කතුවැකි

ජනපති කළ යුතු තවත් වැඩක්

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඇමෙරිකන් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම ආණ්ඩුව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනයට කමිටුවක් පත් කර තිබේ. MCC ගිවිසුම හරහා රටට විශාල මුදලක් ලැබීමට නියමිත වුවත් ඒ ගැන බොහෝ දෙනකුගේ විරෝධය එල්ල වූයේ මෙම ගිවිසුමෙන් රටේ ආරක්ෂාවට හා ස්වාධීනත්වයට හානියක් සිදුවන්නේය යන චෝදනා මතය. කෙසේ වෙතත් එවකට පැවති ආණ්ඩුවේ කිහිප දෙනකු හැර අනෙකුත් කිසිවකු මේ ගැන හරිහැටි දැන සිටියේ නැත. ජනාධිපතිවරයාට වුවත් ඒ ගැන අවබෝධයක් නොතිබූ බව පැහැදිලිය. මේ නිසා MCC ගිවිසුම කාගේ අවශ්‍යතාවක් මත අත්සන් කරන්නට යන්නේද? එහි අරමුණ කුමක්ද? රටට ඉන් ලැබිය හැකි වාසි කවරේද යන්න පැහැදිලිව කිව හැකි අයකු සිටියේ නැත.

ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ජනාධිපතිවරයා වැදගත් තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව මින් පසු විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුවත්භාවයකින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයකට වෙනත් රටක් හෝ ආයතනය සමග ගිවිසුම්වලට එළඹීම තහනම් වේ.

නූතන යුගයේ පමණක් නොව, අතීත රාජාණ්ඩු යුගවලදී පවා රට රටවල් අතර ගිවිසුම් ඇති කර ගැනීම සාමාන්‍ය කාරණයකි. අතීතයේ වෙළෙඳ සබඳතාවන්ට පමණක් සීමා වූ මේ ගිවිසුම් වර්තමානයේ දැනුම, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරු ආදී විවිධ විෂයන් කරා පුළුල් වී තිබේ.

අප වැනි රටවල් ලොව දියුණු රටවල් හා ජගත් සංවිධාන සමග කුමන විෂයක් යටතේ ගිවිසුම්වලට එළඹුණද ඒවායේ මුඛ්‍ය අරමුණ වන්නේ මුදල්ය. මේ නිසා බොහෝ විට රටේ ආරක්ෂාව අනන්‍යතාව ස්වාධීනත්වය පමණක් නොව ඇතැම් විටෙක සම්ප්‍රදායන් පවා නොතකා හැරි අවස්ථා තිබේ. ජනාධිපතිවරයාගේ නව තීන්දුවෙන් අවධාරණය කෙරෙන්නේ මුදල් කොතරම් වැදගත් වුවත්, ඒ වෙනුවෙන් රටේ ආරක්ෂාව ස්වාධිපත්‍යය වැනි කාරණා පරදුවට නොතැබිය යුතු බවය.

මෙතෙක් කලක් අප කටයුතු කර ඇත්තේ දකුණු අත කරන දේ වම් අත නොදන්නා අන්දමටය. මේ නිසා ඇතැම් විටෙක කිසියම් අමාත්‍යාංශයක්, පළාත් සභාවක් එළැඹෙන ගිවිසුමක් රටේ ප්‍රතිපත්තිවලට, ජනතා අභිලාෂයන්ට විදේශ ප්‍රතිපත්තියට පටහැනි වූ අවස්ථා තිබිණි. මේ තත්ත්වය රටක් ලෙස ජාත්‍යන්තරය හමුවේ කෙළින් හිට ගැනීමට අසීරු තත්ත්වයකි. ඇතැම් විටෙක අප රටක් ලෙස බලවත් රටවල් හමුවේ දීන තත්ත්වයකට පත්වීම නිසාද රටට අහිතකර ගිවිසුම්වලට එළඹුණු අවස්ථා දැකගත හැකිව තිබිණ. කාරණය කුමක් වුවත් මේ ඇතැම් ගිවිසුමකට එළැඹ අවසන්වන තෙක් රාජ්‍ය නායකයාට හෝ ආණ්ඩුවට කළ හැකි කිසිවක් නොවූයේ විදේශ ගිවිසුම්වලට එළඹීම මධ්‍යගත නොවූ නිසාය.

විදේශ ගිවිසුම්වලට එළැඹීම මධ්‍යගත වුවහොත් ඕනෑම ගිවිසුමකට එළැඹීමට පෙර ඒවා රටේ ප්‍රතිපත්ති, මහජන අභිලාෂයන් සමග සසඳා සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

මේ අන්දමට මධ්‍යගත නොවූ ක්‍රමවේදයකට අනුව විදේශ ගිවිසුම්වලට එළැඹීම රාජ්‍ය අංශයේ නියත දූෂණ අක්‍රමිකතාවන්ටද හේතුවක් වී තිබිණ. ඇතැම් ගිවිසුම් අත්සන් කෙරුණේ රටට අවශ්‍යම නිසා නොව මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් නිසාය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ තීරණය ඵලදායී වනු ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව මතය. ජනාධිපතිවරයාගේ තීරණයට අනුව රටේ කුමන රාජ්‍ය ආයතනයක වේවා විදේශ ගිවිසුම් සමාලෝචනය කර, අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙනි. මෙකී ගිවිසුම්වලට අදාළ මූල්‍ය කටයුතු සම්පාදනය කළ යුත්තේ මුදල් අමාත්‍යාංශය මගිනි. එහෙත් මේ අමාත්‍යාංශ දෙක රාජ්‍ය ආයතනවලට අදාළ සුපුරුදු වේගයෙන් කටයුතු කළහොත් ජනාධිපතිවරයාගේ තීරණය ‘පරිස්සමට තිබූ දේ ඈලියාවට ගියා’ වැනි වනු ඇත.

විදේශ ගිවිසුම් පිළිබඳ නියාමනයක් ඇති කිරීම යනු ඒවා ප්‍රතික්ෂේප කිරීම නොවේ. මුළුමනින්ම මෙවැනි ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමද කළ නොහැකිය. යම් හෙයකින් මේ නියාමන ක්‍රියාදාමය නිසා අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවුවහොත් එය ඇතැම් ගිවිසුමක් අහිමි වීමට පවා හේතු විය හැකිය. මේ නිසා විදේශ ගිවිසුම් පිළිබඳ කටයුතු විදේශ හා මුදල් අමාත්‍යාංශවලට පැවරුවා සේම එම අමාත්‍යාංශ වෙනදාට වඩා කඩිසරව තම වගකීම ඉටු කිරීමේ වගකීමද භාර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.