විශේෂාංග

ජනපති ජනප්‍රිය තීරණ ගන්නේ නෑ

ජනපති ජනප්‍රිය තීරණ ගන්නේ නෑ

ජනාධිපතිතුමා ගැටුනේ ලෝකෙ තුන්වැනි මාෆියාවත් එක්ක

ඔබ පුන පුනා පවසන පරිදි සහමුළින්ම කාබනික වගාවට යොමුවීම ඒ සා ජනතා හිතෛෂී තීන්දුවක් නම් ඇයි මේ තරම් විවේචන. ඒ විවේචනවල සත්‍යාසත්‍යතාවට ප්‍රායෝගිකව පිළිතුරුදීම වෙනුවෙන් එළැඹෙන මහ කන්නය තීරණාත්මකයි…..

ජනාධිපතිතුමා පසුගිය අප්‍රේල් 27 වැනිදා ගත්තු තීන්දුවට අනුව අපිට තිබුණු ලොකුම ඉලක්කය තමයි එළැඹෙන මහ කන්නයට ගොවියාට අවශ්‍ය කරන කාබනික පොහොර සපයන්නේ කොහොමද කියන එක. මේ යෝජනාව ඉදිරිපත්වීමත් සමගම එයට ප්‍රතිවිරුද්ධ බලවේග බොහොම තදින් ක්‍රියාත්මක වුණා. ජනාධිපතිතුමා මේ ගැටුනේ ලෝකෙ තුන්වැනි මාෆියාවත් එක්ක. අවිආයුද සහ මත්ද්‍රව්‍ය මාෆියාවත්, ඖෂධ මාෆියාවෙනුත් පසු තිබෙන්නේ මේ රසායනික පොහොර මාෆියාව. මේක අපේ රටේ වසරකට බිලියන 100ක ආනයන ව්‍යාපාරයක්. මේ ඔක්කොම කළේ බහුජාතික සබඳතා සහිත ලංකාවේ ව්‍යාපාර කිහිපයක්. ඔවුන් මෙතැනදි දැවැන්ත ලෙස සංවිධානය වෙලා ක්‍රියාත්මක වුණා.

එක් අවස්ථාවක පොහොර නෑ කියලා ගොවියන්ව එළියට දැම්මා. වීවලට මිලක් නැහැ කියලා ගොවියන්ව පාරට බැස්සුවෙත් ඒ අයම තමයි. අවසනාව කියන්නේ රටේ මතු පරම්පරාවන්ට පවා සෙතක් වෙන මේ කාබනික පොහොර පෙරළියට එරෙහිව එකී සමාගම්වල දඩබල්ලන් බවට මේ රටේ සමහරක් දේශපාලන පක්ෂ පත්වීමයි. මේ රටට උග්‍ර විෂ කෘමි රසායනයන් ගෙන්වන එක්තරා සමාගමක් ඔවුන්ගේ රූපවාහිනී නාළිකාව හරහා මෙයට දිගින් දිගටම ගැහුවා.

Govt. temporarily halts importation of compost

මේ වන විට එම විරෝධය යටපත් වෙලාද? එසේ නම් එහෙම කළේ ගොවියාගේ විශ්වාසය දිනාගැනීමෙන් ද නැතිනම් වෙනත් බලපෑමකින්ද?

මම ලංකාව වටේම ගියා ගොවි සංවිධාන මුණගැසී මේ ගැන හරි චිත්‍රය පෙන්වන්න. මම සමස්ත ලංකා ගොවි සංවිධානය ගෙන්වා පැහැදිළි කළා. මහා වාරි සහ මධ්‍යම වාරි ගොවීන් කැඳවලා පැහැදිළි කළා. ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන හැටියට ඉදිරියේදිත් ගොවීන් කැඳවලා මේ වැඩපිළිවෙළ මම පැහැදිළි කළා. මම ඔවුන්ට කිව්වා අනියත බයක් ඇතිකරගන්න එපා, ඔබේ නිෂ්පාදනයට කිසිම පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ ගැන වග කියනවා කියලා. මේ වන විට ගොවීන් හා අප අතර ඒ විශ්වාසය ඇතිවෙලා තිබෙනවා.

