ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගන්න වරෙන්තු
17 February 2020
ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගන්න වරෙන්තු
17 February 2020
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ලේ පිහිටි මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වන අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(17) නියෝග කළාය.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ. එහෙත් විත්තිකාර ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී. එමෙන්ම විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් නොතීසි නිකුත් කිරීමටද නියෝග කළාය.
ඉන් අනතුරුව නඩු විභාගය ජුනි මස 29 දා ට කල් තැබුණි.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කොට කුරුඳුවත්ත පොලිසිය විසින් අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක නම් කරනු ලැබ සිටිති.
විත්තිකාර රොජර් සෙනෙවිරත්න මහතා ද අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්වයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය සහතිකයක් ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
(අධිකරණ වාර්තාකරු)