් දරුවා වෙනුවෙන් කරන හොඳම ආයෝජනය. දරුවන්ගේ මූණේ හිනාව නැත්නම් කොච්චර හම්බකළත් වැඩක් නෑ. ඔබගේ අලුත් නිර්මාණ මොනවද? අලුත්ම චිත්‍රපටය මිස් ජෙනිෆ් තිරගත වුණා. මගේ පළවෙනි චිත්‍රපටය හිරිපොද වැස්සෙ මම ජයලත් මනෝරත්න සමග රඟපානවා. නමුත් මිස් ජෙනිෆ් චිත්‍රපටයේ මම ඔහුගේ පුතාගේ චරිතය රඟපානවා. රිදී තිරයේදී හරි ඔහුගේ පුතා වෙන්න ලැබීම හරිම සුන්දර අත්දැකීමක්. ඔහු අප අතර නැති එක ලොකු පාඩුවක්. මිස් ජෙනිෆ් කියන්නේ හොඳ මට්ටමේ හාස්‍ය චිත්‍රපටයක්. මම රඟපාන චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නැවතත් වසංගත තත්ත්වය වැඩිවෙලා. අනාගත නිර්මාණවලට මොනවා වෙයිද? අර්බුදයක් තියෙනවා. නමුත් මොනවා කරන්නද? කරපු ​හොඳ නිර්මාණ කීපයක් එන්න තියෙනවා... රුහිරේ, නිහඬ සෙවණැලි, සීක්‍රට් ඔෆ් ද රොස් වගේ චිත්‍රපට ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමටත් හැම අවුරුද්දේම මම රඟපාපු චිත්‍රපට කිහිපයක් තිරගත වෙනවා. කොච්චර ප්‍රශ්න තිබුණත් ලංකාවේ ඉපදුන අපි වාසනාවන්තයි කියලා හිතෙනවා. ඉක්මනින් හොඳ කාලයක් එයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි
 

More News..