ඔබ කියන සියල්ල අනාගතයෙදි සිදුවීමට නියමිතයි කියන දේවල් ‍නේ. දැන් පවතින වසංගත තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් මත මේවා මේ අයුරින්ම සිද්ධවෙයි කියලා ඔබට දෙන්න පුළුවන් සහතිකය කුමක්ද?

අපිට වී වගාවේ හෙක්ටයාර ලක්ෂ 8ක් බලාගන්න තියෙනවා.ඒ කාබනික වගාවට අවශ්‍ය හැම දෙයක්ම දෙනවා කියන එක විතරක් නෙමෙයි, අපි ගෙන්නේ ලෝකෙ හොඳම කාබනික පොහොර.

ඒ නිසා කලින් ලැබුවට වැඩිය අස්වැන්නක් මෙවර මහ කන්නයෙන් ලැබෙනවා කියන එකත් සහතිකයි.

අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්නා කාබනික වී වගාව | දිනමිණ

කාබනික ගොවිතැනට මාරුවෙද්දී ගොවියට පැවරෙන කාර්යභාරය?

ගොවියා තමන්ට අවශ්‍ය කොම්පෝස්ට් ටික හදාගන්න ඕනේ. ඒකට අවශ්‍ය නයිට්‍රජන්, පොටෑසියම් සහ ජෛව දියර පොහොර වැනි යෙදවුම් අපි ගොවියාට නොමිලේ දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කටයුතු සම්පාදනය කරගැනීම වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 12,500ක් බැගිනුත් රජයෙන් ගොවියාට දීමනාවක් පිරිනමනවා.

මෙතෙක් කල් පෝර මිටිය ගෙනල්ලා ‍කුඹුරට ගහපු, බිත්තර වී ටිකත් කඩෙන් ගත්තු ගොවියාව, ‍ගෙදරම කොම්පෝස්ට් හදාගන්න තැනට නැඹුරු කරන්න පුළුවන්ද?

අපි පැහැදිළිවම කියනවා අපි දෙන්නේ අතිරේක යෙදවුම් මිසක් කොම්පෝස්ට් නෙමෙයි. අක්කරයකට කොම්පෝස්ට් කිලෝ 250යි හදාගන්න තියෙන්නේ. අපි මේ සමස්ත ක්‍රමවේදය ගැන ගොවියා දැනුවත් කරලයි තියෙන්නේ. ඔබ හිතනවද වත්තෙ පිටියේ වැටෙන කොළරොඩු ටික එකතු කරලා, ගොම පොහොර, කුකුළු පොහොර එකතු කරලා, තමන්ගේ වගාව වෙනුවෙන් කොම්පෝස්ට් මලු කිහිපයක්ව හදාගන්න අපේ ගොවියට බැහැ කියලා.

සමහරු ඉන්නවා වෙනත් රැකියාවල යෙදෙන ගමන් කුඹුරු කරන අය. ඒ අයට මේ කියන කතාව ප්‍රායෝගික නැහැනේ…

අද ගොවි සමිති වගේම වෙනත් ව්‍යාපාර මට්ටමෙනුත් මේ පොහොර හදලා විකුණන තැනට පසුබිම සකස්වෙලා තියෙන්නේ. බැරිම කෙනෙක්ට වෙළඳපොළෙන් ගන්න පුළුවන්.

ඒ වගේ ගොවි සමිති, අදාළ සාම්ප්‍රදායික දැනුම සහිත ගොවීන් මේ වෙනුවෙන් උනන්දු කරවලා, මෙයට අවශ්‍ය ණය පහසුකම් ආදිය සපයලා, ග්‍රාමීය ආර්ථිකය නංවන වැඩපි‍ළිවෙළක් බවට මෙය පත්කරන්න බැරිද?

අද වන විට පොහොර ලේකම් කාර්යාලය හරහාත් එය වෙනවා. අපේ තිබෙනවා ගොවිමහත්වරුන්ගේ පටන් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියා දක්වා ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් යොදාගනිමින් අවශ්‍ය උපදේශනය දෙන කෘෂිකර්ම උපදේශක සභාවක්. ඒ හරහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනවා.

