විශේෂාංග

ජපන් රටේ උපත ලබා ලංකාවේ අතරමං වූ බෝනික්කා

‘‘ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා’’

ජපන් බෝනික්කා ගැන ලියැවුණු මෙම ගීතය අදත් අපට ඉඳහිට අසන්නට ලැබෙන්නේ සොඳුරු ළමා කාලය ගැන අතීතයට අප රැගෙන යමිනි. බෝනික්කා මෙරට දරුවන් තුළ විශේෂයෙන් දැරිවියන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් බවට පත් වී තිබුණ යුගයක් වූ බව අද බොහෝ දෙනකුට අමතක වී තිබේ. එම නිසාම එදා බෝනික්කා මෙරට ගීත සාහිත්‍ය තුළ බෝනික්කා ගැන ලියැවුණු ගීත බොහෝමයක් ද අද ඉතිහාසගත වූ බවට අපට පවසන්නට සිදුව ඇත්තේ අද මේ බෝනික්කන් ගැන ගීත නොලියැවෙන බැවිනි.

‘‘හිනැහේවී බෝනික්කා
ඇස් නටවා බල බලා
නැළවේවී මා උකුලේ
දොයි දොයි දොයි බබා’’

එදා පැවැති ජනප්‍රිය ගීතයකි. එමෙන්ම දැන්ද ඉඳහිට අසන්නට ලැබෙන බෝනික්කා ගැන කියැවෙන තවත් ගීතයකි මේ.

නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී යළි කියා
පුංචි බෝනික්කලා
පාට පාට නිලා මං ගෙනාවා
කරත්තේ පුරා

මේ සියලු ගීත දෙස බැලු කල අපට පෙනී යන්නේ ළමා කාලයේ සුන්දර මතකයක් නම් බෝනික්කා බවය. ‘ මේ හොඳ ලස්සන බෝනික්කා- තනි වී හඬනා හැටි දැක්කා’ නම් ගීතය මෙරට සිටි තරුණ පුවත්පත් කලාවේදියකු වූ කිත්සිරි සමරනායක ලියන ලද්දේ තම දියණිය වෙනුවෙනි.

දියණියක හදා වඩා සරණපාවා දී නිවසින් පිටව යන දිනක දෙමාපියන්, තම දරුවා ගැන අතීත මතකය කඳුළු පිරි දෙනෙතින් ස්මරණය කළේ එදා ඇය බිලිඳියක ලෙස සෙල්ලම් කළ බෝනික්කන් දෙස කඳුළු පිරි දෙනෙතින් බැලීමෙනි. එහෙත් අද දරුවන් සහ බෝනික්කන් අතර තිබූ සම්බන්ධය කෙමෙන් වියැකී යමින් පවතී.

‘ජපන් බෝනික්කා වගේ’ යැයි එදා ඇහැට කනට පේන ළමිස්සියකට කියන කියමනක් විය. එහෙත් අද ලස්සන කෙල්ලකට ‘ජපන් බෝනික්කා’ වගේ යැයි කියූවහොත් කියමන තේරුම් ගත නොහැකිව කරකවා අතෑරියා මෙන් විය හැකිය. ලංකාවේ බෝනික්කන් ගැන ලිඛිත ඉතිහාසයක් නැතත් රුසියාවේ මත්රුෂ්කා (Matryoshka) බෝනික්කා ගැන ලැරිසා සොලොවියොවා නම් කතුවරිය විසින් පොතක් පවා ලියා ඇත. එහි රුසියාවේ ආවේණික බෝනික්කන් යුග තුනකට බෙදා දක්වා ඇත. 1890-1930 යුගය, 1930-1990 දක්වා යුගය සහ 1990 සිට අද දක්වා යුගය ලෙස බෝනික්කන්ගේ ඉතිහාසය එහි ග්‍රන්ථාරූඪ කර ඇත.

අද ලංකාවේ වෙළෙඳපොළ තුළ නම් ‘ජපන් බෝනික්කන්’ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. අද චීනයෙන් ගෙනා විවිධ ප්‍රමාණයේ, විවිධ වර්ණයේ අරුමෝසම් බෝනික්කන් එම ජපන් බෝනික්කන්ගේ තැන ගෙන ඇත. මෙම බෝනික්කන් අලෙවියට ඇත්තේ ‘ෆැන්සි බඩු විකුණන’ පිටකොටුවේ කුමාර වීදියේ හා කෙයිසර් වීදියේ තොග කඩවලය. මොන්ටිසෝරියකට නිදහස් දිනයේ බෙදන්නට බෝනික්කන් මිලදී ගන්නා මුවාවෙන් එක් වෙළෙඳසලක හිමියකු සමග කතාවට බසින්නට අප අමතක කළේ නැහැ.

‘‘දැන් ඉස්සර වගේ බෝනික්කන්ට මාකට් එකක් නෑ. ඔක්කෝම දරුවෝ බෝනික්කෝ පැත්තකට දාලා ෆේස්බුක් – ඉන්ටනෙට්වල. එහෙමත් ළමයෙක් තමයි බෝනික්කකු හුරතල් කරන්නේ. දැන් ඉතිං විකිණෙන්නෙත් සින්දු කියන, ඇවිදින, නටන බෝනික්කෝ තමයි. ලෝකල් ගහන බෝනික්කොත් තාම ඉතිං මාකට් එකේ තියෙනවා. ඒවා ගොඩක් යන්නේ උතුරු නැගෙනහිර පළාතට තමයි.’’

