විශේෂාංග

ජනපති තහනම් කළා ඕං… අපි ආවා මීට ග්ලයිපොසේට්

කලකට ඉහත, මන්නාරමේ ‘පේසාලෙයි’ ප්‍රදේශය ප්‍රසිද්ධ වූයේ එහි වෙරළාසන්න මුහුදෙන් ‘ඛනිජ තෙල්’ පෑදෙතියි හෙළි වුණු නිසා ය. එහෙත් වර්තමානයේ පේසාලේ ප්‍රදේශය ප්‍රකටව ඇත්තේ වෙනත් කාරණයකටය. එනම්, ඉන්දියාවෙන් ගෙන එන ‘හොර ග්ලයිපොසේට්’ තොග, ගොඩ බෑ හැටියේ ම සඟවා අතුරුදන් කරන වෙරළ කලාපයක් හැටියටය.

ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමේ නිපැයුමක් වන ‘ග්ලයිපොසේට්’ ලොව විශාල ලෙස භාවිතා කෙරෙන වල් නාශකයකි. ‘රවුන්ඩප්’ එහි ජනප්‍රිය වෙළෙඳ නාමයකි. ‘කොළ පැහැයෙන් යුතු සියලුම ශාක ද්‍රව්‍ය’ නසා දැමීම, ග්ලයිපොසේට්වල කාර්යභාරයයි. එබැවින් ඒවා, සමූලඝාතක වල් නාශක’ යයි හැඳින්වේ. ග්ලයිපොසේට් අඩංගු වල්නාශක වර්ග මුල් වරට ලංකාවේ භාවිතයට පැමිණියේ 1980 දශකය අග භාගයේ ය. එවක් පටන් ඒවා අපේ රටේ ගොවිබිම්වල අසීමාන්තිකව භාවිත කෙරිණි.

ග්ලයිපොසේට්වලට එරෙහිව අපේ රටේ කතිකාවක් හට ගත්තේ, මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගය රජරට ප්‍රදේශයෙන් හිස එසවීමත් සමගිනි. රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමනයන් ඇතුළු විද්වත් පිරිසක් ඒ සම්බන්ධයෙන් පර් යේෂණ කළහ. කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඩ්මියම් ආදී බැර ලෝහ නිසා රෝගය හටගන්නා බව එයින් හෙළි විය. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර් යේෂණ කණ්ඩායමක් ද මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු සාධක සොයා පර් යේෂණ කළහ. එහි දී ද හෙළි වූයේ, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බවයි.

පසුව 2015 වසරේ ජූනි මස 11 වැනි දා ග්ලයිපොසේට් ලංකාවට ගෙන්වීම තහනම් කෙරිණි. එයට මුල් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

කෙසේ වෙතත් 2017 වසර වන විට, ‘ග්ලයිපොසේට්’ නැතිව තේ වගා කර්මාන්තය අඩාළ වන බවට මතවාදයක් පැතිරිණි. පසුව තේ වගාව සඳහා පමණක් ග්ලයිපොසේට් සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය අවසර දුන්නේ ය. එම කටයුත්ත කෙරෙන්නේ රජයේ සමාගමක් ඔස්සේ ය.

ග්ලයිපොසේට් හොරෙන් විකිණීම සහ බෙදාහැරීම ජාවාරමක් බවට පත් වූයේ 2015 ජූනි මාසයේ ඊට එරෙහිව පැනවුණු තහනමත් සමගිනි. මුලින් කෙරුණේ තහනම පැනවෙන විට නො විකිණී ඉතිරිව තිබුණු ග්ලයිපොසේට් තොග, හොර රහසේ ම අධික මිල ගණන්වලට විකිණීමයි.

