ක්‍රීඩා

ජයග්‍රහණයේ රහස කණ්ඩායමේ එකමුතු කමයි

‘මං මේ දකින්නේ හීනයක් ද?’ කියා සිතුනි.

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ අපට පහළින් සිටින්නේ ඇෆ්ගනිස්තානයයි. අපට උඩින් තවත් රටවල් 6කි. උඩින් ඇති රටවල් අතර උඩින්ම ඉන්නේ පාකිස්තානයයි. ඒ ලැයිස්තුවේ ඇෆ්ගනිස්තානයට උඩින් සිටින අපි එහි උඩින්ම සිටින පාකිස්තානයට ගැසුවේය. මේ ගැසුවේ අපේ ‘ඔරිජිනල්’ ජාතික කණ්ඩායම නොවේ. පාකිස්තානය විසින් ජාතික කණ්ඩායමක් සඳහා කළ ඉල්ලුමට කුමක් හෝ සැපයුමක් ලබාදීම වෙනුවෙන් ‘ඇටවූ’ කණ්ඩායමකි. නමුත් මේ ‘ඇටවූ’ කණ්ඩායම විසින් ලොව අංක එක කණ්ඩායම ‘නැටවූ’ හැටි දුටු විට ඇස් අදහාගත නොහැකි විය. වෙන තැනකත් නොවේ. ලොව අංක 1ට පහරදෙන්නේ ඔවුන්ගේම රටේදීය. එපමණක්ද…. ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදුකර අවසන් පන්දුවාර 20 තරගයට එවූ කණ්ඩායමත් ජය ගත්තේය. සංචාරය නෑවිත් ලංකාවේ නතර වූයේ අපේ ප්‍රමුඛ පෙළ කියා නම් කළහොත්, අපේ දෙවැනි පෙළ පමණක් නොව තෙවැනි පෙළ විසින්ද පන්දුවාර 20 තරග අංශයේ ලොව අංක එකේ කණ්ඩායම පරාජයට පත්කළේය.

සැබැවින්ම හීනයක් වැනිය.

මෙවැනි පරතරයක් සහිත කණ්ඩායම් දෙකක් අතර තරගයකදී පහළින් සිටින කණ්ඩායම ජයක් ලැබීමට නම් එක්කෝ එය අහම්බයක් විය යුතුය. නැතිනම් පාකිස්තානයට ක්‍රීඩා කළ කණ්ඩායමද ‘ජාතික කණ්ඩායම’ ලෙසින් ලේබල් කළ ‘ඩුප්ලිකේට්’ එකක් විය යුතුය. නමුත් මේ දෙකම නොවේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ජයගත්තේ එක් තරගයක් පමණක් නම්, එය අහම්බයක් ලෙසින් ගත හැකිය. නමුත් පළමු, දෙවැනි පමණක් නොව තෙවැනි තරගයේද ජයග්‍රහණය තමන් සන්තකයේ සුරැකිව තබාගත් බැවින් එය කිසිසේත් අහඹු ජයක් නොවේ.

මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ පාකිස්තාන කණ්ඩායමේ ‘ඩුප්ලිකේට්’ එකකට ද නොවේ. ඒ බව ඔප්පු වන්නේ තරගාවලියෙන් පසුව පාකිස්තාන පිලේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු ප්‍රධානියාද යන මේ දැවැන්ත කාර්යයන් දෙකම පැවරී ඇති මිස්බා උල් හක් විසින් කළ ප්‍රකාශයෙනි. ඔහු පැවසුවේ මේ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් බහුතරය වසර 3 ක පමණ කාලයක් පුරා කණ්ඩායමේ නිත්‍ය ලෙස රැඳී සිටි අය මෙන්ම පාකිස්තානය පන්දුවාර 20 ක්‍රිකට් කලාවේ ලොව අංක 01ට රැගෙන ඒමට දායක වූවන් බවය. එම වචනවලට අනුව ශ්‍රී ලංකාව සමගින් මෙහිදී තරග වැදුණු පකිස්තානු කණ්ඩායම එරට ‘සුපිරිම එක’ය. එරටද ‘සුපිරිම එක’ වූ ලෝකයේද ‘සුපිරිම එක’ වූ පාකිස්තාන කණ්ඩායම සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවී නම්, මේ සංචාරයට ශ්‍රී ලංකාවෙන් අප යවා ඇත්තේ අපේ සුපිරිම කණ්ඩායමය. දැන හෝ නොදැන අප එය කර ඇත.

