කතුවැකි

ජනාධිපති ලේකම්වරයා විහිළුවක් කරගත්තේ ඇයි?

කොරෝනා අස්සේ වෘත්තීය සමිති අවුස්සා ගන්න එපා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයා ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. ඔහු මෙලෙස අනතුරු අඟවන්නේ මැයි මාසයේ වැටුපෙන් කොටසක් හෝ පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයන්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ලාල් කාන්ත සහෝදරයා මෙන්ම තවත් වෘත්තීය සමිතිද, විපක්ෂයේ දේශපාලනඥයන්ද, ඔවුන්ගෙන් දීමනා ලබන ඊනියා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද ජනාධිපති ලේකම්වරයාට විරෝධය පළ කරනවා පමණක් නොව උසුළු විසුළුද කරන අන්දමත් පසුගිය දිනවල දැකගත හැකි විය.

මේ සියලු දෙනාම කියන්​නේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් හෝ කපා ගන්නට සූදානම් වන බවය. නමුත් ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපති ලේකම්වරයා කර ඇත්තේ ඉල්ලීමක් පමණක් බවත්, ලාල් කාන්ත මෙන්ම ඔහුගේ පන්නයේ වෘත්තීය සමිති නායකයන් මෙන්ම ඊනියා සමාජ ක්‍රියාකාරීන්ද සියල්ල දන්නා කාරණයකි. ඒ බව දැන දැනම ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපන්නට යන බවට ප්‍රකාශ කරන්නේ තක්කඩිකමටය. ඔවුන්ට මේ අවස්ථාවේ සටන් පාඨ නැති නිසාය.

ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අපටද ගැටලුවක් තිබේ. ලේකම්වරයා පොදු රාජ්‍ය සේවකයන්ගෙන් මේ ඉල්ලීම කරන්නට පෙර ඇමැති මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ආදී වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළම තලය තම වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කර තිබුණේ නම් වඩා හොඳ බවය අපට සිතෙන්නේ. එසේ වූවා නම් ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම වවාගෙන කන්නට වෘත්තීය සමිතිවලට හෝ කිසිවකුට ඉඩක් නොලැබෙන්නටත් ජනාධිපති ලේකම්වරයා ජෝක් එකක් බවට පත් නොවන්නටත් ඉඩ තිබිණ.

අපගේ අදහස නම් රජයේ​ සේවකයන් මේ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කළත්, නොකළත් තම වැටුපෙන් කොටසක්, අවම වශයෙන් දිනක වැටුප රාජ්‍ය අරමුදලකට පරිත්‍යාග කළාට පව් නොමැති බවය.
කොරෝනා වසංගතය නිසා මේ වන විට රටේ පෞද්ගලික අංශය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබේ. මේ නිසා පෞද්ගලික අංශයේ විශාල පිරිසක් රැකියා අහිමි වීමේ අවදානමකට ලක්ව සිටිති. බොහෝ තැන්වල මේ වන විට අමතර දීමනා ආදී සියල්ල කප්පාදු කර තිබේ. අතට ලැබෙන්නේ මූලික වැටුප හෝ නැතිනම් සංයුක්ත වැටුපෙන් අඩක් පමණකි.

කොරෝනා නිසා රටේ ආර්ථිකය කොතරම් පිරිහී ඇතත්, රජයේ සේවකයන්ට මෙවන් අභාග්‍යයකට මුහුණ දීමට සිදුව නැත. ඇත්ත වශයෙන්ම කිවහොත් මාර්තු මාසයේ අඩකුත්, අප්‍රේල් මාසය සම්පූර්ණයෙන්මත් සියලු වැටුප් ලබමින් නිවසට වී සිටින්නට අවස්ථාව තිබිණි. මේ මාසයේත් සේවයට කැඳවා ඇත්තේ රජයේ සේවයෙන් සියයට විස්සක් පමණකි. මේ නිසා රජයේ සේවකයන්ගේ ගමන් වියදම පවා අත ඉතිරි වේ. රටේ ආර්ථිකය කොතරම් දුර්වල වුවත්, ඉදිරියේදී තම වැටුප නොලැබෙනු ඇතැයි හෝ තම රැකියාව අහිමි වනු ඇතැයි යන බිය රජයේ සේවකයන්ට නැත. මේ සැලකිල්ල ලැබෙන්නේ ලක්ෂ පහළොවක් වන රජයේ සේවකයන්ටය.

