කතුවැකි

ජනාධිපතිවරයාගේ නිදහසේ කතාව

අපේ රට නිදහස ලබා වසර 72 ක් ගත වී ඇතත් ඇත්තෙන්ම අප නිදහස් දැයි බොහෝ දෙනා නගන ජනප්‍රිය ප්‍රශ්නයකි. 72 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය නැගෙන්නට හේතු වී ඇති කාරණා පමණක් නොව, ඊට පිළියම් ලෙස කළ යුතුව ඇත්තේ කුමක්දැයි යන්නද පැහැදිලි කළේ ය. ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ජනතාවට සැබෑ නිදහසක් ලබාදිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙන් බවය. සමාජ විෂමතා ඇතිවීමටද හේතු වන්නේ ආර්ථික විෂමතාවයි. මේ නිසා මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම බවත්, ජනාධිපතිවරයා ඊයේ (04 වැනිදා) ජාතිය අමතමින් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු රාජ්‍ය නායකයා ලෙස රටේ ප්‍රශ්න නිවැරදිව වටහාගෙන ඇති බවය. ප්‍රශ්නයක් නිවැරදිව වටහාගත් විටෙක නිවැරදිම පිළිතුරු සෙවීම ඉතා පහසුය. බෙහෙත් දිය යුත්තේ රෝගයට නොව රෝග නිධානයටය.

ආර්ථික විෂමතාව නැතහොත් කවුරුත් දන්නා පරිදි ඇති නැති පරතරය පිටුදැකීමේ පළමු පියවර වන්නේ දරිද්‍රතාව තුරන් කිරීමය. බුදුරජාණන් වහන්සේද වරක් දේශනා කොට ඇත්තේ ධර්මය දේශනා කිරීමට පෙර ශ්‍රාවකයාගේ කුසගින්න නිවා සිටිය යුතු බවය. මිනිසාගේ ආර්ථික නිදහස අහිමි වීම යනු ඔහු බොහෝ සීමාවන්ට, යටත් කිරීම්වලට ලක් වීමය. මෙය රටකටද පොදු තත්ත්වයකි. දේශපාලන වශයෙන් අප නිදහස් යැයි කියනු ලැබූවත් ආර්ථික දරිද්‍රතාව විසින් අප බොහෝ සීමාවන්ට, බන්ධනයන්ට යටත් කොට තිබේ.

රටේ ජනතාවගේ නිදහස සීමාවීමට හේතු වී ඇති තවත් ප්‍රධාන කාරණයක් ජනාධිපතිවරයා ඊයේ (04 වැනිදා) ජාතිය අමතමින් සඳහන් කර සිටියේ මෙසේ ය.

‘‘නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා, දූෂණවලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමිවන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි’’

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ඉතා වැදගත් කොට අප සලකන්නේ මේ කාරණය ජනතාවගේ ආර්ථික නිදහස සීමාවීමටද හේතු වී ඇති බැවිනි. මෙයට ඉදිරිපත් කළ හැකි හොඳම නිදසුන රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීමට යෑමය. අපේ රාජ්‍ය බැංකු පමණක් නොව පෞද්ගලික බැංකු පවා සූදානම් වී සිටින්නේ ණය දෙන්නට නොව ණය නොදී සිටින්නටය.

සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්නට මෙන්ම ගෙයක් දොරක් හදා ගන්නට බැංකුවකට යන කෙනකුට කොතරම් නම් හිරිහැරයකට පත්වන්නට සිදුවේද? කොතෙක් නම් අවශ්‍යතා සපුරාලන්නට සිදුවේද? අවසානයේ සිදුවන්නේ ඔහු ව්‍යාපාර අදහස අතහැර දමා තවදුරටත් යැපෙන්නකු වීමය. නැතහොත් නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයට ඇතුළු වීමය. ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව අද මේ තරම් වර්ධනය වී ඇත්තේ මේ නිසාය. මේ මාෆියාව නිසා අද කොතරම් පිරිසක් දිවි නසාගෙන තිබේද? අවසානයේ මේ අර්බුදය විසඳන්නට සිදුව තිබෙන්නේ ද ආණ්ඩුවටය.

සමාජයකට නීති රීති රෙගුලාසි අවශ්‍ය වන්නේ එකී සමාජයේ යහ පැවැත්ම සහතික කිරීමටය. ජනතාව හුරු කළ යුත්තේ නීතිරීතිවලට බිය වීමට නොව ගරු කිරීමටය. දියුණු සමාජවලට නීතිරීති පෙනෙන්නේ සමාජ සම්මතයන් හෝ සම්ප්‍රදායන් ලෙසය.