මේ සුපිරිම කණ්ඩායම යැයි කියන්නේ කරුණු කිහිපයක් මතය. පළමු වැන්න තනි තනි වශයෙන් ගත් කල ඇති දක්ෂතාය. පන්දුවාර 20 යනු පිත්තේ ජවය සහ පන්දුවේ ප්‍රයෝග මත රැඳුණු ක්‍රිකට් කලාවකි. මෙකී කාරණා දෙකම පාකිස්තානු සංචාරයට එක්වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තුළ විය. පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවෙකුගෙන් හයේ පහරක් දැකීම හාවා හඳ දකිනවා වැනි විය. නමුත් මේ තරගාවලියේදී හයේ පහර 15ක් දැකගත විය. එපමණක් නොව ජයසූරිය යුගයෙන් පසු ‘ඕෆ් සයිඩ්’ එක දෙසින් හයේ පහරවල් සහ තවත් දැවැන්ත පහරවල් රැසක් බලාගත හැකි විය. පුරා දස වසරක් තමන් තුළ තෙරපී තෙරපී තිබූ ජවය භානුක රාජපක්ෂ විසින් මුදාහරිද්දී, ඕෂධ ප්‍රනාන්දු තමන්ට ලැබුණු ප්‍රථම පන්දුවාර 20 තරග අවස්ථාවේදීම පිටිය හතර අතට පහර දෙද්දී, දසුන් ශානක අවසන් පන්දුවාර කිහිපයේ ලකුණු වපුරද්දී ඒවා සුපිරි බවට උදාහරණම විය. වනිදු හසරංග, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන මෙන්ම තරගාවලියේ තමන් විසින් යැවූ පන්දුවාර 11 දී ලකුණු 48ක් පමණක් ලබාදුන් කසුන් රාජිත ද පන්දුවේ ප්‍රයෝගවල ‘සුපිරි’ තැන සිටියහ. ඒ අනුව තනි තනි දක්ෂතා අතින් පන්දුවට පහරදීමද, පන්දු යැවීමද ප්‍රශංසනීය තැනක විය. පන්දු රැකීමද එසේය. කඩුලු අතර දිවීමේදී දැක්වූ දුර්වලකමක් හැරුණු විට දක්ෂතා අතින් අන් සියල්ල ඉහළ තැනක විය.

නමුත් ජයග්‍රහණය පිණිස දක්ෂතා පමණක් සෑහෙන්නේ නැත. ඒ දක්ෂතා සියල්ල හැම විටම එක මිටට එක් විය යුතුය. ජයග්‍රහණයේ රහස කණ්ඩායමේ එකමුතුබව යැයි නායක දසුන් ශානක තරගාවලියෙන් අනතුරුව පැවසුවේ ඒ කරුණයි. තමන්ට මේ ලැබුණු අහඹු අවස්ථාවෙන් තමන්ගේ  ‘ලකුණු ටික’ උපයාගෙන සැනසෙනු වෙනුවට රටේ ජයග්‍රහණය වෙනුවෙන් අවස්ථානුකූලව හැසිරුණු බවකි සෑම ක්‍රීඩකයකුගේම හැසිරීමෙන් පෙනුනේ. ඒ වනාහී දසුන් කියූ එකමුතු බවයි. ආත්මාර්ථයෙන් තොරවූ අධිෂ්ඨානයයි.