මේ කියමන ඇසූ විට බෝනික්කා යනු ලෝකයෙන් වඳ වී යන සෙල්ලම් බඩුවක් ලෙස ඔබ සිතිය යුතු නැත. බෝනික්කා තවමත් ලොව විටින් විට වෙළෙඳපොළ ආක්‍රමණය කරන වෙළෙඳ භාණ්ඩයක් බව අප අමතක නොකළ යුතුය. ඊට ආසන්නතම සිදුවීමක් සිදු වූයේ බ්‍රිතාන්‍යයේ විලියම් හා කේට් කුමරියගේ පුත් ජෝර්ජ් උපන් අවස්ථාවේය. මේ පුත් කුමරාට නම් තැබුවේ ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු ලෙසය. මේ බිලිඳා ජනසංනිවේදන මාධ්‍ය හඳුන්වන ලද්දේ අනාගතයේ බ්‍රිතාන්‍යය කිරුළට උරුමකම් කියන කුමාරයා ලෙසය. මේ කුමරා තම දෑතින් තුරුලට ගෙන සුරතල් කරන්නට සාමාන්‍ය බ්‍රිතාන්‍ය වැසියන්ට තිබුණේ පුදුමාකාර වුවමනාවකි. නමුත් ඔවුන්ට එය සිහිනයක් පමණක් විය. බ්‍රිතාන්‍යයන්ගේ මේ රාජකීය ‘ඇම්ම’ තේරුම් ගත් ජර්මානු සමාගමක් අපූරු නිර්මාණයක් වෙළෙඳපොළට නිකුත් කරන ලදී. එය ජෝර්ජ් කුමරාගේ ජීවමාන ප්‍රමාණයේ බෝනික්කෙකි. මේ බෝනික්කාගේ බිලිඳු ඇඳුමේ My Name is Baby George (මම ජෝර්ජ් බබා) නමින් එම්බ්‍රොයිඩර් කර තිබුණේ බ්‍රිතාන්‍යයේ කොඩියද සහිතවය.

මෙම නිර්මාණය ඉදිරිපත් කළ ජර්මනියේ සාෆ් ක්‍රියේෂන් ආයතනය ගොඩ ගියේ එය බ්‍රිතාන්‍ය පවුම් 50 ද ඉක්මවා අලෙවි වූ නිසාය. එහෙත් අපේ ලංකාවේ නිෂ්පාදකයන් නම් මෝහිනී වඩාගෙන ඉන්න බබාගේ අනුරුවක් වැනි බෝනික්කෝවත් හදන්නට සිතුවිල්ලක් පහළ වුණේ නැත. බෝනික්කන්ගේ ඉතිහාසය සොයන විට ‘හිට්ර්ල්’ අමතක කළ නොහැකි චරිතයකි. තම හමුදාවේ නිලධාරින් අතර ලිංගික රෝග වැළැක්වීමට හිට්ලර් අපූරු බෝනික්කකු නිෂ්පාදනයට අණ කරන ලදී. මේ හැඟීම්, දැනීම් නැති බෝනික්කන් සමග අවසානයේ හිට්ලර්ගේ හමුදාවේ ඇත්තන්ට යහන්ගත වීමට සිදු වූ අතර හමුදාවේ පැතිරී ගිය ලිංගික රෝගද එයින්ම නතර විය.

අපේ ජාතක කතාවල හෝ මහ වංශයේ බෝනික්කන් ගැන සඳහන් නොවුණත් මෙසපොතේමියානු හා සුමේරියානු ශිෂ්ටාචාරවලදී මැටියෙන් තැනූ බෝනික්කන් සිටි බවට පුරාවිද්‍යා සාධක ඇත. සිනිඳු කිරිගරුඬෙන් තැනූ බෝනික්කන් හමුවන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය අධ්‍යයනය කිරීමේදීය. මෙකී යුගවල ජීවත් වූ රජවරුන් හා වංශවතුන්ගේ දරුවන් සතුව නැටීමට ගැයීමට මෙන්ම චිත්‍ර ඇඳීමට මෙන්ම පෑනක් ගෙන කඩදාසියක යමක් ලිවිය හැකි බෝනික්කන් පවා සිටි බව ඉතිහාසයේ සඳහන්ය.

අතීතයේ අපේ බෝනික්කා යනු දරුවන්ගේ සියලු හැඟුමන් නිහඬව දරා ගත් අජීවී සුරතලකු විය. මේ ෆේස්බුක් ඉන්ටර්නෙට් යුගයේ දරුවන්ට බෝනික්කන් හුරතල් කර කර ඉන්නට වෙලාවක් නැත.
සන්නිවේදනයේ අධිතාක්ෂණය හා අධ්‍යාපන තරගය විසින් කුඩා දරුවන්ගේත් ‘බෝනික්කා’ නම් වූ අජීවී සුරතලා දුරස්කොට හමාරය. වෙළෙඳසලේ සෝකේස් එකකට වී මාස ගණන් මකුළුදැල් බැඳෙමින් තමන් මිල දී ගන්නට සිඟිත්තකු එනතුරු බලා සිටින අද කාලේ බෝනික්කන් නොකියා කියන්නේ මේ පරම සත්‍ය නොවේද?

වජිර ලියනගේ