ඉන් පසුව ග්ලයිපොසේට් තොග, ඉන්දියාවේ සිට හොර පාරෙන් ලංකාවට එන්නට පටන් ගත්තේ ය.
ඉන්දියාවෙන් එන ග්ලයිපොසේට් කුඩු ඒ ගොල්ලෝ ග්‍රෑම් සීයට පැකට් කරනවා. සීයේ පැකට් එකක් කඩවලට දාන්නේ රුපියල් 350.00ට. ඒවා සිල්ලරට විකිණෙන්නේ රුපියල් 650.00ක මිලටයි. එතකොට කිලෝ එකක් රුපියල් 6500.00ක් වෙනවා. ‘සතිඅග අරුණට’ මෙසේ පැවසුවේ අනුරාධපුරයට නුදුරු නගරයක කෘෂි රසායන සහ පොහොර වෙළෙඳාමෙහි යෙදෙන ව්‍යාපාරිකයෙකි. ඔහු පැවසූ අන්දමට, ග්ලයිපොසේට් දියර ලීටර් හතරේ කෑන් එකක සිල්ලර මිල රුපියල් 12,000.00ක් පමණ වේ.

2015 වසරේ දී ග්ලයිපොසේට් තහනම පනවන විට, ලංකාවේ භාවිතා කෙරුණේ සියයට 36ක සාන්ද්‍රණයක් සහිත ග්ලයිපොසේට් ය. එහෙත් දැන් ඉන්දියාවෙන් එන්නේ සියයට 71ක සාන්ද්‍රණයක් සහිත ‘ගැහුව ගමන් මැරිලා යන’ මාදිලියේ ග්ලයිපොසේට් ය. ඒවා ‘අධි සාන්ද්‍රිත ග්ලයිපොසේට්’ යයි හැඳින්වීමේ වරදක් නැත.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හොරෙන් ගෙනෙන ග්ලයිපොසේට් මුලින් ම ආවේ, මන්නාරමට නුදුරු පේසාලෙයි වෙරළට ය. ඊට පසුව එය මන්නාරමට ද, හලාවතට නුදුරු ‘උඩප්පුව’ වෙරළට ද, පුත්තලමේ ‘කල්පිටියට’ ද වරින්වර ස්ථාන මාරු විය. මේ ආකාරයට ගෙන එන ග්ලයිපොසේට් මාදිලි දෙකකි. ඉන් සමහරක් ‘කුඩු’ ය. තවත් සමහරක් ‘දියර’ ය. මුහුදින් ගෙනා පසුව මේවා හොර රහසේ ම ‘අදාළ ස්ථානවලට’ ප්‍රවාහනය කෙරේ. ඉන් පසුව ඒවා ‘ග්‍රෑම් සීයේ කුඩු පැකට්’ වශයෙන් හෝ ලීටර් එකේ ප්ලාස්ටික් බෝතල් වශයෙන් ඇසුරුම් කෙරෙන්නේ සූක්ෂ්ම ලෙසිනි.

ඒවාට අලුත් නම් දැමීම ද එහි දී සිදු වෙයි. ‘මැක්’, ‘සුපර් සර්පැක්ටනම්’ සහ ‘මැරා’, ඉන් කිහිපයකි. ඇතැම් ජාවාරම්කරුවන් ග්‍රෑම් සීයේ ග්ලයිපොසේට් පැකට් පිට පළාත්වලට බෙදාහරින්නේ පෞද්ගලික ‘කූරියර් සේවා’ ඔස්සේ ය.
සති අග අරුණට ලැබුණු තොරතුරු අනුව, හොර ග්ලයිපොසේට් ඇසුරුම් කරන ස්ථාන තුනක් ලංකාවේ තිබේ. ඉන් එකක් තිබෙන්නේ කොට්ටාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක ය. අනෙක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වේ. තවත් ඇසුරුම් මධ්‍යස්ථානයක් අනුරාධපුර නගරයේ ඇති බව කියැවේ.