කරච්චියේ පැවැති එක්දින තරගාවලිය 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය වෙද්දී, ලාහෝරයේ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට අත්දැකීමකින් එහා දෙයක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි අප කාටත් සිතුනි. නමුත් ලාහෝරයේ ප්‍රතිඵල සැබැවින්ම ‘මං මේ දකින්නේ හීනයක් ද?’ යි හිතෙන තරමට පුදුම සහගත විය.

මෙම තරගාවලියේ පළමු තරග දෙක ජයගැනීමත් සමග, ශ්‍රී ලංකා පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ තරග 3කින් සමන්විත තරගාවලියක පූර්ණ තරග ජයග්‍රහණයක් හෙවත් තරග 3-0ක ප්‍රතිඵලයක් සටහන් කිරීමේ ඓතිහාසික අවස්ථාව උදාවී තිබියදී ඒ වෙනුවෙන්,  මුල් තරග දෙක ජයගත් එම කණ්ඩායමම යොදවනු ඇතැයි සමහරෙක් සිතූහ. නමුත් සිදුවූයේ එකක් දෙකක් නොව, වෙනස්කම් 5ක් සහිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ තෙවැනි තරගයේදී පිටියට එවීමයි. ජයග්‍රහණ අතින් වාර්තා තබනු වෙනුවට අවදානම රැගෙන මෙම තරගාවලියට සහභාගිවීමට පැමිණි ක්‍රීඩකයන් සියල්ලටම පාහේ අවස්ථාව දීමට තේරීම් කමිටුව ක්‍රියා කළේය. එයද එක්තරා ආකාරයක අවදානමක් ගැනීමක් විය. තරගාවලියක ජයග්‍රහණය කල්තියා ලැබුණු විට එහි අවසන් තරගය අත්හදා බැලීම් වෙනුවෙන් යොදාගැනීම සාමාන්‍ය දෙයක් වුවද, මෙම තරගාවලියේදී ඒ තත්ත්වය පොදු නොවීය. පරාජයන් රැසකින් පසු ලැබුණු ජයග්‍රාහී කණ්ඩායමක් දිගින් දිගටම ඉදිරියට මෙහෙයවන්නේද, ඉතිහාසය වෙනස් කරන තරගාවලි ප්‍රතිඵලයක් වෙත යන්නේද නැතිනම් එතෙක් තරග අවස්ථාව නොලද ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීම පිණිස එය අවස්ථාවක් කරගන්නේද යන තෝරාගැනීම් තුනෙන් තේරීම් කමිටුවේ තේරීම වූයේ අවදානම වැඩිම එක වූ තෙවැන්නය. අවසානයේ එය ජයග්‍රහණයේ ඔපය වැඩිකළ ප්‍රතිඵලයක් බවට පත්වුවද, යම් හෙයකින් අවසන් තරගය පැරදුනි නම් අසන්තා ද මෙල් ඇතුළු පිරිසට ගල් කිහිපයක් එල්ලවන්නට ද ඉඩ තිබිණි. නමුත් සියල්ල සාර්ථක විය.

දැන් ගැටලුව ඇත්තේ එය නොවේ. සියල්ල සාර්ථක නම්, ඒ සාර්ථක වූ පිරිස සමග පෙරට යනු මිස යළිත් මේ ‘ජයග්‍රාහී මුසුවේ’ පදම වෙනස් කරන්නේද යන්නයි. එනම් මෙම සංචාරයට එක්වන්නට බෑ කියා ලංකාවේ රැඳුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සිදුවන්නේ කුමක්ද යන්නයි. පාකිස්තානය යනු අවදානම් සහිත දේශයක් බව සිතා සිය ජීවිතාශාව පෙරට ගනිමින් මෙම සංචාරයට ‘බෑ’ කීම ආත්මාර්ථය පෙරට දමා උපන් රටේ අවශ්‍යතාව බැහැර කිරීමක් ලෙසින් දැකිය නොහැකිය. මන්ද සියලු සත්වයන්ට ප්‍රානාශාව ඇති බැවිනි. එබැවින් සංචාරයට නොගිය අය බියගුල්ලන් පිරිසක් ලෙසිනුත්, සංචාරයට එක්වූ පිරිස දිවි පරදුවෙන් රට නියෝජනය කළ වීරයන් පිරිසක් ලෙසිනුත් හැඳින්වමින් බියගුල්ලන් බැහැර කර වීරයන්ට තැන දිය යුතුය යන බයිස්කෝප් කථා බැහැර කරමු. නමුත් තනි තනි දක්ෂතාද, එම දක්ෂතා එකමිටට ගත් ජයග්‍රාහී රිද්මයද ඇත්තේ පාකිස්තානයේ සංචාරය කරමින් ඓතිහාසික ජයක් ලැබූ මෙකී පිරිස සතුවය. හෙට දවසේ ශ්‍රී ලංකා නියෝජනයේ සුදුසුකම් සලකා බැලිය යුත්තේ ඒ අනුවය.