අපේ රටේ කොතරම් නීති රීති තිබුණත් ඒවා රටේ සංවර්ධනයට හෝ ජනතාවගේ යහ පැවැත්මට ආධාරකයක් නොවී, බාධාවක් වී ඇත්තේ කෙසේද? අවශ්‍ය පමණටත් වඩා නීති රීති පැනවීමෙන් ශක්තිමත් වන්නේ සමාජය නොව නිලධාරියාය. එහි ප්‍රතිඵලය නිලධාරිවාදයක් බිහි වීමය.

මේ නිලධාරිවාදය ආකාර දෙකකට ජනතාව පීඩාවට පත් කිරීමට හේතු වේ. නීති හදා ඇත්තේ මිනිසා වෙනුවෙන් නොව නීතිය වෙනුවෙන් බව සිතන නිලධාරින් කටයුතු කරන්නේ ‘‘ලෙඩා මළත් බඩ සුද්ධයි’’ න්‍යායෙනි. ජනතාවට කුමක් වුවත් මේ නිලධාරින්ට අවශ්‍ය නීතිය රැක ගැනීමටය. නීතිය නිසා ජනතාව පීඩාවට පත් වන්නේ නම් ඒ කෙසේ දැයි සොයා බලන්නට හෝ ඔවුන්ට අවශ්‍යතාවක් නැත.

අනෙක් නිලධාරින් කොට්ඨාසය කරන්නේ නීතිය පෙන්වා ජනතාව කොල්ලකෑමය. අද ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගන්නට යන සාමාන්‍ය වැසියකුට කොතරම් නම් රස්තිදුවක් වන්නට සිදුව තිබේද? එලෙස රස්තියාදු නොවී තමන්ගේ වැඩේ කර ගන්නට නම් ඊට මිලක් ගෙවිය යුතුය. මිනිසකු උපන් මොහොතේ උප්පැන්නය ගැනීමේ සිට මරණ සහතිකය ගැනීම දක්වා තත්ත්වය එසේය. මේ නිසා සිදුවන්නේ නීතිය රැකීම නොව බල්ලාට යෑමය. මෙම ක්‍රමය මගින් සමාජ විරෝධී, නීති විරෝධී බොහෝ දේට ඉඩ විවර වන බැවිනි. නීතිය බල්ලාට ගිය සමාජයක පොදු මිනිසාගේ නිදහස තහවුරු වන්නේ කෙසේද?

මේ තත්ත්වය වෙනස් කිරීම සිතන තරම් පහසුවෙන් කළ හැකි යැයි අප සිතන්නේ නැත. ඒ තරමට එය සමාජ දේහයේ අක්මුල් කරා පැතිර ඇති බැවිනි. අප කවුරුත් දැන් පුරුදු වී සිටින්නේ පහසු මාර්ගයේම යන්නටය. වසර 72 ක් තිස්සේ අපේ රට ලබා ඇති දියුණුව කුමක්දැයි ප්‍රශ්න කරන අයද එසේමය. ඔවුන්ද සිතන්නේ තමන් නිවැරදි වන අතර අන් සියල්ලෝම වැරදි බවය. එහෙත් අප සියලු දෙනාම මේ සමාජ පරිහානියට, අපේ නිදහස අහිමි වීමට වගකිව යුතුය.

ජනාධිපතිවරයා සිය නිදහස් දින කතාවෙන් ප්‍රතිඥාා දී ඇත්තේ එම තත්ත්වයෙන් රට ගොඩ ගන්නා බවය. ඔහුගේ එළැඹුම ඉතාම ධනාත්මකය. එය සාර්ථක අවසානයක් කරා ළඟා වන්නට නම් රටේ සියලු දෙනාගේ සහාය ඊට ලැබිය යුතුය. ඒ සඳහා තනි තනිව අපට කිරීමට ඇත්තේ ඉතාමත් සුළු දෙයකි. සියලු දෙනා තම තමන් වෙත පැවරෙන වගකීම් අවබෝධයකින් යුතුව ඉටුකරමින් නීතියට අනුව ජීවත් වන්නට පුරුදු වීමය.

නිදහස යනු ඉබේ පහළ වන්නක් නොව දිනාගත යුත්තකි!