විශේෂාංග

ජනපති ඝාතනය කරන්න ගිය සැකකරුට විදින්න සයනයිඩ් හිරේට ගියේ කොහොමද?

මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන හිරකරුවන් හැර අනෙකුත් හිරකරුවන් බන්ධනාගාරයට යවන්නේ ඔවුන් පිළිබඳ යහපත් සිතුවිල්ලක් සමගය. බන්ධනාගාරයේදී ඔවුන් පුනරුත්ථාපනය වී හොඳ පුරවැසියන් ලෙස යළිදු වරක් සමාජයට එතැයි යන සිතුවිල්ල සමගය. එහෙත් ලංකාවේ හිරගෙදරකට සුළු හොරකමක් කර හිරේ ගිය අයකු යළි එළියට එන්නේ, බැංකුවක් කොල්ලකෑමට සැලසුම් කරය. ඒත් නැතිනම් රුපියල් ලක්ෂ ගණනක කොන්ත්‍රාත්තුවකට මිනීමරන්නටය.

මේ සියලු කාරණා සිද්ධ වන්නේ හිරේ සිටින පාතාල කෙරුමන්ට අවශ්‍ය විදියට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ක්‍රියාකරන නිසා බව රහසක් නොවේ.

හිරගෙදරට නවීන පන්නයේ ජංගම දුරකථනවල පටන් සුපිරි පැලැන්තියේ සියලු කෑම බීම ගලා එන්නට ගන්නේ කලක පටන්ය. කාලයාගේ ඇවෑමෙන් සිරගෙවල් තුළම තම බලය ව්‍යාප්ත කරන්නට වලිකන පාතාල කෙරුමෝ පිස්තෝල පවා හිරගෙදරට ගෙන්වා ගත්හ.

වාරියපොළ බන්ධනාගාරය තුළදීම සිරකරුවකුව ඝාතනය කරන්නට සිරකරුවකුම වෙඩි තැබුවේ පසුගිය දෙසැම්බර් විසිවැනිදාය. බන්ධනාගාරයටම පිස්තෝලයක් ගෙන ගොස් වෙඩි තබනතුරු සියලු නිලධාරීන් සිටියේ මර නින්දේ මෙන්ය.

වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් එවැනිම බේබි බ්‍රවුනින් පිස්තෝලයක් ආ බවට ලද තොරතුරු මත පසුගිය මාසවල දැඩි පරීක්ෂාවක් කෙරිණි.

ඉන්පසුව බස්නාහිර පළාත් බුද්ධි ඒකකය විසින් බුද්ධි වාර්තාවක් මගින් හෙළි කළේ වැලිකඩ රඳවා සිටින ගොනා කෝවිලේ පාතාල නායකයා වන රොනාව සයිනයිඩ් එන්නත් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවය. මත්කුඩු ජාවාරම් මුල් කර ගෙන ගොනා කෝවිලේ අංජු හා රොනා අතර ගැටුම දුර දිග යාමෙන් හිරගෙදරදීත් මරන්නට ගත් උත්සාහයන් බොහෝ විය. ගල්කිස්ස උසාවිය තුළ බංකුවක් යට තිබී ගිය වස​රේදී පිස්තෝල දෙකක් සොයාගන්නට හැකිවන්නේත් එම සටනේ ප්‍රතිඵලයකිනි.

පසුගිය සිකුරාදා (24) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වාර්තා වන්නේත් එවැනිම සයනයිඩ් ප්‍රහාරයකි. ඉලක්කය විදුරංග හෙවත් විත්තාය. විත්තා පාතාල ලොවට එක් වූයේ කඩුවෙල රණාලේ පාතාල නායක සමයං සමගිනි. රණාලේ සමයං සමග හිරගෙදර සිටියදී විත්තාට වේන්ද්‍රන් හෙවත් අප්පන් හමුවන්නේය. අප්පන් එල්.ටී.ටී.ඊ.ය සමග සෘජු සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ අපරාධකරුවෙකි. අප්පන්ට විත්තා කෙතරම් අල්ලා ගියාද යත් හිරෙන් නිදහස්ව ගිය පසු විත්තාව සිහිවෙන්නට විත්තාගේ නම තම අතෙහි පච්චයකින් කොටා ගත්තේය. ඉන්පසුව විත්තා හිරෙන් නිදහස් වී වැඩිපුරම ගැවසුණේ වේන්ද්‍රන් සමගය. වේන්ද්‍රන් විත්තාට කොටින්ගෙන් ගත් පිස්තෝලයක්ද දුන්නේය. ඒ අයුරින් වේන්ද්‍රන් හරහා එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් සමගද විත්තා ගනුදෙනු කරන්නට විය.

