අතන මෙතන

ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා

පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදී ය. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

‘‘අපි විශ්වාසභංග යෝජනාව දෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා… කොහොම වුණත් අපි භාර දීපු යෝජනාව තමයි මුලින් විවාදයට ගන්න ඕනේ… ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ අපේ විශ්වාසභංග යෝජනාව පස්සට දාගන්නයි… ’’ විමල් පැවසීය.

‘‘ආණ්ඩුවේ වුවමනාව තමයි ජේ. වී. පී එක ඉෂ්ට කරන්නේ… ආණ්ඩුවටත් ඕනේ කොහොම හරි රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව කල්දාගන්නයි… අපි කොහොම හරි මේක ඉක්මන් කරගන්න ඕනේ…’’ මහින්දානන්ද කීවේය.

‘‘අපි කතානායකතුමා හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරමු… ආණ්ඩුවට ඕනේ විදියට මේවා කල්දාන්න ඉ‍ඩදෙන්න බැහැ… ’’ ප්‍රසන්න පැවසීය.

‘‘මේ විශ්වාසභංග යෝජනාව නිසා එක්සත් ජාතික පක්ෂයත් දැන් දෙපැත්ත බෙදිලා… සමහරු ප්‍රසිද්ධියේම කියනවා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා කියලා… රිෂාඩ් ආණ්ඩු පක්ෂයට දැනුම් දීලා තියෙනවා එයාට විරුද්ධව ඡන්දය දෙන්න හැදුවොත් ආණ්ඩුව පරද්දනවා කියලා… ඒ වෙලාවේ රනිල් රිෂාඩ්ට පොරොන්දු වෙලා තියෙනවා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා… ’’ මහින්දානන්ද හෙළි කළේය.

‘‘අපි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන්… ජනතාව බලාපොරොත්තු වෙනවා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනියි කියලා… ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා කොහොම හරි බල කරලා මේ විවාදයට කඩිනමින් ලබාගන්න… ’’ මහින්ද පැවසුවේ ය.

‘‘මේවා එක්කම ආණ්ඩුව අත්සන් කරන්න යන මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැනත් අපි අමතක කරන්න හොඳ නැහැ… ඒක අත්සන් කළොත් ලොකු ගැටලුවක් වෙනවා… ’’ විමල් පැවසීය.

‘‘මම ජනාධිපතිවරයා එක්කත් මේ ගැන කතා කළා… එතුමාගෙන් මම ඉල්ලුවා මේක අත්සන් කරන්න ඉඩ තියන්න එපා කියලා… ’’ මහින්ද පැවසීය.

‘‘ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා… එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා…’’ විමල් කීවේය.