කාබනික කෘෂිකර්මය කියන්නේ පොහොර විතරක් නෙමෙයිනේ. ඒ හා බැඳුණු අනෙකුත් දෑත් සම්පාදනය කර යුතුයි.

Sri Lanka to import organic fertilizer for 1.1mn hectares of farmland |  EconomyNext

අද වන විට කාබනික වගාවට ගැළපෙන වල් නාශක, දිලීර නාශක, යන්ත්‍රෝපකරණ මේ ආදී සියල්ල ලබාදෙන්න අපි සූදානම්. අපි ලබන මහ කන්නය වන විට මෙයට අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදනවා.

වී හැරුණු විට රටේ අනෙකුත් වගා ගැනත් කතා කරමු නේද?

මේ පොහොර වීවලට විතරක් නෙමෙයි, මේක තේ, රබල්, පොල්, එලවළු, පලතුරුවලටත් ඕනේ. ඒ නිසා අපි ඉකුත් සතියේ එම තේ, රබර්, පොල්, එලවළු, පලතුරුවලට අවශ්‍ය කාබනික පොහොර ගෙනෙන්න පුද්ගලික අංශයටත් අපි අවසර දුන්නා. අප විසින් පුද්ගලික අංශය කැඳවූ විට ඔවුන් පැවසුවා ලොවපුරා කාබනික පොහොර නිෂ්පාදන සමාගම් 50ක් පමණ සැපයුමට කැ‍මැත්තෙන් සිටින බවට.

අප විසින් වී ගොවීන්ට සහනාධාර පොහොර දෙනවා වගේම මේ සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට වෙළෙඳපොළේ කිසිදු හිඟයකින් තොරව කාබනික පොහොර ගැනීමටත් අවස්ථාව සලසා දෙනවා.

පුද්ගලික අංශයට එම අවස්ථාව සලසාදුන්නා කියන්නේ ඔබ කියපු පෝර මාෆියාවේ මුදලාලිලා ටිකටම වැඩේ භාරදුන්නා කියන එකද?

කොහෙත්ම නැහැ. මේ ගෙන්වන්නේ පරිසර හිතකාමී පොහොර. පහුගිය කාලේ කළේ හොඳ වර්ගයේ රසායනික පොහොර කියලා, බාල වර්ගයේ පොහොර ගෙන්වලා බිලියන ගණන් ලාභ ගැනීම. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පවා මේ බාල වැඩේට සහභාගීකරවාගත්තා. මේ ගැන 2020 විගණකාධිපති වාර්තාවෙත් තිබෙනවා. මෙට්‍රික් ටොන් 81,000කට අදාළ රසායනාගාර වාර්තා 54ක් වෙනස් කළා කියලා. ඒ කියන්නේ අපි එන්න කලින් අවුරුදු පහේදී ගොවියට දීලා තිබුණේ ප්‍රමිතියක් නැති වස.

මම මෙතැනට ආපු හැටියේ කළේ එයට සම්බන්ධ වූ නිලධාරීන්ගේ වැඩ තහනම් කරපු එක. ලංකාවට කෘමිනාශක වල් නාශක ජාති 200ක් ගෙන්නනවා. එතැනින් අනුමැතිය දීලා තියෙන්නේ 80කට විතරයි. ඒ අතරිනුත් නිසි පරීක්ෂාවකට ලක්වෙලා තියෙන්නේ 8යි. ඒ 8ත් පරීක්ෂා කරලා තියෙන්නේ පිටරටවල. මේ ලංකාවට ගේන එක කෘමිනාශකයක්, වල් නාශකයක් මේ රටේ පරීක්ෂාවට ලක්වෙලා නැහැ කිව්වොත් ඔබ පිළිගන්නවද? මෙතැන් පටන් හරි ක්‍රියාත්මක වෙන්නේ හරි දේට හරි තැන දීම.

ඒ කියන්නේ මේ කාබනික වගාව වෙනුවෙන් මෙරටට ආනයනය වන දේ, අමාත්‍යාංශය විසින් ගොවීන් උදෙසා දෙන යෙදවුම් ආදී සියල්ල මෙරටදී අදාළ රසායනාගාර පරීක්ෂාවන්ට ලක්වෙනවා කියන එකද?