එසේ නම් රජයේ සේවකයා තම වැටුපෙන් කොටසක් අවම වශයෙන් දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීමේ ඇති වරද කුමක්ද? කොරෝනා වසංගතය විසින් රට හමුවේ තබා ඇති අභියෝගයට අප සියලු දෙනා එක්ව මුහුණ දිය යුතු යැයි බොහෝ දෙනා කියති. රජයේ සේවකයා අවම වශයෙන් තම දිනක වැටුප හෝ පරිත්‍යාග කළහොත් එවැනි කියමන් යථාර්ථයක් බවට පත් කළ හැකි නොවේද?

කිසිවක් නොමිලයේ ලබාගැනීම සුදුසු නොවන බව කියන ඉතාමත් දිළිඳු මෙන්ම වයෝවෘද්ධ මාතාවක් තමන්ට ලැබුණු සහනාධාර මල්ලක් වෙනුවෙන්ද, චීත්ත රෙද්දේ ගැටගසාගෙන තිබුණ රුපියල් දෙසීයෙන් රුපියල් සියයක් බලහත්කාරයෙන් ලබාදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. අප යෝජනා කරන්නේ මේ දිනවල වැඩ නොකර පඩි ලබන සියලු රාජ්‍ය සේවකයන් මේ වීඩියෝව සොයාගෙන ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයන් සමග එක්ව නැරඹිය යුතු බවය.

නිකං කන්නට අකැමැති මිනිසුන් ගැන කොතරම් උදාහරණ දුන්නත් අපේ ඇතැම් රාජ්‍ය සේවකයන් ඒවා තේරුම් ගනු ඇද්ද යන්න සැක සහිතය. රට ව්‍යසන තත්ත්වයකට මුහුණ දී සිටියදීත් ඔවුන් වෙනස් වී නොමැති බව තහවුරු වෙන දේ වාර්තා වන නිසාය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කාර්ය මණ්ඩලය තුන්දහස් දෙසීයකි. මේ අය වෙනුවෙන් සාමාන්‍යයෙන් අතිකාල සඳහා පමණක් මසකට රුපියල් කෝටි 28ක්වත් වැය වේ. නමුත් දැන් ඉන් රුපියල් කෝටි 25ක්ම ඉතිරි කරගැනීමට හැකිව තිබේ. මේ දිනවල ඛනිජ තෙල් සංස්ථාවේ දෛනික කාර්ය මණ්ඩලය දෙසීයක් පමණ නිසාය. කාර්ය මණ්ඩලය එතරම් අඩු වුවත් වෙනදා රාජකාරි එලෙසම සිදුවේ. සතියේ දිනවල දෙසීයකට පමණ සීමා වන කාර්ය මණ්ඩලය සති අන්තය වන විට දෙගුණයක්ද ඉක්මවා පන්සීයක් පමණ වේ. හේතුව අතිකාලය. පන්සීයක් අතින් කෙරෙන්නේත් දෙසීයක් දෙනා කළ දේමය.

රජයේ සේවකයන්ගේ වැටුප මංකොල්ල කන්නට හදන්නේ යැයි කිඹුල් කඳුළු හෙළන ලාල් කාන්තලාට මේවා පෙනෙන්නේ නැත. පෙනුණත් නොපෙනෙනවා සේ සිටින්නේය. වගකිවයුතු වෘත්තීය සමිති නම් මේ අවස්ථාවේ කළ යුත්තේ නිකං කකා නොසිට හැකි සුළු ප්‍රමාණයකින් හෝ රටට උදව්වක් කිරීමට රජයේ සේවකයා පෙළ ගැස්වීමය. මේ ඊයේ පෙරේදා වාර්තා වූ තවත් පුවතකින් කියැවුණේ රජයේ සේවකයන් දහතුන් දහසක් සේවයට නොපැමිණ නිවසේ සිටිමින් ප්‍රවාහන දීමනාවද ලබාගෙන ඇති බවය. මේ අය අනිවාර්යයෙන්ම මාණ්ඩලික නිලධාරීන් විය යුතුය.

ජාතික වගකීමක් සේ සලකා තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කර රාජ්‍ය සේවය නම් උත්තරීතර සේවය ශක්තිමත් කිරීමටත් එහි ගෞරවය රැකීමටත් පුරෝගාමී වන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටින්නේ මෙවැනි අයගෙනි. ඒ අනුව නම් අපටත් සිතෙන්නේ ජනාධිපති ලේකම්වරයා විහිළුවක් වීම සාධාරණ බවය.