යුද හමුදා බුද්ධි අංශය කළ බුද්ධි මෙහෙයුමකදී කොටි ඩයස් පෝරාව විසින් නිද්‍රාශීලී කොටි සාමාජිකයන් යළි සක්‍රිය කරවන්නට කළ සැලසුම් අනාවරණය කරගත්තේය.

පුලියන්කුලමෙන් හා පුදුකුඩිඉරිප්පුවලින් ආනන්දරාසා, කරන්, දිනේෂ් වැනි යළි හිස ඔසවන කොටි ක්‍රියාකාරකම් එළියට ආවේ අවි ආයුධද සමගය. මේ සම්බන්ධ කළ විමර්ශනවලදී යළි හිස ඔසවන්නට වෙර දරන කණ්ඩායම් අතරේ වේන්ද්‍රන් (අප්පන්) හා විත්තාගේ නමද කියවිණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, රාජ්‍ය බුද්ධි අංශය එක්ව කළ විමර්ශනවල ප්‍රතිඵල ලෙස අප්පන් කොටු කළද විත්තා කොටු කර ගැනීම අසීරු විය. අවසානයේ අප්පන්ගෙන් පසුව විත්තාද කොටු කර විමර්ශන භාරදුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතය.

පසුගිය දෙසැම්බරයේ හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ ශිවරුබන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව ප්‍රභූ ඝාතන සඳහා දකුණේ පාතාලය යොදා ගන්නට යන සැලසුම හෙළි කළේය. ඊට පෙර කළ විමර්ශනවලදීත් ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන අනාවරණය වන්නට වූයේය. පලෙයි වෛද්‍යවරයාත් මෙම ඝාතන සැලසුම ගැන ඉඟි කළේය.

කෙසේ නමුදු පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසා මෙම විමර්ශන යටපත් විය. කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි විත්තා මාස කිහිපයකට පසුව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කරන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා (23) ය.

විත්තා රිමාන්ඩ් බන්ධනාගාරගත කරද්දීත් විමර්ශන කණ්ඩායම් අනතුරු හඟවා තිබුණේ විත්තාව ආරක්ෂාව පතා වෙනමම රඳවන ලෙසය. නමුත් විත්තා එදින රඳවා තබන්නේ ‘ඇස්කොට්’ නමින් හඳුන්වන වාට්ටුවේය.

විත්තාට තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් දැනුණු නිසා පසුදින (24) දහවල් විත්තා කොස්ගොඩ තාරකගේ සොහොයුරාත් සමග බන්ධනාගාර වාර්තා කාමරයට ගොස් තිබේ.

මේ වනවිටත් විත්තා ඝාතන සැලසුමක් හිරගෙදර තුළ ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ සඳහා වැල්ලම්පිටියේ පදිංචි කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියේ සාමාජිකයකු වන ඩොලි සූදානම් කෙරිණි.

උදෑසන සිටම විත්තා ඝාතන සැලසුම ක්‍රියාත්මක වූයේ එම්.අයි. සිරමැදිරියේදීය. කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා වූ ශිරාන් හා කැනිස්ටර් සිලින්ජර් දෙකකට සයිනයිඩ් පුරවා විත්තා මරන්නට හිරගෙදරට සයිනයිඩ් ගෙන්වූ බව මේ වන විටත් හිරගෙදර පාතාල කණ්ඩායම් අතර කතාවක් පැතිර තිබිණි.

වාර්තා කාමරය වෙත යමින් සිටි විත්තා දෙසට ඩොලි දිවයන්නේ ඩිස්පැන්සරිය අසලින් දුන් සිලින්ජරයද අතැතිවය. යන වේගයෙන්ම ගොස් විත්තාට පසු පසින් අනින්ට ගියත් හදිසියට විත්තාගේ පිටට කටුව බැස්සේ නැත. ඇඳුමේ වැදී කටුව කැඩීයද්දී විත්තා හා තාරකගේ සොයුරා ඩොලිට පහර දෙන්නට උත්සාහ ගත්හ.

ක්ෂණයකින් වූ සිද්ධියත් සමග පිරිස් දුව යද්දී ඩොලි එතැනින් බී වාට්ටුවට දිව ගොස් ඇඳුම ගලවා දමන්නේ ඇඟ සෝදා වෙනත් ඇඳුමක් දමා ගන්නටය.

මෙයින් පසුව හිරගෙදර පුරා විත්තාට සයිනයිඩ් ගසා මරා දමන්න ගිය තැතක් වැළකුණු බවට ලැව් ගින්නක් සේ පැතිර ගියේය. සිද්ධියෙන් පසුව එහි එන බන්ධනාගාර නිලධාරීන් ඩොලිව අල්ලා ඔහුට පහර දෙද්දී ඉහළ නිලධාරියකු නියෝග දෙන්නේ ගහන්නේ නැතිව නිකන් ලිහලා දාන්න’ කියාය.