හොර පාරෙන් එන දියර ග්ලයිපොසේට්, ලංකාවට ලැබෙන්නේ ලීටර් විස්සේ විශාල කෑන් වශයෙනි. ඇසුරුම් මධ්‍යස්ථානවල දී ඒවා ලීටර් එකේ සහ ලීටර් හතරේ කෑන්වලට නැවත අසුරනු ලැබේ. ඒවාට ලේබල් ඇලවෙන්නේ ‘දියර පොහොර’ වශයෙනි. රසායනාගාර පරීක්ෂාවකින් තොරව ඒවා ග්ලයිපොසේට් අඩංගු වල් නාශක බව හඳුනාගත නො හැකි ය.

පොලිස් විශේෂ කාර්ය බළකාය 2017 වසරේ මාර්තුවේ සිට 2019 මැයි මාසය දක්වා කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ‘ග්ලයිපොසේට්’ කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 542කට අධික ය. දියර ග්ලයිපොසේට් ප්‍රමාණය ලීටර් 80,000ක් පමණ වේ. විශේෂ කාර්ය බළකාය මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශවලිනි.

හොර ග්ලයිපොසේට් වෙළෙඳාම අධික ලාභ ඉපයිය හැකි ජාවාරමකි. අනුරාධපුරයේ වෙසෙන එවන් එක් ජාවාරම්කරුවෙකු මුලින් රියදුරෙකි. ඉන් පසුව ඔහු ‘හොර ග්ලයිපොසේට්’ වෙළෙඳාමට එකතු විය. දැන් ඔහු සුවිසල් නිවසක ජීවත් වන කෝටිපතියෙකි. එක් බෙදාහැරීම් වාරයක දී ඔහුට චෙක්පත් මගින් එකතුවන මුදල රුපියල් විසි ලක්ෂයක් වෙතියි ප්‍රකට ය. හොර ග්ලයිපොසේට් අලෙවියෙන් එන ආදායම් සඟවා ගැනීම සඳහා ඔහු රටට අඟවන්නේ, තමන්ට පුත්තලම බත්තුලුඔය ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක් ඇති බව ය. අනුරාධපුර නගරයේ ධාන්‍ය අලෙවි ව්‍යාපාරයක් කරන බව ය.

‘අරුණට’ ලැබී ඇති තොරතුරු අනුව, මුල් පෙළේ හොර ග්ලයිපොසේට් ජාවාරම්කරුවන් සංඛ්‍යාව හය දෙනෙකි. ඔවුන් ගෙන් ඇතැමෙක් සිය ජාවාරම් පවත්වා ගෙන යන්නේ, ලුණුවිල (වෙන්නප්පුව), ඇඹිලිපිටිය, ඉමදූව (ගාල්ල) සහ සූරියවැව යන ප්‍රදේශවල ය. එක් මහා පරිමාණ ජාවාරම්කරුවෙක් හිටපු ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බවට ද තොරතුරු හෙළිවී තිබේ.

මහා ජාවාරම්කරුවන්ගේ ‘බඩු’ අලෙවි කරන තවත් විශාල පිරිසක් ද රට පුරා සිටිති. ඒ අතරින් හත් දෙනෙක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද, තුන් දෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයේ ද, දස දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද, නම දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද, හය දෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද, එකොළොස් දෙනෙක් අම්පාර දිස්ත්‍රික්කයේ ද හොර ග්ලයිපොසේට් ජාවාරමෙහි යෙදී සිටිති.

ඇතැම් ආරංචි මාර්ගයකට අනුව, ඉන්දියාවෙන් එන කන්ටේනර්වල ද ග්ලයිපොසේට් තොග පිටින් අපේ රටට එයි. ඒවා රේගුවෙන් මුදා ගන්නවා යයි කියන්නේ ‘ක්‍රම සහ විධිවලට’ ය. ඒ පිටුපස මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් ද සිටින බව ප්‍රකට ය.
රට පුරා හොර ග්ලයිපොසේට් ජාවාරම් කෙරෙන බව සත්‍යයක් බව, ‘අරුණ’ කළ විමසුමක දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ඒ. ජේ. සුමිත් මහතා ද කීවේ ය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒවා පොලිසියට යොමු කළ බවත් හෙතෙම සඳහන් කළේය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර