කතුවැකි

ජනාධිපති සුබ පතන අලුත්ම විදිය

දැන් දැන් ජනවාරි පළමුවැනිදා හැඩරුව වෙනස් වීගෙන යයි. අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන්ට එක් වනටනටත් කලින් වෙනස් වෙයි.

දැන් නව වසරට අවුරුදු සුබ පැතුම්පත් ගෙවල්වලට එන්නේ නැති තරම්ය. ආවොත් දැනෙන්නේ පැරණි නෑයෙක් එන්නාක් මෙන්ය. කැලැන්ඩර් සහ දිනපොත් වඳවී යන සත්ත්ව විශේෂයක් සදිසිය.

ඇමැති නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිද, ආයතන සභාපතිගේද මූණත් තහඩු යොදා රාජ්‍ය ආයතන මුද්‍රණය කළ දිනපොත්, කැලැන්ඩර් මේ වසරේ නතර කෙරිණ. ඒ කාලෝචිත නොවූ අධික වූ වියදමක් කපා හැරීම සඳහාය. ජංගම දුරකථනයෙන් පද රචනය බල බලා සිංදු කියන රටේ දිනය බලා ගැනීම, සටහනක් තබා ගැනීමට දිනපොතක් එල්ලාගෙන යාම කාලාවරෝධය. එසේම වත්මන් පරපුර අවුරුද්දට සුබ පතා ගන්නේද ජංගම දුරකථනයෙන් යවන අනන්ත අප්‍රමාණ පණිවුඩවලිනි. ඒ පණිවුඩ අතරේ ජනාධිපතිවරයාගේ සුබ පතන කෙටි පණිවුඩයක්ද කලෙක සිට සිරිලක දුගී මගී ජාති ආගම් පක්ෂ භේදයක් නැතිව කාටත් ලැබිණ. එහෙත් මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පණිවුඩයක් දුරකථනවලට ආවේ නැත. එය සුබ පණිවුඩයකි. ඒ ව්‍යාජ දේට තිත තැබිය යුතු නිසාය.

ආණ්ඩුව ආ සැණින් වී ඇටය හාල් ඇටය වීමේත්, හාල් ඇටේ බත් ඇටය වීමේත් ආර්ථික ක්‍රියාවලියේ ආරවුල ඇරඹිණ. සම්බා වී කිලෝව රුපියල් 41 ට අරන් කොටන්නට රුපියල් අටකුත්, බෙදන්නට රුපියල් දෙකකුත් වශයෙන් මෝල් හිමියන් හාල් කිලෝවට රුපියල් හැත්තෑවක් වියදම් කර රුපියල් 25 ක් ලාභ ලබාගෙන කඩේට රුපියල් 94 ට දමා කඩ හිමියාට රුපියල් 98 ට කිලෝව විකුණන්නට වෙන වෙළෙඳ ආරවුලය වී ඇටයත්, හාල් ඇටයත් අතර ඇත්තේ. එසේ මිලදී ගන්නා හාල් කිලෝවෙන් හැදූ බත් පැකට්ටුව බඩගිනිකාරයෝ පසුගිය බ්‍රහස්පතින්දා මිලදී ගන්නේ රුපියල් දහයක් වැඩිපුර ගෙවලාය. දැන් ආණ්ඩුවට මේ ආරවුල විසඳන්නට අසීරු වී ඇත්තේය.

ආහාර සුරක්ෂිතතාව ආණ්ඩුවේ වගකීමක් වුවත් එය තිබුණේ මහ මෝල් හිමියන් හතර දෙනකු අතේය. වී මිලට ගැනීමත් හාල් කර ජනතාවට බෙදා හැරීමටත් තිබූ වී අලෙවි මණ්ඩලයට වැඩිපුරම රාජ්‍ය ආයතන වෙන්දේසි කළ වෙන්දේසිකාරිණී චන්ද්‍රකා නම් වෙන්දේසිකාරිය 2000 දී ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි කීවාය. වී අලෙවි මණ්ඩල ගබඩා පුරන් විය. වෙල්ගොඩ කර නිවාස හදන්නට ඕනෑ කියූ මත්තල ගුවන්තොටේ බුද්ධ භෝගය වූ වී ගබඩා කරන්නට පෙලඹුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා ඇඟළුම් කර්මාන්තශාලා දමන්නට බදු දුන්නේය. සඳෙන් සඳ මෝරා කන්නෙන් කන්නෙ ගෙවී ගොස් හාල් මෝලේ කරල පැහුණේය. ආහාර සුරක්ෂිතතාව ආණ්ඩුවක මහ වගකීමකි. එහෙත් දැන් ආහාර සුරක්ෂිතතාව ඇත්තේ මහා වී මෝල් හිමියන් හතර දෙනෙකු අතේය. මෝල් හිමියන්ට ඉඩදී ආණ්ඩු කළ මෝල් වැඩවලින් දැන් බැට කන්නේ ජනතාවය.

කන්නයක අස්වැන්නෙන් බහුතරය මිලට ගෙන ගබඩා කරන්නට හයියක් දැන් ආණ්ඩුවට නැත. ආණ්ඩුව මිලදී ගන්නේ අස්වැන්නෙන් සියයට 05 කි. ආණ්ඩුවේ වී බිස්ස හිස්ය. දැන් කන්නයක අස්වැන්නෙන් සියයට හතළිස්පහක් යන්නේ මෝල් හිමියන්ගේ වී බිස්සටය. ඉතිරි සියයට 50 ගොවිරාලලාගේ ලක්ෂ 20 ක් වූ පවුල්වල කෑමට තියා ගනී. දවසකට හාල් කිලෝ ලක්ෂ 03ක් තලන්නට හයිය තියෙන මෝල් මේ අය සතුය. මහා වී බිසි හෙවත් ටැංකිවල ගබඩා කෙරෙන හාල් ප්‍රමාණය අප දන්නේ නැත. මේ හාල් වෙළෙඳපොළට නිකුත් කරන්නේ සීමිත ආකාරයටය. දැන් මේ මහා ටැංකිවල හාල් ගබඩාකර තබා රජය කරන පරීක්ෂාවකදී අතට අසුවී නින්දා විඳින්නට තරම් මෝල් හිමියෝ මෝල්ලු නොවෙති. කෙනෙක් වී ගෙනත් ටැංකියේ ගබඩා කරන්නේ නැත. ඔවුහු ගොවියාගෙන් වී මිලට ගෙන ඒවා ඔහුගේ ගෙදරම වී බිස්සේ වී අටුවේ තියා ගන්න සිද්ධ වෙන විදියට ක්‍රම සහ විධි සොයාගෙන ඇත. එවිට මහ මෝල්වල ටැංකි පිරික්සීමෙන් වී තොග අසු නොවේ.

මේ තත්ත්වය හමුවේ මහා වී මෝල් හිමියකු වූ ඩඩ්ලි තමන්ගේ වී මෝල රාජසන්තක කරන්නැයි අභියෝග කළේය. දැන් වී මෝල රාජසන්තක කළාට ජනතාවගේ බඩ පිරෙන්නේ නැත. රාජසන්තක කරනවා නම් පරාක්‍රම සමුද්‍රය නම් මහා ඓතිහාසික වැවේ කණ්ඩියේ සිට රාජසන්තක කරන්නට ඕනෑය.