එම නියෝගයෙන් පසුව එතැන් පටන් මෙම සිද්ධිය යටපත් කරන්නට යන අයුරු කාටත් දැකගන්නට හැකි විය. විත්තාව එතැනින් ඉවතට ගෙන කමිසය පුරා සයිනයිඩ් හැලී ගිය නිසා කමිසය ගලවා සෝදා ගෙන ආරක්ෂිත තැනකට ගෙනයන්නට සෙසු පාතාල සගයෝ පියවර ගත්හ.

ඒ අතරේ බන්ධනාගාර නිලධාරියකුගේ උපදෙස් මත සාක්ෂියකට ඉතිරිව තිබූ විත්තාගේ ඇඳුම හදිසියේ සෝදා දමා තිබේ.

මේ තරම් බරපතළ සිද්ධියක් වුවත් ඩොලී රැඳී සිටි සිරමැදිරිය පරීක්ෂාවට ලක් කරන්නේ පැයකට පමණ පසුවය. එතැනින් පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි කොඩිතුවක්කු දැනුවත් කර නොතිබුණේය. කොමසාරිස් ජනරාල්වරයාට පිටතින් සැලවී විමසන තුරුම බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඒ බව නොදන්වා තිබුණහ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සෘජු තීරණ ගනිමින් බන්ධනාගාරය තුළ සිටි වෙ‍ලේ සුදා. කන්ජිපානි ඉම්රාන් ඇතුළු මහා පරිමාණ අපරාධකරුවන් එකසිය විසි හතරක් බූස්ස, අඟුණකොලපැලැස්ස වැනි හිරගෙවල්වලට යැවීම නිලධාරීන් රැසකට වහ කදුරු මෙන් විය. ඒ අදාළ දූෂිත නිලධාරීන්ට ලක්ෂ ගණනින් ලැබුණු පාතාලයේ වරදාන වත්මන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ ආගමනයෙන් වැසීයාම නිසාය.

මේ ආකාරයට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට පවා නොදැන්වූ බන්ධනාගාර ලොක්කන් බොරැල්ල පොලිසිය බන්ධනාගාරයට කැඳවා කළෙත් සාක්ෂි වසන් කිරීමය. පොලිසියට දුන්නේ විත්තාගේ හෝදා දැමූ කමිසයමය. අඩුම තරමේ මෙය ඇසින් දුටු සාක්ෂිකරු සාක්ෂි දෙන්නට යද්දී බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණේ නිකරුනේ අමාරුවේ නොවැටෙන ලෙසය.

බොරැල්ල ​පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය යටතේ වූ පොලිස් කණ්ඩායමක් හා ස්ථානීය පරීක්ෂා නිලධාරීන් විමර්ශන ඇරඹුවද සාක්ෂි නිසි ලෙස නොවීය. සිලින්ජරය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නේ මෙහි වූ රසායනිකය හරි හැටි හඳුනා ගැනීමටය. සයිනයිඩ් හිරගෙදරට ආ බවට කවුරුත් දන්නා නමුත් නිලධාරීන් කිහිප දෙනකු තමන්ට එන බලපෑම වසන් කරන්නට සයිනයිඩ් කතාව මාරු කරන්නට කළ සැලසුම් එකිනෙක කරළියට එන්නේය.

මුල් දින සැඟවූ ඇසින් දුටු සාක්ෂියක් සාක්ෂි සඳහා පොලිසියට ලබාදීමට බලධාරීන්ට සිදුවන්නේ ඉකුත් 26 දා සති අග අරුණ මගින් මෙම සිද්ධිය හෙළි කිරීමත් සමගය.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි කොඩිතුවක්කුගේ අණින් විත්තා මාතරටත්, ඩොලි නමැත්තා දුම්බරටත් යවන්නේ විමර්ශන සිදුවනතුරුය.

දැනට කියවෙන තොරතුරු අනුව විත්තා ඝාතන සැලසුම එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සැලසුමක් මත සිදුවූ බවට සැක පහල වී ඇත. සෙල්විගේ පුතුන්ට කිඹුල ඇල ගුණාගේ කල්ලිය වැනි එල්.ටී.ටී.ඊ.ය සමග සෘජු සබඳතා පැවැත්වූ කල්ලි සමග හිතවත්කම් ඇති බව කලක සිට දන්නා කරුණකි.

රජය දැන් කළ යුත්තේ විත්තා ඇතුළු සියලු කණ්ඩායම් ගැන යළි නිසි විමර්ශනයක් කරවීමය.