ඒ සියල්ල කරනවා. ජනතාවට අහිතකර කිසිම දෙයක් දෙන්නෙ නෑ කියන එක වගකීමෙන් කියනවා. එයට අවශ්‍ය රසායනාගාර පහසුකම් නිර්මාණය වෙනවා. අවශ්‍ය මානව සම්පත අපට තියෙනවා. කිව්වට විශ්වාස කරන්න රුපියල් මිලියන 100 ගාණේ හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන විදිහට කෘෂිකර්මාන්තයට අදාළ රසායනාගාර හදලා, ඒ එකක්වත් පහුගිය කාලේ පාවිච්චි කරලා නැහැ. මේ ඔක්කොම රසායනික පොහොර මාෆියාවෙන් වැහිලයි තිබුණේ. නමුත් අපිට අවශ්‍ය යටිතලය තියෙන නිසා අපිට තියෙන්නෙ මේවා සක්‍රිය කරන එක විතරයි. අපි ඒක මේ වනවිටත් කරගෙන යනවා.

Govt. to offer Rs. 10,000 per hectare for farmers producing organic  fertilizer

කාබනික වගාව කියන්නේ ස්වභාදහමේ න්‍යායන්ට අනුගත වූ වගාවක්. අප කාබනික වගාවට යොමුවන්නේ මේ ගැන අවබෝධයෙන්ද? නැතිනම් එය පොහොර, වල් නාශක, දිලීර නාශක මත පමණක් පදනම් වූ පෙරළියක්ද?

හොඳම උදාහරණය තමයි ජලය සැපයීමෙන් අපි කරන්න යන දේ. පළමුවැනි වතාවට මහ කන්න‍යේදී මහවැලිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකතුවෙලා දින 30ක් නොකඩවා ගොවීන්ට ජලය සපයනවා. වෙනදා දුන්නේ දවස් 14යි. මෙවර දින 30ක් ජලය සැපයීමේ අරමුණ ස්වාභාවික වල් මර්දනයකට යොමුවීමයි.

දින 14ක් වතුර සැපයුන එක දින 30ක සැපයුමක් කියන්නේ දෙගුණයටත් වැඩි ධාරිතාවක්. වගාවෙ අනෙකුත් අවස්ථාවලට යොදන්නත් ඉතිරි කරගන්නා ගමන් දෙගුණයකට ජල ධාරිතාවක් අඛණ්ඩව සපයන්න අවශ්‍ය ජල සංචිත තියෙනවද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. අපට ඇති තරම් වැස්ස ලැබුණා. ජලාශ ධාරිතාව 70%ක් වෙනකම් පිරුනා. අපි සද්භාවයෙන්ම සිදුකරන මේ ජාතික යුතුකමට සොබාදහමත් ආශිර්වාද කළා.

ඔබ සද්භාවයෙන් කියලා කිව්වට රට්ටු කියන්නේ පොහොරවලට දෙන්න ඩොලර් නැති නිසා මෙහෙම කළා කියලානේ…?

එහෙමනම් අපට අවශ්‍ය කාබනික පොහොර, අනෙකුත් යෙදවුම්, කෘෂි උපකරණ ගෙන්වන්නේ ඩොලර් දීලා නෙමෙයිද? ඕන කෙනකුට කැමති අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒත් මේ කටයුත්තේ තියෙන සැබෑ අර්ථයයි මතුකරගන්න ඕනේ.

SAF News - South Asia Foundation

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?

අපේ බලාපොරොත්තුව ලොව කාබනික පොහොර ගෙවත්ත බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. මෙය ලොව පුරා ඇගයීමට ලක්වෙලා තිබෙනවා. මේ වන විට රටවල් 14ක් අපට ආධාර දෙන්න ඉදිරිපත්වෙලා සිටිනවා.

ලබන මාසේ ඇරඹෙන ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදි ජනාධිපතිතුමාට විශේෂ දේශනයකට ආරාධනා කරලා තිබෙනවා මේ ගැන කතා කරන්න.