මෙම පාකිස්තාන පන්දුවාර 20 තරගාවලිය දෙස බැලීමේදී ‘භානුකලා මේ තරම් කල් කොහෙද හිටියේ?’ කියා සමහරෙක් අසන්නට ඇත. සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද? එතෙක් කල් ඔවුන් සැඟවුණෙ ඇයි?

සිදුවූයේ අනෙකක් නොවේ. පසුගිය කාලය පුරා පත්වූ පුහුණුකරුවන් තමන් විසින් දක්ෂයන් ලෙස තෝරාගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මත සමස්ත අවධානය රඳවා ඔවුන්ව දියුණු තියුණු කර ඔවුන්ගෙන් රට බැබළවීමට උත්සාහ ගත්තේය.
එහිදී අදාළ පුහුණුකරුවන් විසින් ඔවුන්ගේ පිත්ත අල්ලන හැටි පවා වෙනස් කළ අවස්ථා තිබුණි. අවසානයේ එතෙක් හුරුව බිඳුණු ක්‍රීඩකයෝ නොපෙනී ගිය අතර පුහුණුකරුවන්ට අත්වුණේද එයයි. නමුත් මෙම පාකිස්තානු සංචාරයේදී පුහුණුකරු රුමේෂ් රත්නායක මෙන්ම ක්‍රීඩකයෝද විශේෂ සැලකිල්ලකින් තොරව නිදහසේ සිය කාර්යය කළේය.

ජයග්‍රහණයේ කිසිවෙකු එළිපිට නොදුටු එක් සුවිශේෂී හේතුවක් වූයේ මෙයයි. මෙය අනාගතයේදී අවධානයට ගතයුතු කරුණකි. කණ්ඩායම් සමගිය සම්බන්ධයෙන්ද සාධනීය යෙදීමකි.

2018 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වී ඇති පන්දුවාර 20 ජාත්‍යන්තර තරග ගණන 18කි. එම තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් ගණන 33කි. ඒ අතර සිටි කණ්ඩායම් නායකයන් ගණන 5කි (දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක). සැබෑම කරුණ නම් අපට පළමු පෙළක් තිබී නැත. තිබුණා නම් වසර 2කටත් අඩු කාලයකදී ක්‍රීඩකයන් 33ක් පන්දුවාර 20 ජාත්‍යන්තර වරම් නොලබන්නේය. පළමු පෙළක් නැති බැවින් දෙවැනි පෙළක් කොහෙත්ම තිබී නැත. පසුගියදා පාකිස්තානයේදී මෙම ක්‍රිකට් අංශයේ ලොව අංක එකේ කණ්ඩායම සහමුලින්ම පරාජය කරන්නේ එහෙව් අපිය. ඒ දුටුවේ හීනයක් නොවේ. ඔව් අපි එය කළෙමු. දැන් හරිම පළමු පෙළ තෝරාගත යුතුය. එවිට එයත් සමග කරටකර තරගවදින්නට හැකි දෙවැනි පෙළක් පහසුවෙන්ම සැදෙනු ඇත. ජයග්‍රහණයේ මාවත තවදුරටත් විවර වනු ඇත. ඉදිරි ජයග්‍රහණ සිහින මෙන් නොහැඟෙනු ඇත.