brand logo
logo

ජනාධිපති කාම්බෝජ සංචාරය ගිවිසුම් දෙකකට අත්සන් තබයි

09 August 2019

ආර්ථික, වෙළෙඳ, සමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවලදී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා ප්‍රේහ් බට් සම්චෙච් ප්‍රකාශ කළේය. කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කම්බෝජ රජු අතර හමුවක් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ සිදුවිය. පෙරවරුවේ කාම්බෝජ රජමාලිගාව වෙත ගිය ජනාධිපති මෛත්‍රී කාම්බෝජ රජු විසින් ඉතා උණුසුම් සහ සුහදශීලී ලෙස පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා ජනාධිපති පිළිගැනීම වෙනුවෙන් අභිමානවත් සහ අලංකාරවත් උත්සවයක්ද එහි සංවිධානය කර තිබිණි. ඈත අතීතයට විහිද යන දෙරටේ සබඳතාවන් මෙහිදී සිහිපත් කළ කාම්බෝජ රජු තම ආරාධනය පරිදි කාම්බෝජ රාජ්‍ය සංචාරයකට එක්වීම පිළිබඳ ජනාධිපති වෙත සිය කෘතවේදීත්වය පළ කළේය. කාම්බෝජ රාජ්‍ය සංචාරයට ආරාධනා කිරීම පිළිබඳව කාම්බෝජ රජු වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමන් බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවත් එවන් අවස්ථාවක මෙම සංචාරයට එක්වීමට ලැබීම පිළිබඳ තමා මහත් සතුටට පත්වන බවත් කියා සිටියේය. මේ අතර කාම්බෝජයේ අගනුවර වන පනෙව් පෙන් හි පිහිටා ඇති කාම්බෝජයේ නිදහස් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක්විය. කාම්බෝජයේ පියා ලෙස සැලකෙන වත්මන් රජුගේ පියාණන් වන නොරොව් සිහිනොක් රජු සිහි කරමින් එහි ඉදිකර ඇති ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කාම්බෝජ අග්‍රාමාත්‍ය සම්ඩෙච් හුන් සෙන් මහතා ඊයේ පස්වරුවේ නිල වශයෙන් හමුවෙයි. නායකයන් අතර හමුවෙන් පසුව ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තබන ලදී. ඒ අනුව දේශපාලන උපදේශනය පිළිබඳ එකඟතා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අත්සන් තැබූ අතර කාම්බෝජ රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම්වරයා අත්සන් තැබීය. ශ්‍රී ලංකා කාම්බෝජ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට අදාළ ගිවිසුමට දෙරටේ වාණිජ මණ්ඩල සභාපතිවරු අත්සන් තැබූහ.
 

More News..