මෙය සාර්ථක කරගත්තොත් අපට විශාල වශයෙන් ආධාර ලැබෙනවා ලෝකෙ අනෙකුත් රටවලින්. මේ වන විට බටහිර රටවල් රැසක තානාපතිවරු මට පවසලා තිබෙනවා කාබනික වගාව යටතේ ඔබ නිෂ්පාදනය කරන ඕනෑම දෙයක් කොන්දේසි විරහිතව මිලදී ගන්නම්ය කියලා.

ලෝකයේ කිසිම රටක් මෙතෙක් මෙවැනි 100%ක් කාබනික සංක්‍රාන්තියකට නොගියේ එය නොකළ හැකි දෙයක් නිසාය කියලයි කියන්නේ. ලෝකෙන් සාර්ථක උදාරහරණ අරගෙන නෙමෙයිද මෙවැනි දෙයකට අපි පෙලඹුනේ.

ළඟම උදාහරණයක් තිබෙනවා ඉන්දියාවේ. සජ් කියන ප්‍රාන්තයේ. එය සහමුලින්ම කාබනික වගාවක් කරන ප්‍රදේශයක්. එහි ජනගහනය ලක්ෂ 3යි. නමුත් වසරකට ලක්ෂ 12ක් සංචාරකයො එහෙට එනවා මේ කාබනික වගාව හේතුකරගෙනම. ඒ අනුව මේක අපේ රටේ ව්‍යාපාරය නංවන්නත් පුදුමාකාරයේ උත්තේජනයක් වෙයි.

ඔබ එහෙම කිව්වත් මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ තීරණයක් නෙමෙයිද? සමහරෙක් කියනවා මෙය ‍අත්හදාබැලීමකට සුදුසු වෙලාවකුත් නෙමෙයි කියලා. රටේ සාගතයක් ඇතිවිය හැකි අන්දමේ අවදානමක් සහිත තීරණයක් බවත් ඔවුන් පවසනවා. මෙය එකවරම නොමැතිව ක්‍රමිකව ක්‍රියාත්මක කළ යුතු තීරණයක්ය කියලා.

මේක කිසිසේත් ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි. අපේ ජනපතිතුමා ජනප්‍රියභාවය බලාගෙන තීන්දු තීරණ ගත්තනම් කරන්නේ ගොවීන්ට දීපු විදිහටම පොහොර ටික නිකම් දෙන එකනේ. ගොවියා කියන්නේ අපිට ඡන්දෙ දීපු මිනිහා. රටේ ජනගහනයෙන් 40%ක් විතර යැපෙන කර්මාන්තයක්. එහෙව් ගොවියාව අමාරුවේ දාන්න අපට අවශ්‍ය නැහැ.

ජනප්‍රිය තීරණ ගත්තා නම් කරන්න තිබුණේ ‘හෙට මොනවා වුණත් අද වස විසෙන් හරි බඩ පුරවාගෙන ජොලියේ ඉන්න’ කියන තැනට කටයුතු කරන එකනේ. ජනප්‍රිය තීරණයක් නොවන නමුත් සිය ජනතාවට ඇති සැබෑ ආදරය නිසාම ජනපතිතුමා ගත්තු තීරණයක්.

වගාවට මේ රසායනික භාවිතය නිසා වගුගඩු රෝගය හැදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව කරන ලද පර්‌යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවල 15%කට වකුගඩු රෝග අවදානම තිබෙනවා. රට පුරා පිළිකා සහ වෙනත් රෝග. අපි තවදුරටත් මේකට ඉඩ දෙන්න ඕනද? මේක ටික ටික කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නොසැලෙන තීන්දුවකින් කරන්න ඕනේ දෙයක්. කලින් ජනාධිපතිවරු දෙදෙනෙක්ගෙ කාලෙත් උත්සාහ කරලා මෙය සාර්ථක නොවුණේ ටික ටික කරන්න ගිය නිසයි. ඒ නිසා පහුගිය අප්‍රේල් 27 වැනිදා ජනාධිපතිතුමා ගත්තු මේ තීන්දුව, ලෝකෙ කිසිම රාජ්‍ය නායකයෙක් නොගත්ත රටවැසියා වෙනුවෙන්ම ගත් අභීත තීරණයක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

ඉන්ද්‍රජිත් සුබසිංහ